දේව බැල්ම ඔබට ලැබෙන මහානුභාවසම්පන්න අස්තු දැහැන | සිළුමිණ

දේව බැල්ම ඔබට ලැබෙන මහානුභාවසම්පන්න අස්තු දැහැන

 ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

ජීවිතය ජය ගැනීම සඳහා හුරු කර ගත යුතු බොහෝ දේ ඇත. ජීවන ගමනේ දී හැමදෙනාටම නිරතුරුවම ප්‍රශ්න ගැටලු පැන නැඟීම සාමාන්‍ය දෙයකි. ප්‍රශ්න ගැටලු පැන නැඟීම සාමාන්‍ය දෙයක් වුවත් ඇතැම් විට එහි ප්‍රතිඵල කනගාටුදායක විය හැකිය. ප්‍රශ්න නැති අයෙකු නැත.

ප්‍රශ්න ඇතිව ජීවත් වනවාට වඩා ප්‍රශ්නවලින් අත්මිදී ජීවත් වීම කොපමණ වැදගත් ද? අපි මෙලොව ඉපදීමට මවුකුසට එන්නට පෙර අපේ මවුපියෝ අපි වෙනුවෙන් දෙවියන් උදෙසා භාරහාර වීම කොපමණ නම් සිදු කරන්නට ඇද්ද? මේ ශ්‍රී ලංකා භූමියේ සතරදිග දේවාල, පන්සල්, කෝවිල්, පල්ලි, බෝධින් වහන්සේ ඇතුළු පූජනීය ස්ථානවලට යමෙක් භාරහාර නොවී ඇත්නම් එය පුදුමයකි. ඒ තරමට දෙවියන් කෙරෙහි අචල විශ්වාසයක් සහ භක්තියක් මිනිස් හදවතේ ඇති බව නොරහසකි. ලොව පවතින ඕනෑම ආගම-දහමක දර්ශනයක දේව සංකල්පය ගැබ් වී ඇති බව ඒ අනුව හොඳින්ම පෙනී යන කරුණකි.

මම මේ ලිපියේ සටහන් කරන ක්‍රමවේද ඔබ දිනපතා ඉතා හොඳින් අනුගමනය කරන්නේනම් ඔබගේ ජීවිතයේ අතිවිශාල ප්‍රගමනයක් ඇතිවන බව නම් සත්‍යයකි. එහි නිසි පල නෙළා ගැනීම සඳහා මුලින්ම ඔබගේ ජීවිතයට යම් යම් හොඳ පුරුදු හුරු කරගත යුතුය.

පළමුවෙන්ම ඔබ පංචශීලයෙහි පිහිටා සියලු කටයුතු කිරීම අතිශයින්ම වැදගත්ය. එමෙන්ම අනිවාර්යෙන්ම ශීල, භාවනා යන ප්‍රතිපත්තිය ඔබගේ ජීවිතයට ආරූඪ කරගත යුතුය. එය මෙම යහපත් ක්‍රමවේදය ඔබගේ ජීවිතයට පුරුදු කරගන්නේ නම් සතර මහා ගංගාවන් සේ ඔබගේ ජීවිතයට සතරදිගින් ධනය වාසනාව සතුට ගලා එනු ඇත. මවක් පියෙක් දරුවෙකුට ලබා දෙන දායාදයක් සේ ඉතාම වටිනා සමාජගත නොවූ දුර්ලභ ක්‍රමයකි. මේ මහානුභාවසම්පන්න ‘අස්තු දැහැන‘ කෙනෙකුට වස්ත්‍රයක් දීමේදී එය අලුත් එකක් විය යුතුය. ආහාර වේලක් නම් මිහිරි රසැති එකක් විය යුතුය. අස්තු දැහැන ඒ හා සමාන ඉතාම වටිනාම ස්තෝත්‍රයකි. අස්තු දැහැන භාවිතයේදී ඔබට බ්‍රහ්ම, ශුක්‍ර, විෂ්ණු, කතරගම, විභීෂණ, සුමන, පත්තිනි, දැඩිමුණ්ඩ, සූනියම්, අයියනායක, වල්ලිමාතා, දෙවොල්, කළු කම්බිලි යන මහා බලැති, මහා තෙදැති නිතර මනු ලොව සැරිසරනා දෙවි දෙවතාවුන් වහන්සේ දහහතර දෙනෙකු මෙම ස්තෝත්‍රය සවන් වැකුණු වහාම සහ පිරිවරින් වැඩම කරවා ඔබට පිහිටවනු ඇත. අස්තු දැහැන ස්තෝත්‍රය කීමට පෙර බුදුන් වැඳීම අනිවාර්ය වන අතර, අවසානයේ දෙවියන්ට පින් දීමද අනිවාර්යයි. ඉන් සැමට සුවසෙත සැලසේවා යැයි ප්‍රාර්ථනා කිරීමද කළ යුතුය.

ඔබ දෙවියන් උදෙසා පින් දීමට පෙර ඔබගේ මිය පරලොව ගිය ඥාතීන් සමූහයාට පින් දීමට අමතක නොකළ යුතුය.

Comments