මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්න ගුරුන්නාන්සේ හමුවන්න ගිය ගමන | සිළුමිණ

මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්න ගුරුන්නාන්සේ හමුවන්න ගිය ගමන

මාටින් ගුරුන්නාසේගෙන් මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගැනීමේ මුල් පියවර තැබුණේ ජෙන් හාමී ඉස්කොලේ නෝනා සමඟ සුමනාවතීගේ ලෙඩදුක් බලන්නට ගිය ගමනේ දී ය. සිතුවම - සචිනි අබේකෝන්

ඊයේ රාත්‍රියේ වැටුණු පොද වැස්ස පරිසරයට සිසිලසක් එක්කර ඇතිවාක් සේ පෙනේ. පරිසරය තවමත් මනරම්ය. කුරුලු හඬ නානා දෙසින් නිතර ඇසේ. ගෙදර ගොස් සඳමාලි සමඟ කළ කතාබහ මගේ දෙසවන රැව් දෙයි. අද බදාදාය. ඊයේ පෙරේදා දෙකම සඳමාලිගේ මතකයන් සමඟ ගෙවුණි. වරින්වර මාටින් ගුරුන්නාන්සේව මතක් නොවුණා නොවේ.

ඉරිදා උදෑසනම ඔහු දුන් යන්ත්‍රය ඔහු පැවසු දිසාව බලාගෙන නියම වේලාවෙහිම අපේ 'නඩු ඉඩමේ' වැළලීමි. ප්‍රතිඵලය බලන්නට තව දෙසතියක් ඉවසිය යුතුය. මේ සති අන්තයේ මාටින් ගුරුන්නාන්සේ දැකීමට යා යුතු යැයි පෙරදීම සිතූ නිසා මේ සතියේ ගෙදර නොඑන බව වේලාසනින්ම ගෙදර අයට පැවසීමි. සඳමාලිට එන සතියේ නොඑන බව පවසද්දි ඇගේ මුහුණ අඳුරු වනවා දුටිමි. මාටින් ගුරුන්නාන්සේ හමුවීමට පළමුව නැවත වතාවක් ඉස්කොලේ හාමිනේගෙන් ඔහු ගැන තොරතුරු ටිකක් විමසීය යුතු යැයි මට සිතිණි. ඒ නිසා සිකුරාදා හවස ජේන් හාමි ඉස්කෝලේ නෝනා හමුවීමට සිතා ගතිමි. 

සිකුරාදා උදෑසනම පටන්ගත් පොද වැස්ස නිසා අහස හාත්පස කළුවරය. පාසලේ වැඩ කටයුතු හොඳින් සිදු වුණු බව සිතේ. හාත්පස සිසිල් පරිසරය නිසා වෙහෙසද අඩුය. දිවා ආහාරය ගත් මම මිහිරි රසයක් ඇති අඹ ගෙඩියක්ම ගිල දැම්මෙමි. පාසලේ දරුවෙක් මට අඹ මල්ලක්ම ගෙන දුන්නේය. ‘මේ අවාරේ අඹ කොහෙන් දැ‘යි මා ඔහුගෙන් විමසිමි. ඔහුගේ මාමා කෙනෙකු අඹ වගාවක් ව්‍යාපාරික මුහුණුවරකින් සිදු කරනු ලබන බව මා වටහා ගත්තේ ඒ දරුවා සමඟ සිදු කරනු ලැබු කතාබහ අනුවමය. ඉන් කොටසක් ජේන්හාමි ඉස්කොලේ නෝනාටත් ගෙනයාමට මා අමතක නොකළෙමි.

“ආ ... පුතා අද මේ පැත්තේ?“ මා දුටු සැණින් ඇය මා ඇමතුවේ සුපුරුදු ළෙන්ගතුකමිනි. පන්සලේදී ඇය මා හමුවු පළමු වරට මා ඇය ඇමතුවේ ‘අම්මා‘ ලෙසය. ඇය මට ‘පුතා‘ යනුවෙන් ඇමතුවාය. එම බැඳීම වඩාත් සුදුසු යැයි මගේ යටි සිත කියන බවක් හැඟේ. ආගිය තොරතුරු කතා කරමින් සිටි මම මගේ ප්‍රධාන අවශ්‍යතාව ඇයට හෙළි කළෙමි. "අම්මා මාටින් ගුරුන්නාන්සේගෙන් මට 'සාත්තරේ' ඉගෙන ගන්නට බැරි වෙයිද?" "ඇයි! පුතා ගුරුකම් ශාස්ත්‍රය ඉගෙන ගන්න ආසයිද? " ඒ ඇයය. “ඔව් අම්මා! විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ තමයි මට ඒ ආශාව ආවේ" මම විශ්වවිද්‍යාලයේ මගේ යහළුවා පිළිබඳ සියලු විස්තරත් මට ඒ ගැන ආශාව ඇති වූ අයුරුත් ඇයට පැවසුවෙමි.

ඇය ඒ කතාවට සාවධානව සහ කරුණාබරව අසා සිටි බව පෙනුණි. "ඔය මාටින් කොලුවා (මාටින් ගුරුන්නාන්සේ) හරි හොඳ එකා... කුඩා කාලයේ ඉඳලම විනයට නීතිගරුකව වැඩ කළේ. මම හිතනවා පුතා ඔයා ඇහුවොත් මාටින් බෑ කියන එකක් නැහැ. පුතාගෙත් ආසාවනේ. මාටින් ගුරුන්නාන්සේ හෙට එනවා අර සුමනාවතිලගේ දිහෑවෙ. ඒකිට උන ගැනිලා... උන බහින්නෙ නෑ. ඩිස්පැන්සරියෙන් බේතුත් අරන් තිබ්බා. ඒත් අඩුවක් වෙලා නැහැ. දෙහි ටිකක් කපන්න කියලා හෙට උදේ එනවා කියලා තියෙනවා“ ඇය එලෙස කියාගෙන ගියාය.

හෙට උදෑසන මම මාටින් ගුරුන්නාන්සේ හමුවීමට යාමට සිතා සිටි බවත් එය හරි නොයන නිසා මම ගෙදර යාමට සිතූ බවත් මම ඉස්කෝලේ හාමිනේට පැවසීමි. එහෙත් ඇය මට පැවසුවේ අනෙකකි. "පුතා හෙට උදේ මෙහෙට එන්න... මාත් එක්ක සුමනාවතිගෙ දිහෑ යමු. 'මාටින් කොලුවගෙ' වැඩෙත් බලමු. මම මාටින්ට කියන්නම් මහත්තයා ගැන. එයා මගේ වචනේ අහක දාන්නෙ නැතිවෙයි " යැයි ජේන්හාමි ඉස්කෝලේ නෝනා කීවාය.

මගේ ඉහේ මලක් පිපුණා සේය. සිතා සිටිය දේ නොසිදුවුණාට ඊට වඩා හොඳ දෙයක් සිදුවන බව මට දැනේ. මම ඉස්කොලේ හාමිනේට මුව නොසෑහෙන සේ තුති කොට පින් දී ඇගෙන් සමුගත්තේ පසුදා උදෑසන නැවත එහි එන බව පවසමිනි. මා නැවත නවාතැන්පළට එන විට අඳුරු වැටී තිබිණි. ඇඟපත සෝදාගෙන බුදුන් වැඳීමට සූදානම් විමි. බුදු පුදට මල් කඩන විට බටහිර අහසේ තියවක සඳ පෙනෙන්නට තිබු නිසා මම එදෙස බලා චන්ද්‍රයාට නමස්කාර කළෙමි. එයද මට පුරුදු කළේ මගේ යහළුවාමය. සඳ බැලීමට සුදුසුම දවස ඉරිදා වන බවත් බදාදා සෙනසුරාදා සඳ බැලීම සුදුසු නොවන බවත් ඔහු පැවසු බව මට මතකය. අද සිකුරාදාය. මාසේ පළමුවරට සඳ බලන විට දකින නිමිත්තද සුබ අසුබ ගෙනෙන බව ඔහු පැවසු බව මතකය. මා සිටියේ මල් කඩමිනි. 'මල්' යනු සුබ නිමිත්තකි. මේ සියල්ල සිතේ තබාගෙනම මම චන්ද්‍රයා නැමදුවේ විශ්වවිද්‍යාලයේ යහළුවාම මට ඉගැන්වු කුඩා දැහැනක් ද සිහිපත් කරමිනි.

"ඕං ධීරතාය අග්‍රරූපාය හර හර හුරු හුරු මේරු මස්ත කෛලාස කූට පුත්‍රයාය නමඃ"

ඒ දැහැනයි. සියල්ල පිළිබඳව මා තුළ ඇත්තේ සුබදායි හැඟීමකි. අද දවසම සුබදායකය. හෙට අදට වඩා සුබදායක වන්නේ යැයි සිතා මා නින්දට සූදානම් වුයෙමි. නිදන්නට පළමුව එදා දවසේ උදවු පදවු කළ සියලු දෙනා සිහිපත් කොට ඔවුනට සෙත් පැතීමටත්, ඔවුනට මගෙන් සිදු වූ වරදක් වූයේ නම් ඒ වෙනුවෙන් සමාව ගැනීමත් සුදුසු බව මට කියා දුන්නේ මා මිත්‍ර ගෞරවනීය සුභග ස්වාමින් වහන්සේය. උන්වහන්සේද විශ්ව විද්‍යාලයේදී මට හමුවු කල්‍යාණ මිත්‍රයෙකි. කෙසේ නමුත් මා හට ඇසුරු කිරීමට ලැබුණු බොහෝදෙනෙකු කල්‍යාණ මිත්‍රයෝම බැව් මට සිහි වේ. ඉදින් මේ සිතිවිලිත් සමඟම මා සුවෙන් නිදි දෙව්දුව වැලඳ ගතිමි.

උදෑසන අවදි වූයේ වෙනදාට වඩා ප්‍රබෝධ ගතියකිනි. ඉතාමත් සිහිකටයුතුව දින චරියාවේ ආරම්භක කටයුතු සිදු කළ මම, ඊයේ ආපසු එන විට රැගෙන ආ බුලත් හුරුල්ලද බෑගයේ දමාගෙන වෙනදා මෙන්ම විශ්වකර්ම දෙවියන්ද සිහිපත් කරගෙන ඉස්කොලෙ නෝනාගේ නිවසට පිටත්වීමි. මා යන විට ඇයද විශේෂයෙන් සූදානම්ව සිටි බවක් පෙනෙන්නට තිබුණි.

"පුතා එනකම් තමා මම මඟ බලාගෙන උන්නේ... පුතා උදේම කාලා බීලාද?“ ඇය මගෙන් ඇසුවේ ළෙන්ගතුවමය.

“ඔව් අම්මා මම කාලාබීලා ආවේ" යැයි මම කිවෙමි. “එහෙනම් අපි කෙළින්ම සුමනාවතිලෑහෙ ගෙදර යමු.“ ඇය මට කීවේ වෙනදා මෙන් මට වාඩි වන්නටවත් ආරාධනා නොකරමින්මය. ඇගේ සිතේ කුමක් හෝ සැලසුමක් ඇතැයි විශ්වාස කළ මා ඇගේ විධානයන්ට යටත්ව කටයුතු කළෙමි.

අප සුමනාවතිගේ ගෙදර ගිය විටම මගේ පන්තියේ ශිෂ්‍යයකු වන ‘සමන්‘ වහා දුවමිත් මට වැන්දේය. සමන්, සුමනාවතීගේ පුතා බැව් එතෙක් මා දැන නොසිටියෙමි. "ආ සුමනා මේ ඉස්කොලේ මහත්තයවත් මම එක්ක ආවා... ‘උඹේ සාත්තුව බලන්න‘ ඉස්කෝලේ මහත්තය කැමතියි කීව ඔය වගේ ඒවා බලන්න." ඇය සුමනාවතීට පැවසුවාය. සුමනාවතී ඇඳෙහි දිගාව සිටී සිරිල් පාපැදිය බිත්තියට හේත්තු කරන ගමන් "මාටින් ගුරුන්නාන්සේ මඟ එනවා යැයි කීවේ කලබලයෙනි. සිරිල් සුමනාවතිගේ සැමියාය. ඔහු අත පුවක් මලක් විය. බඩු ටික සේරම ලෑස්තියි. ඔහු කීවේ සුමනාවතීට විය යුතුය. ඔහු මා දුටුවේ ඉන් පසුවය.

"මේ අපේ ඉස්කෝලේ මහත්තයා නොවැ" ඔහු ඇසුවේ පුදුමයෙන් මෙනි. ඊට පිළිතුරු දුන්නේ ඉස්කෝලේ හාමිනේ ය. සුළු මොහොතක් ගත වන විට මාටින් ගුරුන්නාන්සේ තවත් පිරිමි කෙනෙකු සමඟ ගෙට ගොඩවූයේ ප්‍රතාපවත් අයුරිනි. ‘බඩු ටික ලෑස්තිද?‘ ඔහු ඇසුවේය. "ඔව් ගුරුන්නාන්සේ පුවක් මල් විතරයි අඩුවකට තිබුණේ. මේ දැන් ඒකත් ගෙනාවා. "සිරිල් මාටින් ගුරුන්නාන්සේට එලෙස පිළිතුරු දුන්නේය. "ආ ... ආ... අපේ ඉස්කොලෙ මහත්තයත් මේ පැත්තේ...“ මා දුටු මාටින් ගුරුන්නාන්සේ විමසුවේ මගෙ මුහුණ දෙස සෘජුව බලමිනි. ඊට ද පිළිතුරු දුන්නේ ඉස්කෝලේ හාමිනේමය.

“ඊයේ අපේ ගෙදර ආපු වෙලාවෙ ඉස්කෝලෙ මහත්තයාට මම මේ 'සාත්තුව' ගැන කීවා. එතකොට ඒක බලන්න පුළුවන්ද කියා මහත්තයා අහපු නිසා මම කීවා අද උදේ මෙහෙ එමු කියලා...“ යැයි ජේන් හාමි කීවාය. ඒ කතාව එතැනින් නිමා විය.

"මට ඔය වේවැල් පුටුව ගෙනත් දියන්“ මාටින් ගුරුන්නාන්සේ කීවේ ඔහු සමඟ පැමිණි සගයාටය. "ලෑස්ති කරපු බඩු ටිකත් මෙහාට ගෙනාවනම්" ඔහු එය කීවේ සිරිල්ට විය යුතුය.

“වතුර වීදුරුවකුත් ගෙනාවනම්... අමුකහ කෑල්ලක් එක්කම“ යැයි මාටින් ගුරුන්නාන්සේ කීවේය. මා සාවධානව සියල්ල දෙස බලා සිටිමි.

ලබන සතියට...

Comments