නව නිවස හදන භූමියේ අපිරිසුදු කර නොගත යුතු උතුර - ඊසාන දිශා | සිළුමිණ

නව නිවස හදන භූමියේ අපිරිසුදු කර නොගත යුතු උතුර - ඊසාන දිශා

 

ජ්‍යොතිෂවේදී,

වාස්තු විද්‍යා උපදේශක විදුහල්පති,

කපිල ඉන්ද්‍රික ගුණදාස

 

වර්තමාන සමාජයේ බොහෝ දෙනා නිවසක් ඉදිකිරීමේදී වාස්තු විද්‍යාව ගැන සැලකිලිමත් වෙමින්, නිසි වාස්තු විද්‍යා උපදෙස් ලබා ගනිමින් එම කාරණය ඉතා නිවැරදිව ඉටුකර ගැනීමට උත්සුක වන බවක් පෙනේ. බොහෝ සැලසුම් ශිල්පීන් ද වාස්තු විද්‍යාව පිළිබඳ තම දැනුම සන්නද්ධ කරගෙන සිය නිවාස සැලසුම් ඉතා නිවැරදිව සකස් කර දෙනු දක්නට ලැබේ.

එහෙත් ඇතැම් අය මෙම කරුණු නොසලකා කටයුතු කිරීම තුළින් පසුව විවිධ ගැටලුවලට මුහුණ පා ඇති බව ද අසන්නට ලැබෙන තත්ත්වයකි. එම නිසා ඔබ නිවසක් ඉදිකරන මුල් අවස්ථාවේම නිසි වාස්තු උපදෙස් අනුව එය නිවැරැදිව ඉටුකර ගන්නේ නම් පසුව ඔබේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීමට සිදු නොවේ. එමෙන්ම කිසිම පීඩාවකින් තොරව සතුටින්, සැනසීමෙන් එම නිවසේ ජීවත් වීමටද හැකි වනු ඇත. "ඉසිවර" අතිරේකය තුළින් සතිපතා අප ඔබ වෙත ගෙන එන මෙම ලිපි මාලාවෙන් නිවැරදි වාස්තු විද්‍යාවේ කරුණු පිළිබඳව ඔබ දැනුවත් කරන අතර අද ඔබ වෙත පැහැදිලි කරන්නේ උතුර හා ඊසාන යන දිශාවන්හි ඇති වැදගත්කම ගැනයි.

වාස්තු පුරුෂයාගේ හිස පිහිටා ඇත්තේ උතුර හා ඊසාන දිශාවන්ට යාබදවය. එම නිසා නිවසක් සෑදීමේදී හැම විටම උතුරු හා ඊසාන පැති ඉඩ සිටින ලෙස ගත යුතුය. කිසි විටෙකත් වැසිකිළි වළ ඊසාන හෝ උතුරට නොගත යුතුය. එසේ වුවහොත් වාස්තු පුරුෂයා පීඩාවට පත්ව කෝප වීම නිසා නිවැසියන්ට රෝගාබාධ, අසමඟිය, භූත දෝෂ ආදිය ඇති වේ. සැනසීම නැති වී දුකට පත් වේ. ගෘහ මූලිකයා අසනීප වේ. දරුවන්ට නිවස එපා වේ. එමෙන්ම වාහන ගාල් කරන ‍ස්ථානය හෙවත් ගරාජය, දර මඩුව, බලු කූඩුව ආදියද මෙම කොටසට අසුබදායකය. ගරාජය වයඹ දිශාවටද, දර මඩුව, බලු කූඩුව ආදිය බටහිරටද සුදුසුය. සමහර නිවාසවල උතුරු පැත්තේ කුකුළු කොටු, එළු, හරක් වැනි සතුන්ගේ ‘ගාල්‘ සකස් කර ඇත. ඒවායින් එම දිශා අපිරිසිදු වීම ඉතා අසුබදායක වන අතර එම සතුන්ට පවා හිටි හැටියේ සන්නි රෝග, බෝවන රෝග ආදිය හට ගෙන විනාශයට පත් වේ.

නිවසේ අපද්‍රව්‍ය බැහැර කරන වළ කිසිසේත්ම උතුරට හෝ ඊසානට සුදුසු නැත. ඒවා එම දිසාවල ස්ථාපිත කළහොත් නිවැසියන්ට නිතර ලෙඩ රෝග, අසමඟිය ඇති වේ. උතුරෙන් හෝ ඊසාන පැත්තෙන් පිට ඉඩමකින් අපිරිසිදු ජලය හෝ වැස්සෙන් ඉඩම සේදී එන ජලය ඉඩමට ගලා ඒමද ඉතා අසුබය. ඉන් සතුරු කරදර, භූත දෝෂ නිවසට ඇති වේ. උතුරේ හෝ ඊසානේ තැඹිලි, නාරං, මැංගුස්, රඹුටන් ආදී ගස් වර්ග සිටුවීමද සුදුසු නැත. එවිට යක්ෂ දෝෂ නිවසට බලපෑ හැකිය. ඉඩමට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව ඊසාන කෙළවරට ගැනීමද ඉතා අසුබදායකය. ඉන් ගෘහ මූලිකයාට සුව නොවන හිසේ ආබාධයක් පැවතිය හැකිය. පෙරවරු කාලයේ ගෙමිදුල අතු ගා සුද්ද කිරීමේ දී එකතු වන කොළ රොඩු අපද්‍රව්‍ය උතුර හා ඊසාන දිසාවන්හි ගොඩ ගසා ගිනි තැබීම සුදුසු නැත. එයින් නිවසේ ධන හානි සිදු වේ.

නිවසක මුළුතැන්ගෙයි ‍පෝරණුව ගිනිකොනට ගත යුතුය. ළිඳ හා ජල ටැංකි උතුරට - ඊසානට ගැනීම ඉතා සුබදායකය. කිසිම අපිරිසිදු කටයුත්තක් උතුරට හෝ ඊසානට නොගත යුතුය. එමෙන්ම රෙදිවැල් ඇදීමටද උතුරු හා ඊසාන දිසාව ඉතා අසුබදායකය. එය නිවසේ දියුණුවට බාධා ඇති කරයි. රෙදි වැල් බටහිර දෙසට සුදුසුය.

මේ අනුව ‍නිවසේ උතුර හා ඊසාන දිශා වැරදි ලෙස යොදා ගැනීමෙන් නිවැසියන්ට බොහෝ පීඩා ඇති වේ. එම නිසා එය හැකි තරම් පිරිසිදුව තබා ගත යුතුය. සුදුසු පරිදි දෙවියන් බුදුන් පිදීමට ආගමික ස්ථානයක් සකස් කර ගැනීමට උතුර හෝ ඊසාන දිශා සුදුසුය.

Comments