අමෘත යෝග උදාව 10 වැනිදා | සිළුමිණ

අමෘත යෝග උදාව 10 වැනිදා

ඔබේ සුබ කටයුතු සඳහා යොදාගත හැකි අතිශය ප්‍රතිඵල ගෙනදෙන සුබ යෝගයක් සැප්තැම්බර් 10 වැනි ඉරිදා දිනයේදී පෙ.ව. 06.02 සිට රාත්‍රී 21.31 දක්වාම පවතී. එදින ඉර උදාවේ සිටම ගුරු ග්‍රහයාගේ නැකතක් වන පුනාවස නැකත 17.09 දක්වා පවතින අතර ඉන්පසුව සෙනසුරු ග්‍රයාට අයත් පුෂ නැකත උදාවේ. මේ නැකැත් දෙකම ඉරිදා දිනයට සුබපල ගෙනෙන අතර එදින එකොළොස්වක තිථිය රාත්‍රී 21.31 දක්වාම පවතී. ඒ අනුව අමෘත යෝගය ඉර උදාවේ සිට රාත්‍රී 21.31 දක්වා කාලය තුළ බලපවත්වයි.

ඔබට මෙතෙක් අතපසුව තිබූ හෝ ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන කිසියම් යහපත් කටයුත්තක් මෙදින කර ගැනීමට හැකිවන අතර තම තමන්ගේ උපන් නැකතට සීහෙන අයුරු අවබෝධ කොට ගෙන එය ආරම්භ කළ යුතුය. ඉරිදා දිනයේ යෙදෙන මෙවන් සුබපල ගෙනෙන යෝග නිසා වෙනත් සුළු දෝෂ භංග වී කරන්නාවූ කාර්යයන් සපලතාවය උදාකර දෙයි. මෙදින රාහු කාලය යෙදී ඇත්තේ සවස් වරුවේ 16.42 - 18.14 දක්වාය. ඒ කාලය මඟහැර උදේ වරුවේ සුබ වැඩෙහි යෙදීමට ඉඩකඩ වෙන්කරගත හැකිවේ. එදින සුබ දිශාව වශයෙන් ඊසාන දිශාව යොදාගත හැකිය. කෝණ මාසද යෙදී නොමැති බැවින් නිවාස, ගොඩනැඟිලි ආදියේ වැඩවලට ද යහපත් වේ.

බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, ගත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමි අයට පෙ.ව. 06.02 සිට ප.ව. 05.09 තෙක්ද අස්ලිස, දෙට, රේවතී නැකැත් හිමියනට පෙ.ව. 06.02 සිට ප.ව. 21.31 දක්වාද පුනාවස, විසා, පුවපුටුප, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල, අස්විද, මා, මුල යන නැකැත් හිමි අයට ප.ව. 05.09 සිට 21.31 දක්වා ද සුබ කටයුතුවල නිරත විය හැකිය.

නිවාස ගොඩනැංවීම, අලුතෙන් කොටස් එක්කිරීම, උළුවහු ජනෙල් තැබීම, වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීම, විද්‍යාස්ථාන ආරම්භය, කෘෂිකාර්මික කටයුතු, ස්වයංරැකියා, වෙනත් ගෘහස්ථව ආරම්භ කරන රැකියා, වෙද හෙදකම්, පොත්පත් ලිවීම ආදී සියලු කටයුතුවලට සුබපල උදාකරනු ඇත.

ප්‍රවීණ ‍ෙජ්‍යාතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

Comments