ස්ත්‍රී පුරුෂ නැකත් කිරි වෘක්ෂ නම් ලැබෙන දරුවන් වාසනාවන්තයි | Page 2 | සිළුමිණ

ස්ත්‍රී පුරුෂ නැකත් කිරි වෘක්ෂ නම් ලැබෙන දරුවන් වාසනාවන්තයි

ශ්‍රීමාලි විවාහ වුණේ දීප්ත සමඟය. විවාහ වෙලා මේ වන විට අවුරුදු පහකටත් වැඩිය. ඒත් තවම දරු සම්පතක් නම් නැත. පැටියෙක් බලාපොරොත්තුවෙන් සිදු කරපු භාරහාර, බලපු සාත්තර නිමක් නැත. ගත්ත වෙද ප්‍රතිකාර ගඟට ඉනි කැපුවා මෙනි.

ඒත් තාම නෑ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ. දෙන්නාගේම කේන්දරවල නොවැරදීම කොලු පැටියෙක් පවුලට එකතු වෙනවාමයි කියා කේන්දර බලපු ජ්‍යොතිෂඥයන් කියලා තියෙන්නෙ. ඒ අපේක්ෂාව හිතේ තියාගෙන ශ්‍රීමාලිත් දිප්තත් සන්තෝෂෙන් ජීවත් වෙනවා. කවදාහරි ඔවුන්ගේ කේන්දරවල තිබෙන හැටියට පුතු පැටියෙක් ඉපදේවි.

බලමු ද අපිත් ඒ ග්‍රහ යෝග මොනවාද කියා.

විවාහ වීමට පෙර පොරොන්දම් බැලීමේදී වෘක්ෂ පොරොන්දම වැදගත් වේ. මෙහිදී පුෂ, අස්ලිස, මා, පුවපල්, උත්‍රපල්, දෙට, මුල, උත්‍රසල, සුවණ, පුවපුටුප, රේවති යන නැකත් 11 කිරි වෘක්ෂ ලෙසත් ඉතිරි නැකත් 16 ඇතුළත් වන අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, හත, සිත, සා, විසා, අනුර, සුවසල, දෙනට, සියාවස, උත්‍රපුටුප යන නැකත් හර වෘක්ෂ ලෙසත් හඳුන්වයි.

ස්ත්‍රී පුරුෂ කේන්දර දෙකේ කිරි වෘක්ෂ වීමෙන් විවාහයෙන් පසු වාසනාවන්ත දරුවන් ලැබෙනු ඇත. ස්ත්‍රී නැකත කිරි වෘක්ෂයටත් පුරුෂ නැකත හර වෘක්ෂයකටත් අයත් වීමද වාසනාවන්ත දරුවන් ලැබීමට හේතු වනු ඇත. ස්ත්‍රී නැකත හර වෘක්ෂයක් වී පුරුෂ නැකත කිරි වෘක්ෂයක් වීමෙන් ලැබෙන දරුවන් සංඛ්‍යාව අඩු බවක් පෙන්වයි. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම නැකැත් හර වෘක්ෂ වීමෙන්ද ලැබෙන දරුවන් සීමිත වනු ඇත.

කේන්දරයේ පස්වැන්න පුත්‍ර ස්ථානය ලෙස හඳුන්වන අතර, මෙම ස්ථානය දරුවන් පිළිබඳව දක්වයි. එමෙන්ම පස්වැන්නෙත් පස්වැන්න හෙවත් නවවැන්න තුළින් ද ලැබෙන දරු පල පිළිබඳ කරුණු දැක්විය හැකිය.

පස් වැන්න අධිපති ග්‍රහයන් ගුරු ග්‍රහයන් බලවත්ව පිහිටීමෙන් පුණ්‍යවන්ත දරුවන් ලැබීමට හේතු වාසනා වෙයි. පස්වැන්න වෘශ්චික, කන්‍යා, සිංහ යන රාශිවලට අයත් වන්නේ නම් දරුපල හීන කරවන බවක් පෙනේ. පස්වැනි භාවයේ අධිපති ග්‍රහයා හා ගුරු සුබ ග්‍රහයන් සමඟ සංයෝග වීමෙන් හෝ දැකීමෙන් පසුව දරුවා බොහෝ විට පුතකු විය හැකියි.

ගුරු ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයා සහ 5 අධිපති ග්‍රහයා වැනි ග්‍රහයන් දුර්වල වීමෙන් දරු සම්පත් අඩු වීමට හේතු වනු ඇත.

ලග්නයෙන් හා සඳුගෙන් පස්වැන්න අධිපතියා ගුරු සමඟ බලවත්ව පිහිටීමෙන් හෝ පස්වැන්නට ශුභ ග්‍රහ දෘෂ්ටි වැටීමෙන් හෝ ලග්නාධිපති හා පස් වැන්නාධිපති හා ඒකරාශි වීමෙන් යහපත් දරු සම්පත් ලැබීමට ද හේතු වන බවද සැලකිය යුතුය.

Comments