යුගදිවිය රස-නීරස කරන කුජ අංගාරික දෝෂය | Page 2 | සිළුමිණ

යුගදිවිය රස-නීරස කරන කුජ අංගාරික දෝෂය

  ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, වෛද්‍යාචාර්ය එම්.එම්. රූපසිංහ

කුජ ග්‍රහයා පත් අඹුසැමි යුවළකගේ විවාහ ජීවිතය සාර්ථක කිරීමට මෙන්ම අසාර්ථක කිරීමට ද ක්‍රියා කරවන ග්‍රහයෙකු ලෙසට ප්‍රකටය. කුජ ග්‍රහයා පිළිබඳව අවබෝධය ලබාගෙන ඔහුට හෝ ඇයට ගැළපෙන කේන්දර පිළිබඳව විමසීම් කර ගැළපෙන කේන්දර දෙකක් හිමි යුවතිපතීන්ට ඉතා වාසනාවන්ත ජීවිතයක් උදාකර දෙයි.

ලග්නයෙන් චන්ද්‍රයාගෙන් සිකුරුගෙන් 1, 2, 7, 8, 12 යන රාශියක කුජ සිටීම අංගාරික දෝෂය නමින් හැඳින්වේ. විවාහ වීමට අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්දර දෙකේම එකම ස්ථානයේ හෝ ඉහත දැක්වෙන රාශියක කුජ සිටීමෙන් එම දෝෂය භංග වීම සිදු වේ. මෙකී දෝෂය මඟහැර ගත හැකි ක්‍රම රාශියක් පිළිබඳව අවධානය යොමු කරමු. කුජ මේෂයේ ස්වක්ෂේත්‍රව කටකයේදී නීච වනු ඇත. වෘශ්චිකයේ ස්වක්ෂේත්‍රය වන අතර මකරයේදී උච්ච වෙයි. මෙහි රාශියක කුජ සිටින කල අංගාරික දෝෂය බල නොපානු ඇත.

හත්වැන්නේ හැර කුජ මිත්‍ර රවිගේ රාශිය වන මේෂය සඳුගේ රාශිය වන කටකය ශනිගේ රාශිය වන මකරය කිවිගේ (සිකුරුගේ) රාශිය වන තුලාව යන රාශිවල සිටින කුජ තමන්ගේ දෝෂය බල නොපවත්වනු ඇත. දෙවැන්න මිථුන සහ කන්‍යාව වීමෙන් ද කුජගේ අංගාරික දෝෂය බල නොපවත්වනු ඇත. කුජගේ සම මිත්‍රයෙකු ලෙස සැලකෙන සිකුරුගේ වෘෂභ තුලා රාශි හතරවැන්න වී එහි කුජ සිටින කලද අංගාරික දෝෂය බල නොපවත්වනු ඇත. දොළොස්වැන්න මිථුන හෝ කන්‍යාව වී හෝ තුලාව හෝ වෘෂභ වී කුජ සිටින කලද මෙකී අංගාරික දෝෂය මඟ හැරෙනු ඇත. බ්‍රහස්පතිගෙන් පහ හත නවය රාශිය එක දෙක හතර අට දොළහ වී එහි කුජ සිටීමෙන් ද මෙම අංගාරික දෝෂය බිඳී යනු ඇත. මෙහි අංගාරික දෝෂය ස්ත්‍රී කේන්දරයක ඇති වීමෙන් පුරුෂයාට විපත් ද පුරුෂයාගේ කේන්දරයක මෙකී දෝෂය ඇති වීමෙන් ස්ත්‍රියට විපත් ද ඇතිවන බැවින් ඒ පිළිබඳව ඉතාම සැලකිලිමත් වීම අවශ්‍යය.

යම් අයෙකුගේ කේන්දරයේ කුජ සිටින රාශියේ අනිත් කේන්දරයේ රවි ශනි රාහු කේතු සිටීමෙන් ද අංගාරික දෝෂය බිඳී යනු ඇත. කේන්දරයක කුජ සිටින රාශියේ වෙනත් ග්‍රහයෙකු සිටීම නිසා විවිධාකාරයේ සුබ මෙන්ම අසුබ ද සිදුවේ. කුජ සමඟ සඳු සිටින විට එම අයගේ චරිතය පිළිබඳ විවිධ මත ඇතිවී සමාජය තුළින් පවා නින්දාව අපහාසයට පත්වීම සිදුවේ. මෙවැනි චරිත විනෝදයට බර වන අතර ඒ ආකාරයෙන් ජීවිතය ගත කිරීමට පෙලඹේ.

කුජ සමඟ බුධ යෙදී ඇත්නම් ක්‍රීඩාවට මූලිකත්වය දීමට පෙලඹෙන අතර උසස් ප්‍රතිඵල ලැබේ. කුජ සමඟ ගුරු සිටින අය සමාජයේ පිළිගැනීමට ලක්වන අතර සුබවාදී පරිසරයක් නිර්මාණය වනු ඇත. සිකුරු කුජ යෝගව සිටී නම් එම යෝගය ඇති අයගේ චරිතය පිළිබඳව විවිධ මත ප්‍රකාශ වන අතර සුබවාදී ආකල්පවලට වඩා අසුභවාදී ආකල්ප ඇති චරිතයක් බවට පත්වනු ඇත.

බුධ හතර හත අට හෝ ගුරුගෙන් පහ හත නවය නොවන්නේ නම් නින්දා අපහාස ලබන සල්ලාල ජීවිතයක් ගත කරන අයෙකු වනු ඇත. නිතරම ලිංගික ඇසුර පැවැත්වීමට පෙලඹේ. ඒ සඳහා මුදල් වැය කිරීමට පෙලඹේ. කුජ නමයේ සිටී නම් තම මතයට අනුව ක්‍රියා කිරීමට පෙලඹෙන අතර සිංහ සමඟ ගැටලු ඇති කර ගනී. දොළොස්වැන්නේ කුජ සිටීමෙන් බොහෝ දුරට ඔහු හෝ ඇය සොරකමට පෙලඹේ. දුරදිග බලා තීරණ ගත යුතු අතර සුබවාදී ආකල්ප අනුගමනය කිරීමට පෙළඹේ නම් දියුණුවට මාර්ග හදා ගැනීමට අවස්ථාව උදාකර ගන්නා අතර එසේ ක්‍රියා නොකර සොරකමක වංචාවට මුදල් හැදීමෙන් සදාකල්හිම විවිධ හිංසනයට ලක්වන දුප්පත් අයෙකු වනු ඇත.

කුජගේ රාශි වන මේෂ වෘශ්චික රාශියක සෙනසුරු සිටී නම් ඔහු හෝ ඇය බිහිසුණු අපරාධකරුවන් බවට පත්වනු ඇත. මෙකී ග්‍රහ පිහිටීම් ඇති අයෙකුට කෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමට වුවද ඇල්මක් දක්වනු ඇත. වෙනත් අයගේ පෙලඹීම මත හෝ තමන්ගේ ක්‍රියාවන් මත ජීවිත හානි කිරීමට පෙලඹේ. අකුසල කර්ම වර්ධනය කර ගැනීමට පෙලඹේ. මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අයෙකු සිටී නම් දුර දිග බලා තීන්දු තීරණ ගත යුතු අතර සුබවාදී ආකල්ප අනුගමනය කිරීමට ද පාප මිත්‍ර ඇසුරෙන් ඉවත්වීම ද ආගමානුකූලව කටයුතු කිරීමට පෙලඹවීම ද සුදුසු වන අතර වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇත. එනමුත් අසුබවාදී ආකල්ප මත කටයුතු කිරීමට පෙලඹේ නම් ඔහුට හෝ ඇයට නීතිමය ගැටලුවලට සිරදඬුවම් ලැබීමට ඇතැම් විට දීර්ඝ කාලීන සිරදඬුවම් ලැබීමට ද ඇතැම් විට මරණ දඬුවමට පවා ලක්වීමට ද බොහෝ දුරට ඉඩ ඇත. මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති කේන්දර යම් අයෙකුගේ ඇත්නම් දෙමවුපියෝම ඒ පිළිබඳව කේන්දරය සාදන අවස්ථාවේදීම ජ්‍යොතිෂවේදියා දැනුම්වත් කර එහි දෝෂ ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් දීමට ක්‍රියා කිරීම ජ්‍යොතිෂවේදියා සතු යුතුකමකි. යම් කේන්දරයක කුජ සමඟ රාහු ශනි යෙදී ඇත්නම් ඒ පිහිටීම් ද විවිධ සතුන්ගේ වුවද ජීවිත හානි කිරීමට පෙලඹෙන දෝෂයකි. පෙර කළ අකුසල වර්තමානයේදී තව තවත් අකුසල් රැස්කර ගන්නා අයෙකු බවට පත්වනු ඇත. කුමන අන්දමේ අයකුගේ ජීවිත වුවද විනාශ කිරීමට කැමැත්ත දක්වනු ඇත. මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අයද ආගමානුකූලව කටයුතු කිරීමට ද කල්‍යාණ මිත්‍රයින් ඇසුරු කිරීමට ද උත්සාහ ගත යුතු අතර මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අයට ඇතැම් විට අකල් මරණවලට පවා ලක්වීමට ඉඩ ඇත.

බුධ සමඟ කුජ මිථුනයේ හෝ කන්‍යාවේ සිටී නම් එම කේන්දර හිමි කාන්තාව හෝ පුරුෂයා ඉතා සියුම් ආකාරයට විවිධ උපක්‍රමවලට පෙලඹී මුදල් සොයා ගැනීමට පෙලඹේ. සමාජයේ උසස් වැදගත් අය ලෙසට පෙනී සිටිමින් විවිධ ආකාරයේ කපටි ක්‍රම අනුගමනය කරමින් මිනිසුන් මුලා කිරීමට පෙලඹේ.

තාවකාලික සැප සම්පත් ලැබීමට මාර්ග වාසනාව උදාකර ගත්තද ‘ගොනා බැඳි කරත්තයක රෝදය කැරකෙන්නා‘ මෙන් අසුබ පලද උදාවී නීතිමය ගැටලුවලට ලක්වීමට සිරගත වීමට නින්දා අපහාස විඳීමට පවා අවස්ථාව උදාවීමට ඉඩ ඇත. මෙවැනි කේන්දර හිමියන් දුරදිග බලා අසුබවාදී ආකල්පවලට ගැති නොවී සාධාරණ ක්‍රම අනුගමනය කිරීමට පෙලඹීම තුළින් දියුණුවට මාර්ගය පාදා ගැනීමට ද හැකියාව ඇත. කුජ ග්‍රහයා ලේ ධාතුවට බලපාන බැවින් හැකිතාක් දුරට නිර්මාංශ ආහාර ගැනීමෙන් ද දිනපතා තුන් සූත්‍රය භාවිත කිරීම හෝ කරණීයමෙත්ත සූත්‍රය භාවිත කිරීමෙන් ද සුබවාදී වාසනාව ළඟාකර ගත හැක. කුජගේ ක්‍රියාවන් මිනිසාගේ යහපත මෙන්ම අයහපත ද උදා කරයි.

විවාහ ජීවිතයට පත්ව සිටින අයගේ අංගාරීක දෝෂය පිහිටා ඇත්නම් විවාහ ජීවිතය අසාර්ථක කරවන බැවින් ද ඒ පිළිබඳව අවබෝධය ලබාගෙන අසුබවාදී ආකල්පවලින් මිදීමට සුබවාදී ආකල්පවලට යොමුවී විවාහ ජීවිතය මෙන්ම මෙහි සඳහන් කළ විවිධ හේතු කරුණුවලට ද යොමු නොවී සුබවාදී මාර්ගවලට පිවිසීම ජීවිතය ජය ගැනීමට හේතු වනු ඇත.

Comments