
වත්මන් ලෝකය තරමටම දියුණු නොවූ අයිරෝකෝස් ගෝත්‍රිකයන් ජනවාරි පෙබරවාරි සහ මාර්තු මාස තුන තුළ ‘සිහින උත්සව‘ නමින් උත්සව තුනක් පවත්වා තිබිණි. ඒ කාලය තුළ තම ගෝත්‍රයේ ගැහැනුන් හෝ පිරිමින් හෝ කරන නැත්නම් ඔවුන් අතින් සිදුවන දැන හෝ නොදැන කරන වැරදි ගැන කිසිවකු දොස් පවරන්නේ නැත.
එහෙත් මෙම කාල සීමාව තුළ යමෙකුට තමන් දුටු සිහිනය නියමාකාරයෙන් ප්‍රකාශ කරන්නට නොහැකි වී නම් හෝ කියන්නට තරම් මතක හිටින සිහිනයක් නොදුටුවේ නම් එවැන්නන්ට මෙම සිහින උත්සව කාලය තුළ අන් අය වතුර ගැසීම හෝ ගල් ගැසීම සාමාන්‍ය දෙයකි.
මෙවැනි තවත් ගෝත්‍රයක සිරිතට අනුව පිටස්තර කෙනෙක් තම ගෝත්‍රයට ඇතුළත් කර ගැනීමේදී එම ගෝත්‍රයේ නායකයා ඊට පෙර දුටු සිහිනය පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ. ගෝත්‍රයේ නායකයා අලුත් සාමාජිකයා සම්බන්ධයෙන් සුබ සිහිනයක් දුටුවේ නම් ඔහු තම ගෝත්‍රයට බඳවා ගනී. අසුබ සිහිනයක් දුටුවේ නම් ඔහු ගෝත්‍රයට බඳවා ගන්නේ නැත. මෙලෙස සිහින පිළිබඳ කතන්දර ඈත අතීතයේ සිට පැවැත එන්නකි. එසේ ඔබ අප දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ මෙලෙසිනි.
* නාගයකු තම පසුපස පහර දීමට හඹා එන අයුරු - ළඟින්ම ඇසුරු කරන මිතුරකු සතුරුකමක් කරන්නට සැරසේ.
* නඟුල - නින්දා සහගත අයුරින් නීතිය ඉදිරියට යන්නට සිදු වේ.
* නළඟනක් (නාටිකාංගනාව) - මිතුරකු මිතුරියක විසින් කරන ලද ක්‍රියාවක් නිසා විශාල අලාභයක් සිදු වේ.
* නරියකු දක්නට ලැබිම - ඉතා ඉහළින් සිතා සිටි යම් කටයුත්තක් ගැන කලකිරීමට පත් වන්නට සිදු වේ.
* නාසය මුක්කම් වූ පහත් කුලයේ වැන්දඹු ස්ත්‍රිය - දරා ගන්නට නොහැකි තරමේ ශෝකයට පත්වන විපතක් සිදු වේ.
* නාඳුනන පුද්ගලයකු සමඟ සංවාදයක යෙදීම - තමාට බෙහෙවින් උදවු උපකාර කරන්නා වූ අයකුගේ මරණය සිදු වේ.
* නාඳුනන පුරුෂයකු විසින් තමා සිප ගනී - අගහිඟකම් නිසා දැඩි ලෙස පීඩාවට පත් වන්නට සිදු වේ.
* නාඳුනන ස්ත්‍රියක විසින් තමාට ආහාර පිළිගැන්වීම - තම සහකාරියගේ සහකරුගේ අනියම් ඇසුරක් නිසා ඉදිරියේ දී විශාල ගැටලුවක් මතු වේ.
* නැට්ටුවන් පිරිසක් - ව්‍යාපාර කටයුතුවලින් සහ වෙනත් අංශවලින් විශාල ආදායමක් හිමි වේ.
* නැටුම්, ගැයුම්, ඔල්වරසන් හඬ මැද දේවතාවෙක් දිව යාම - ඉතා අශුභ සිහිනයකි. තමන්ගේ දේශයට බලවත් විපතක් සිදු වේ.
* නැවක, බෝට්ටුවක හෝ ඔරුවක ගමන් කිරීම - බරපතළ ලෙස රෝගී වන අතර, ඒ සඳහා විශාල මුදලක් වැය කරන්නට ද සිදු වේ.
* නැවක් හෝ නැවියෙක් දක්නට ලැබීම - විසඳාගත නොහැකි විශාල ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වේ.
* නිදා සිටින ස්ත්‍රියක් - වගකිව යුතු නිලතල දරන බලවතුන්ගේ අවධානය දිනා ගන්නට හැකි වේ.
* නිවසට පලතුරු ගෙන යන අයුරු - තමා පිළිබඳව හෝ පවුලේ කෙනකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ.
* නිවසේ වහලය අලුත්වැඩියා කරන අන්දම - ගෘහමූලිකයාට බරපතළ අපල උපද්‍රව යෙදේ.
* නිවසේ බිත්තියක් පුපුරා යාම - පවුලේ සාමාජික සාමාජිකාවන් අතර බරපතළ ගැටුමක් වේ.
* ප්‍රතිමාවක් - ධනයක් හෝ ජයග්‍රහණයක් හිමි වේ.
* නිරුවත් ගැහැනු රුවක් - රැකියාවක් පිළිබඳ සතුටුදායක පණිවිඩයක් ලැබේ.
* නිරුවතින් ඇවිදින මිනිසෙක් - ශෝකය ජනිත වන සිදුවීමකට මුහුණ පාන්නට ආසන්නය.
* පිත්තල පහන - ඉතා ඉහළ දියුණුවක් ලබන්නට මග පෑදේ.
* පින්කම් පොළක් - නුදුරු දිනයකදීම අනතුරකට ලක් වේ.
* නියපොතු ගැලවී වැටීම - දරුණු ඉරණමකට මුහුණ පාන්නට සිදු වේ.
* නිතර දැක පුරුදුකම් ඇති අයකු ගී ගැයීම - උත්සව අවස්ථාවකට සහභාගි වන්නට ඇරයුම් ලැබේ.
* නිදා සිටින තැනැත්තෙක් (ඇතැම් විට එම තැනැන්තා තමා වන්නට ද පුළුවන) - මහත් ප්‍රශ්නයකට මුල් වී තිබුණු ආරවුල් තත්ත්වයක් සමථයකට පත් වේ.
* නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී සිටින අන්දම - බලවතුන්ගේ අවධානය දිනා ගන්නට අවස්ථාව උදාවේ.
* බකමූණා - නොඅනුමානවම රෝගියකු බවට පත් වේ.
* බකමූණෙක් ඇඟට වැටීම - මරණයක් සිදු වේ.
* පරෙවියා - මතකයෙන් ඈත්ව ගිය සම්බන්ධතා යළි අලුත් වේ.
* නිවුණු පහනක් - බලවත් දුෂ්කරතා නිසා පීඩා විඳින්නට සිදු වේ.
* නිවස තුළ සිටින ස්ත්‍රීන් රසකැවිලි හදන අයුරු - තමන්ට බෙහෙවින් සමීප අයකුගේ මරණයක් අසන්නට ලැබේ.
* නීරස ආහාරයක් අනුභව කිරීම - තමන්ට වඩා පහත් පෙළේ උදවිය සමඟ පවත්වනු ලබන සම්බන්ධතා හේතුවෙන් නින්දා අපහාස විඳින්නට සිදු වේ.
* නෙළුම් පතක තබාගෙන ආහාර අනුභව කරන අන්දම - රජ පදවියට පත් වේ.
* නෙල්ලි සපමින් සිටීම - අනුන් සතු ධනයක් තමන්ට හිමි වේ.
* නොයෙක් වර්ගයේ පලතුරු ගොඩක් - තමන්ගේ කිසියම් කටයුත්තක් හෝ සුවිශේෂී හැකියාවකින් කීර්තියට පත් වේ.