ගුවන් යානය කටුනායකට එන වේලාව සිතෙන් ගණන් හදා මිනිත්තු තුනෙන් කී ක්‍රිෂ්ණමූර්තිතුමා | Page 2 | සිළුමිණ

ගුවන් යානය කටුනායකට එන වේලාව සිතෙන් ගණන් හදා මිනිත්තු තුනෙන් කී ක්‍රිෂ්ණමූර්තිතුමා

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ රත්රන් නීතිය නිර්මාතෘ ජ්‍යොතිෂ මර්තණ්ඩ සොතිද මන්නාන් කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා ක්‍රිස්තු වර්ෂ 1970 නොවැම්බර් මස 28 වැනි දින එතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරද්දී ක්‍රිෂ්ණමූර්ති පද්ධති අනුගාමිකයන් සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් ගණනාවක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.

එතුමා ආපසු යාමට බලාපොරොත්තු වූ එයාර් ඉන්ඩියා ගුවන් යානය ගුවන් තොටුපළට පැමිණීම ප්‍රමාද වූයෙන් එතුමාගේ මිත්‍රයෙකු

”ගුරුතුමනි, ඔබගේ ගුවන් යානය ධාවන පථයට පැමිණෙන වේලාව කිව හැකි ද?” යැයි ප්‍රශ්න කළේය.

”ඔව්... ඉතා සරලයි. 249ට පහළ අංකයක් දෙන්න.”

”අංක 4” යයි මිත්‍රයා ක්‍ෂණිකව පිළිතුරු දුන්නේය.

එම අවස්ථාවේදී දැන් ලග්නය කුමක් ද?” යයි ප්‍රශ්න කළේය.

”දැන් කුජ ග්‍රහයා හිමි මේෂ රාශිය සහ සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රය” යයි මා එතුමාට පවසා මගේ කාර්යයෙහි නිරත වූවෙමි.

”හොඳයි... මගේ ගුවන් යානය හරියටම පස්වරු 4.39.20 ට ධාවන පථයට පැමිණේ යයි. එතුමා ප්‍රකාශ කළේය.

එතුමා මෙම අනාවැකිය ප්‍රකාශ කරන ලද්දේ කඩදාසි, පෑන් හෝ පැන්සල් කිසිවක් පාවිච්චි නොකරමිනි. ඒ නිසා ඒ ගැන එහි සිටි සියලු දෙනාම පුදුමයට පත් වූහ. එහෙත් සමහර අය මේ අනාවැකියෙහි නිරවද්‍යතාව ගැන සැක පහළ කළහ. එහෙත් ගුරුජීගේ හැකියාවන් ගැන දැන සිටි අය මේ ගැන සැක නොකළ අතර හරියටම එතුමාගේ අනාවැකිය අනුව ගුවන් යානය ගුවන් තොටුපළට ළඟා වන බවට විශ්වාශය පළ කළහ.

එම ගුවන් යානය පස්වරු 4. 45ට ළඟා වන බව පස්වරු 4.15ට පමණ ගුවන් පාලක මැදිරියෙන් ප්‍රකාශ විය.

හරියටම ප්‍රකාශ කළ වේලාවටම ගුවන් යානය ළඟා විය. එය සියලු දෙනාගේම හදවත්වලට දැනුණ ඉතාමත් සතුටුදායක ප්‍රවෘත්තියක් විය.

අප දැන් බලමු ප්‍රශ්න අංක 4 ගැන.

එය කුජ ග්‍රහයා හිමි මේෂ රාශියේ සහ සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රය සහ සඳු ග්‍රහයා හිමි උපස්ථානයයි. එය මේෂ රාශියේ 030 40‘ 00” වන අතර ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 3.52ට කටුනායකදී තත්කාල කේන්දරය මෙසේය.

ලග්නාධිපති කුජ ග්‍රහයා තුලා රාශියේ 6 වැනි භාවයේ සිට ඔහු හිමි මේෂ රාශිය දකියි. තත්කාල කේන්දරයේ 11 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති ගුරු ග්‍රහයා 7 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ගුරු ග්‍රහයා ඍජු ගමනේ ස්වකීය නක්‍ෂත්‍රයේ තැන්පත්ව සිටියේය. ඊට අමතරව ලග්නය සහ ගමන් බිමන් පෙන්වන 3 වැනි භාවය දකියි. ඒ නිසා ගුවන් යානය පැමිණ ඔහුගේ අභිමතාර්ථය ඉටුවන බව පැහැදිලිය. නමුත් ගුරු ග්‍රහයා තැන්පත්ව සිටින උපස්ථානය හිමි සිකුරු ග්‍රහයා වක්‍රය. ඒ නිසා මඳ ප්‍රමාදයක් ඇති වෙයි.

මෙහි 3 වැනි භාව ස්ඵූටය මිථුන 010 40‘ වෙයි. එය තත්කාල කේන්දරයේ 11 වැනි භාව ස්ඵූටයේ උපස්ථානය අධිපති ගුරු ග්‍රහයාගෙන් දෘෂ්ටි ලබන වායු රාශියකි. ඒ නිසා කෙටි ගමනක් හෝ ගුවන් ගමනක් මඟින් ඔහුගේ අභිමතාර්ථය ඉටුවෙයි. තවද 3 වැනි භාව ස්ඵූටය කුජ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයේ සහ බුධ ග්‍රහයා හිමි උපස්ථානයේය. කුජ ග්‍රහයා ගමන් බිමන්වලට කාරක වන අතර උපස්ථානය හිමි බුධ ග්‍රහයා වායු ග්‍රහයෙකි. ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. මෙම බුධ ග්‍රහයා ගුවන් යානයේ වර්ණය හෝ අංකය හෝ ගමන් මාර්ගයේ අංකය හෝ අංක 5 සමඟ සම්බන්ධ වන්නේය. එතුමාගේ ගුවන් යානයේ ගමන් මාර්ගය හෝ ආසන අංකය 572 ට සම්බන්ධතාවක් තිබුණ බව මගේ මතකයේ ඇත. මෙය තනි අංකයකට සකස් කළ විට එය 5 වෙයි. තවද මෙම යානයේ නියමුවාගේ උපන් දවස බුධ දින හෝ උපන් නක්‍ෂත්‍රය බුධ ග්‍රහයා පාලනය කරන ලග්නයක් විය හැකිය. ගුවන් යානයේ පැමිණීම ගැන විනිශ්චය කිරීම සඳහා තත්කාල කේන්දරයේ 3 වැනි සහ 11 වැනි භාව ගැන සැලකිලිමත් වන්න. මෙහි 3 වැනි භාවය හිස්ය. එහි අධිපති බුධ ග්‍රහයා වෙයි. බුධ ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් නැත. එහෙයින් බුධ ග්‍රහයා 3 වැනි භාවයට බලවත් නිවේදකයෙකු වෙයි.

තත්කාල කේන්දරයේ 11 වැනි භාවයේ රාහු ග්‍රහයා තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටියි. සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව සිටියේ නැත. එහෙයින් බුධ බලවත් නිවේදක ග්‍රහයා වෙයි. 11 වැනි භාවයේ අධිපති ශනි ග්‍රහයා වෙයි. ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල රවි සහ සඳු යන ග්‍රහයන් තැන්පත්ව සිටිති. එහෙයින් සිකුරු, රාහු, රවි, සඳු සහ ශනි යන ග්‍රහයන් නිවේදකයන් වෙති. මෙම රවි, සඳු සහ ශනි යන ග්‍රහයන් තැන්පත්ව සිටියේ වක්‍ර ග්‍රහයන් වූ පිළිවෙළින් ශනි සහ සිකුරු ග්‍රහයන්ගේ නක්‍ෂත්‍රවලය. ඊළඟට කුජ ග්‍රහයා 11 වැනි භාව ස්ඵූටයට දෘෂ්ටි හෙළන අතර ගුරු ග්‍රහයා 3 වැනි භාව ස්ඵූටයට දෘෂ්ටි හෙළයි. එම නිසා කුජ සහ ගුරු යන ග්‍රහයන් දෙදෙනාද 3 වැනි සහ 11 වැනි භාව නිවේදකයන් වෙති.

එම ආකාරයට ප්‍රතිඵල දෙන ග්‍රහයන් වන්නේ කුජ, සිකුරු, බුධ, ගුරු සහ රාහු යන ග්‍රහයන් වෙති. කුජ, සිකුරු සහ ශනි යන ග්‍රහයන් තිදෙනා පාලක ග්‍රහයන් වෙති. වක්‍ර ශනි ග්‍රහයා තවත් වක්‍ර ග්‍රහයකුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටිය හෙයින් ශනි ග්‍රහයා ප්‍රතික්‍ෂේප කර කුජ සහ සිකුරු ග්‍රහයන් තෝරාගන්න. මොවුන් නිවේදක ග්‍රහයන් අතරින් පොදු අය වෙති. මෙය එදිනම හෝ පැය කිහිපයක් තුළ ඉටුවන සරල අවස්ථාවක් වන හෙයින් ලග්නය ගමන් කරවන්න. එම අවස්ථාවේ උදාවන ලග්නය කුජ ග්‍රහයා හිමි මේෂ රාශිය සහ සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රය බව පැහැදිලිය. උපස්ථානය අධිපති බුධ ග්‍රහයා සහ උප උපස්ථානය අධිපති ගුරු ග්‍රහයා වෙයි. එහෙයින් බලාපොරොත්තුව ඉටුවන විට ලග්න ස්ඵූටය මේෂ රාශියේ සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රය බුධ ග්‍රහයා හිමි උපස්ථානය සහ ගුරු ග්‍රහයා හිමි උප උපස්ථානය වෙයි. එනම් මේෂ රාශියේ 260 20‘ 15” වෙයි.

මෙම වර්ෂයේ ක්‍රිෂ්ණමූර්ති අයනම්ශ අගය 230 20‘ සහ එදින දහවල් 12ට කටුනායකදී නක්‍ෂත්‍ර කාලය 160 38‘ 50” ලෙස ගෙන ඉදිරියට ගණනය කළ කල්හි නියමිත වේලාව ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 04. 39. 20 වෙයි.

අප ගුරු ශ්‍රීමත් ක්‍රිෂ්ණමූර්තිතුමාට විනාඩි තුනක් වැනි කෙටි කාල සීමාවක් තුළදී මෙම සියලුම ගණනය කිරීම් හිතෙන් ගණනය කර අවසන් නිගමනයට පැමිණි ආකාරය ගැන එහි සිටි සියලු දෙනාටම පුදුමයකි.

 

Comments