මහානුභාවසම්පන්න ගණදෙවි පූජාව | Page 2 | සිළුමිණ

මහානුභාවසම්පන්න ගණදෙවි පූජාව

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී,

විශ්‍රාමලත් විදුහල්පති,

කොස්ගොඩ කේ.ඩී.ආර්.පී. රාජකරුණා

 

දේව මණ්ඩලයේ දෙවි දේවතාවන්ගෙන් මනුෂ්‍යයාට ලැබෙන පිහිට අපමණය. අප හට කරදරයක් බාධකයක් එළැඹි සැණින් දෙවියන් මතක් වේ. එමෙන් ම දෙවි පිහිට ද පතයි. විශේෂයෙන් අධ්‍යාපනයට සහ බුද්ධියට අධිපති ගණපති හා සරස්වතී මෑණියන්ගෙන් දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ සඳහා පිහිට පතයි. විවිධාකාර පූජා ද පවත්වයි. නමුත් ඒවායේ ඇතැම් විට නිසි පල නොලැබේ. එයට හේතුව ගණපති, සරස්වතී පූජා පවත්වන ආකාරයේ විද්‍යාත්මක ක්‍රමවේදයක් නොමැතිකමයි. ඒ නිසා ඉසිවර කියන අපේ පාසල් දරුවන්ගේ මතක ශක්තිය, බුද්ධිය වර්ධනය කරගැනීම සඳහා පහත සඳහන් අයුරින් දේව ආශිර්වාද පූජාව පවත්වා සහනයක් ලබා ගත හැකි වේ.

ගණ දෙවි පූජාව තැබීම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න. එය නිසි පරිදි පිරිසිදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.

පහත සඳහන් දෑ සකස් කර ගන්න. මල් වට්ටියක්, නෙළුම් මල් සමඟ පලතුරු වට්ටියක් (පලතුරු වර්ග පහක් පමණ) කැවිලි වට්ටියක් (කැවිලි 5ක් පමණ) හඳුන්කූරු, පහනක්, සම්බ්‍රානි සුවඳ දුම් සූදානම් කරගන්න.

නෙළුම් මල් හා වෙනත් සුදු හා පාට මල්වලින් වට්ටියක් සාදා ගන්න. අඹ, කෙසෙල්, කොමඩු, දෙළුම්, පේර වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටියක් සාදා ගන්න.

පොල්තෙල් මිශ්‍ර ගිතෙල්, එළඟිතෙල් දැමු කුඩා මැටි පහන් දෙකක් පැණි රස කෑම වර්ග පහක් සහිත වට්ටියක් හබල පෙති, උක් හකුරු, මී පැණි, කිරි ආදිය ගණ දෙවියන්ට පූජා කරනු පිණිස මේසය මත තබන්න. හඳුන්කූරු දල්වා කපුරු පෙති හා ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න. ගණ දෙවි ගුණ ස්තෝත්‍රය හා ගණ දෙවි පූජා ස්තෝත්‍ර 7 වරක් ගායනා කරන්න.

බදාදා හා සෙනසුරාදා දිනයන්හි දින 3ක් සවස 6ත් 8ත් අතර කාලය තුළ දී ගණ දෙවි පූජාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දුක් දොම්නස් දුරු වී දරුවන්ගේ විභාග ජය ලැබී රෝගී තත්ත්ව දුරු වී ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යවත් කාලයක් උදා වෙයි.

ගණදෙවි ස්තෝත්‍ර

ගණපතිපරිවාරං - චාරුකේයුරභාරං

ගිරිධරවරසාර- යෝගිනිචක්‍ර වාරං

භවහයපරිභාරං - දුකකදාදුරං

ගණපතිමහිවන්දෝ - චක්‍ර තුණ්ඩවතාරම්

 

ගණදෙවි පූජාව තබා පහත සඳහන් සෙත් කවි ද කිව යුතුය.

 

මූෂික වාහන මෝදක හස්තම්

චාමර කර්ණ විලම්භිත සුත්‍රම්

වාමන රූප මහේස්වර පුත්‍රම්

විඝන විනායක පාද නමස්ත්වම්

 

සුදු දළ ගජ සොඬ මුණෙකි පත් මේ

සුදු මීයෙකු නැඟෙමින් වැඩගත් මේ

සොඳ උමයගෙන ඉසුරු ගේ පුත් මේ

වඳිමුව ගණ දෙවි සිරිපද පත් මේ

 

සොඳින් බැබළි ගජ මුණකි පත් මේ

තෙදින් වීදුරු චිත්තා නුවණැත් මේ

යෙහෙන් නැඟුණු මී වාහන යුත් මේ

වඳිම් එගණ දෙව සිරිපද පත් මේ

 

නුවණ වෙමට දෙන සොඳ උමයංගා

සිවුසැට බරණින් සැදි සිව ලිංගා

පුදමින් අත්සුණු ගෙන ආ ලංගා

දෙන්මට ගණ දෙවි නුවණ නොසංගා

 

රන්වන් අංකුස සුරතින්ගත නිති

බුන් දත් සිවු අත් ගජමූණක් ඇති

තුන්නෙක් නන්දන කරවන විකුමැති

දෙන දැන් නුවණක් ගණපති පින් ඇති

අකුළා ගෙන සොඬ ගජතතු වැන්නේ

නෙරවා කන් පොතු සුලු කුලු වැන්නේ

සියළඟ ගෝමර මල් පෙති වැන්නේ

පින් ඇති ගණ දෙවි නුවණින් දෙන්නේ

 

කතරනේ රුව බබළමින් සිට

සුඋසැට බරණින් සිරි සාර

අතරනෙ දුනු රැගෙන නිතියෙන්

මයුර වාහනයට අරා

කොතරනෙ රන් මාළිගාවට වැඩම කරවා විසිතුරු තුරා

කතරනෙ දෙවි උතුමගේ මට

නුවණ ගෙන දෙන් පින් පුරා

මේ ගණ දෙවි ආශිර්වාද සෙත් කවි උදේ සවස භාවිතයෙන් උසස් ප්‍රතිඵල අත්කර ගත හැකි වේ.

සවස් කාලයේ තෙරුවන් නැමද මෙම සෙත් කවි පන්තිය තාලයකට උස් හඬින් ගායනා කිරීමෙන් ගණ දෙවියන්ගේ මෙන්ම කඳ සුරිඳුන්ගේත් ආශිර්වාදය ලැබ විභාග ජය ළඟා කර ගත හැකි වෙයි. මෙහි අවසානයට ඇති සෙත් කවියද කඳ සුරිඳුගේ බලය ලබන සෙත් කවියකි. එය හත් වරක් කියවන්න.

 

Comments