
- යහපත් ආකල්පවලින් සමන්විත අය
- තනි මතයට වැඩ
- කිසිවකුට යටත් නොවේ
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය ඒ. ජේ. දීපාලෝක
නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ අවසන් අකුර පිළිබඳ මෙවර ඉසිවරෙන් සටහන් කෙරේ. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ අවසන් අකුර වන Z අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට Y අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ Z අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි.
ඔබට Z අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ Z අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා. මෙම අක්ෂරයෙන් පටන් ගන්නා නම් ඉංග්‍රීසි භාෂාවේ සහ වෙනත් භාෂාවල බහුලව තිබුණද සිංහල භාෂාවෙන් Z අකුරෙන් පටන් ගන්නා නම් ඇත්තේ අල්ප වශයෙනි. මෙම අක්ෂරයෙන් පටන් ගන්නා නම් ඇති අය හොඳ ආකල්පවලින් යුක්ත අය වෙයි. යහපත් සිතුවිලිවලින් යුක්තය. සෑම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් කටයුතු කරයි. ඕනෑම දෙයක් පහසුවෙන් තේරුම් ගත හැකි මනසක් ඇත. සෑම දෙයක් ගැනම ගැඹුරින් සිතා බලයි. ඒ වගේම Z අකුර හිමියන් මානසික වශයෙන් ඉතාමත් ශක්තිමත් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්.
දරා ගැනීමේ හැකියාව අතින්ද මොවුන් ඉතා ඉහළය. ඉක්මනින් කලබලයට පත් නොවෙයි. එසේම මොවුන් කාර්යශූර භාවය අතින් ද ඉදිරියෙන් සිටී. ශක්තිමත් මනසක් සේම ශක්තිමත් ශරීරයකට ද හිමිකම් කියයි. කිසිම දෙයක් බැහැයි කියා සිතන්නේ නැත. පටන් ගත් වැඩක් කෙසේ හෝ නිම කිරීමට උනන්දු වෙයි. පහසුවෙන් වෙහෙසට පත්වන අය නොවේ. මොවුන්ට තමන් කරන කාර්ය ඉවර කරන තුරු ඉස්පාසුවක් නොමැත. ස්වභාවයෙන්ම කඩිසර ගතිය Z අකුර හිමියන් තුළින් දැකිය හැක.
මොවුන්ගේ එක දුර්වලතාවක් වන්නේ පුංචිදේටත් ක්ෂණිකව කේන්ති ගැනීමයි. කේන්තිය පාලනය කරගැනීමට මේ අය උනන්දු විය යුතුය. මොවුන් කිසිම දෙයකට බිය පුද්ගලයන් නොවේ. ඕනෑම අභියෝගයක් බාර ගැනීමට බය නැත. සතුරන්ට මුහුණ දීමේ ශක්තිය ඇත. Z අකුර හිමියන් පරාජය කිරීම පහසු කටයුත්තක් නොවේ. නමුත් යම් යම් අවස්ථාවල මොවුන්ගේ තත්ත්වය සහ ගෞරවය පහත හෙළන කටයුතු ද ඔවුන් අතින්ම සිදු වනු දැකිය හැක. දුරදිග නොබලා මොවුන් විසින් ගන්නා සමහර බුද්ධිමත් නොවන තීන්දු තීරණ එයට ප්‍රධාන හේතුව වෙයි.
මේ අයට ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ගැනීමේදී ඒ පිළිබඳ විශේෂිත පුද්ගලයන්ගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙයි. තනි මතයට වැඩ කිරීම ද දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. නමුත් තමන් කරන දේ පිළිබඳ හොද විශ්වාසයක් Z අකුර හිමියන්ට ඇත. කොහොම වුණත් තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ආරක්ෂාවත් රැකවරණයත් සලසා දීමට මොවුන් ක්‍රියා කරයි.
හැකි සෑම අවස්ථාවකදීම තම ගෙදර අය සමඟින් කාලය ගතකිරීමට මොවුන් අමතක නොකරයි. උත්සාහයත් උනන්දුවත් මූලික කරගෙන කටයුතු කරන Z අකුර හිමියන්ට ජීවිතයේ සාර්ථකත්වයට පත්වීම අපහසු කටයුත්තක් නොවේ.
හෘද අංකය අනුව පලාපල ලබන කලාපයේ සිට බලාපොරොත්තු වන්න.