දුටුවොත් එළදෙනක් අනාගතයට සුබ වැඩපිළිවෙළක් | Page 2 | සිළුමිණ

දුටුවොත් එළදෙනක් අනාගතයට සුබ වැඩපිළිවෙළක්

  • සිතැඟි ඉටුකරන ඇත් රජු
  • නින්දේදී දකින සිහින ගෙනෙන පලාපල
  • ධන ලාභ ගෙන එන අශ්වයා

කෝට්ටේ දුර්වල පාලකයන් යටත් කොටගත් බලවත් පරංගින්ට මෙසිරිලක මුළුමනින්ම යටත් කරගන්නට ඉඩ නොලැබුණේද සීතාවක මායාදුන්නේ රජතුමා නිසාවෙනි.

ලොකු බණ්ඩාර, තිඹිරිපොළ බණ්ඩාර සහ සන්ධාන බණ්ඩාර නම් පුතුන් තිදෙනෙකු සිටියද මායාදුන්නේ රජතුමා ඒ පුතුන් වෙතින් සෑහීමකට පත්වූයේ නැත. තමාගෙන් පසු මේ තිදෙනාගෙන් කවරෙකු රජ පදවි ලැබුවද පරංගි සතුරාට මුහුණ දෙන්නට හැකියාවක් නැති බව රජතුමා දැන සිටියේය.

සීතාවක රාජ්‍යය විනාශ වීම සිංහල ජාතිය විනාශ වීම බව දන්නා රජතුමා රට රැකගන්නට සෑහෙන පුතෙක් දෙන ලෙස කතරගම කඳ සුරිඳුට කන්නලව් කළේය.

රජතුමාගේ අගබිසව වන සුමනා දේවිය තම දිගු වරලස මුලින්ම කපා මුස්නක් ලෙස බැඳ දෙවොල අමදිමින් රට රැක ගන්නට සමත් පුතෙක් තමාට දෙන ලෙස කතරගම දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටියාය.

එදින රැයේ සුමනා දේවිය සැතපී සිටියදී සිහිනෙන් දර්ශනය වූ කඳ සුරිඳුන් දේවියගේ කන්නලව්වට තමන් සවන් දුන් බවත් පැතූ ලෙසින්ම සෑහෙන පුතෙක් දෙන බවත් පවසද්දී කෝට්ටේදීත් සීතාවකදීත් තමා පළවා හැරීම නිසා කෝපයෙන් පලිගන්නට අවස්ථාවක් සොයමින් සිටි යක්ෂයා සුමනා දේවියගේ කුස පිලිසිඳ ගත්තේය.

කටේ කිරි සුවඳ පහව යන්නටත් පළමුව සීතාවක හමුදාව මෙහෙයවමින් තමන් ලොව අද්විතීය රණශූරයන් බවට වහසි බස් දෙඩූ පරංගි සතුරා මුල්ලෙරියාව වෙලේදී සමූල ඝාතනය කොට අභීත රණශූරයෙක් ලෙස ලොව පතළවූ ටිකිරි කුමරු හෙවත් සීතාවක රාජසිංහ යුද්ධයට එතරම් දක්ෂ වූයේත් සඟුන් නසන්නට තරම් කුරිරු වූයේත් යක්ෂ ආත්මයක සිට මිනිස් ලොව උපන්නෙකු නිසා බවට කතාවක් පවතී. එසේ ඔබ අප දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂයෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

කකුළුවෝ - වෙර වීරිය අඩු කෙරේ. බලාපොරොත්තු අසාර්ථකයි. චිත්ත සත්තාපයෙන් කටයුතු කිරීමට සිදු වේ.

කොටළුවන් පිට උඩ යෑම හෝ දක්කාගෙන යාම - අන්‍යයන්ගේ කේළම් බස් කරණකොටගෙන චිත්ත වේදනා

කොටියකු හිලෑ කරනවා දුටු විට - අදහස් මුදුන්පත් වනු ඇත.

කොටියකු සමඟ පොර කෑම - ජයග්‍රහණය ලැබීමට සහ සැප සම්පත් ලැබීමට ඉවහල් වනු ඇත.

එළුවකු සිහිනෙන් දැකීම - විරුද්ධවාදීන් ඇතිවීමට බෙහෙවින් ඉඩ ඇත. අන්‍යයන්ගේ ප්‍රයෝගවලට හසු වේ.

එළදෙන - අනාගත සුබ සිද්ධියට ඉවහල් වන වැඩපිළිවෙළකට පසුබිම සකස් වනු ඇත.

බූරුවකු සිහිනෙන් දැකීම - කරදරකාරී ප්‍රශ්න ඇති කෙරේ. යුගදිවි ගමන බාධක සහිතය.

බැටළුවන් - විරුද්ධවාදින්ගෙන් උදවු උපකාර ලබාගැනීමට හැකි වීම.

වලසා - හිතමිතුරන් සමඟ අමනාප

ඇතා - සිතැඟි ඉටුවී ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් වනු ඇත.

සිංහයා - වැදගත් ක්‍රියාවකදී නායකත්වය හිමි වේ. බහු ජනයා අතර සම්මාන ලැබීමටද අවස්ථාව

සුදු අශ්වයා - හදිසි ධන ලාභ

කළු අශ්වයා - බලාපොරොත්තු අසාර්ථක වේ. චිත්ත සන්තාපයට පත්වන සිදුවීම් තුළින් උදාසීන භාවයට පත් වනු ඇත.

දුඹුරු අශ්වයා - කාර්ය හානිය මෙන්ම මන්දෝත්සාහිභාවය ඇති කිරීමට ඉවහල් වේ.

කුළු හරකා - සතුරු කරදරයක් කරණකොටගෙන අපහසුතාවට පත්වීමට බෙහෙවින් ඉඩ ඇත.

වඳුරා - ඔබට සමීප හිතෛෂිවන්තයකු විසින් පවුලේ සමඟි සමාදානය පළුඳු කිරීමට ක්‍රියා කරනු ඇත.

රිළවා - සතුරු බලපෑම්වලට ලක්වීමට මෙන්ම ශරීර සෞඛයේ දුර්වලතා නිසා අපහසුතාවට පත්වනු ඇත.

නරියන් - දුක් කරදර පීඩා අලාභ හානී

කිඹුලන් - සොර සතුරු බිය

ගෝණා - රහස් අනාවරණය වීමට මෙන්ම අන්‍යයන් සමඟ මතභේදවලට ඉඩ ඇත.

ඉත්තෑවා - වැඩ කටයුතු අවුල් වෙයි. ධන හානි ව්‍යාපාර කටයුතුවලින් පාඩු

ගිරවා - හිතවතකු ඔබ සමඟ අමනාප වීමට ඉඩ ඇත.

මොනරා - පවුලේ ඥාති වර්ගයාගෙන් ධනය ලැබීමට ඉඩ ඇත.

හාවා - මිතුරු ඇසුරෙන් තම අභිවෘද්ධිය ඇති කෙරෙනු ඇත.

බළලෙකු දුටුවොත් - මිතුරකු නිසා කරදරයකට පත් වීමට ඉඩකඩ

බල්ලෙක් දුටුවොත් - බලාපොරොත්තු අවුල්සහගත වනු ඇත. උත්සාහයෙන් කරන කටයුතු ප්‍රතිඵල රහිතයි.

බල්ලකු සපා කනවා දුටුවොත් - හිතවත් කෙනෙක් විරුද්ධ වීමට ඉඩ ඇත.

ඌරන් - හදිසි විෂ සහ රෝ දුක්

ඉදුණු කෙසෙල් කැන් - ළඟ ඥාතියෙකුගේ අකල් මරණයක්

මිතුරන් සමග සාදයක් - රැකියාවේ දියුණුව ලැබේ

මුදල් මිටියක් අතට ගැනීම - කරන කියන කටයුතුවලින් පාඩු විඳින්නට සිදුවේ

දෙදෙනකු අතර දඹරයක් - ශාරීරික ආබාධ

මනුෂ්‍ය ඝාතනයක් - නඩුහබවලට පැටලෙන්නට සිදුවේ.

දෙපාවල හොරි දද ආදිය - කරන කියන කටයුතු සාර්ථකය

අමුවෙන් මස් අනුභව කිරීම - සියලු කටයුතු සාර්ථක වේ.

පාලමක් මතින් ගමන් කිරීම - විසඳාගන්නට නොහැකිව තිබු ගැටළුවක් විසදේ

කිරි ගසක් මුලින් ඉදිරී බිම පතිත වීම - නිවසේ ප්‍රධානියාට බලවත් විපතක්

තම උදරය විවර වී තිබීම - මහත් වු ධන ලාභ වරප්‍රසාද හිමිවේ.

 

Comments