පුද්ගල තේජස පෙන්වන ගුරු මණ්ඩලය | Page 2 | සිළුමිණ

පුද්ගල තේජස පෙන්වන ගුරු මණ්ඩලය

ගුරු මණ්ඩලය ප්‍රබල නම් ඔහු හෝ ඇය කාරුණිකයි

කුජ තුලාව ලෙසද හඳුන්වයි

 

අතේ ඇඟිලි පිහිටා ඇති ආකාරයෙන් හෙළි වන ජීවිත පලාපල පිළිබඳව පසුගිය "ඉසිවර" කලාපවලින් විස්තර කළා ඔබට මතක ඇතැයි සිතමි. මෙයින් ඉදිරියට විස්තර කරන්නේ අතේ ඇඟිලිවලටත් සම්බන්ධ ස්ථාන නවයක් පිළිබඳවයි. සාමුද්‍රික ශාස්ත්‍රය අනුව අල්ලේ පිහිටි සුවිශේෂ ස්ථාන නවයක් මණ්ඩල වශයෙන් හඳුන්වනු ලබයි.

මෙහිදි රවි, චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයන් හය දෙනාට මණ්ඩල හයක්ද, කුජ ග්‍රහයාට මණ්ඩල දෙකක්ද වශයෙන් හිමිකර ඇත. එයට අමතරව අල්ලේ මැද පිහිටි ප්‍රදේශයද කුජ ග්‍රහයාට අයත් වන බැවින් එය කුජ තලාව වශයෙන්ද හඳුන්වනු ලබයි. ගුරු පීතෘවරයා ලෙස පෙනී සිටින බැවින් ගුරු මණ්ඩලය ප්‍රධානකොට සැලකෙයි. මේ නිසා අපි පළමුවෙන්ම ගුරු මණ්ඩලය පිළිබඳව කතා කරමු.

කෙනකුගේ ගාම්භීරත්වය පිළිබඳව පෙන්නුම් කරන්නේ බ්‍රහස්පති මණ්ඩලය හෙවත් ගුරු මණ්ඩලයයි. ඕනෑම ක්ෂේත්‍රයක නායකත්වය දරන්නේ ගුරුය. මේ නිසා ගුරු මණ්ඩලය ප්‍රධාන වෙයි. බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගෙන් ආකර්ෂණය වන තරංග චලන ශක්තීන් ගබඩා කෙරෙන ගබඩාවක් ලෙස ගුරු මණ්ඩලය හැඳින්වීම නිවැරැදිය. දබරඟිල්ලේ මුල ප්‍රදේශය ගුරු මණ්ඩලයට අයත් වෙයි. නායකත්වය, දියුණුව, උගත්කම, දයාව, කරුණාව ආදී සුබවාදී ගුණාංග මේ මඟින් ප්‍රකට කෙරේ. මෙම ගුරු මණ්ඩලය මනාව උස්ව පිරුණ ආකාරයෙන් පිහිටියේ නම් එම අයට ගුරු ග්‍රහයාගෙන් ලැබෙන සුබපල අධික වෙයි.

එමෙන්ම ගුරු මණ්ඩලය පහත්ව පැතලි ආකාර වීම නොදියුණුව හෙවත් ගුරුගේ බලපෑම අඩුවීමට හේතුවක් වෙයි. මෙයට ලම්බාකාරව හෙවත් ඉහළට නැඟෙන රේඛාවක් වැටී ඇත්තේ නම් ගුරුගෙන් ලැබෙන බලය හොඳාකාරවම ලැබෙයි. ගුරු මණ්ඩලය මනාව පිහිටීම කෙනකුගේ උපතින්ම පිහිටා නැති වුවත් ඔහුගේ හෝ ඇයගේ උත්සාහයන් අනුව මෙම මණ්ඩලය උස්ව හෝ පහත්ව දුබලව පිහිටයි. දුර්වර්ණ වූ ගුරු මණ්ඩලයක් ඇති අය දියුණු වීමට උනන්දුවක් නොදක්වන අතර කොයිම අවස්ථාවකවත් මූලිකත්වයක් ගෙන කටයුතු කිරීමටද ඔවුන්ට හැකියාවක් නැත. ඒ අනුව ඔබට ඔබේ අතේ ඇති ගුරු මණ්ඩලයේ ප්‍රබලතාව හෝ දුබලතාව හඳුනාගත හැකි වනු ඇත.

යමෙකුගේ අතේ ප්‍රබල ගුරු මණ්ඩලයක් පවතින්නේ නම් ඔහු හෝ ඇය කාරුණික බවින් යුතු අන් අය කෙරෙහි මෙත් සිත් දක්වන ආත්ම අභිමානයෙන් යුතුව කටයුතු කරන අන් අයගේ ගෞරවය ලබන අයෙකු වෙයි. මනා දේහයකින් යුතු ඔවුන් යුක්තිගරුකය. සුචරිතවත් වන අතර බොහෝ ශිල්ප ශාස්ත්‍රයෙහි දක්ෂයෝ වෙති. තීක්ෂ්ණ බුද්ධියකින් යුතු අය වෙති. වාස්තු විද්‍යාව, ජ්‍යොතිෂ විද්‍යාව වැනි විවිධාකාර ශාස්ත්‍ර කෙරෙහිද වැඩි ළැදියාවක් දක්වන්නෝ වෙති. තම අභිලාෂයන් කෙසේ හෝ ඉෂ්ට කරගැනීමට උනන්දු වන ඔවුහු ඒ හැම දෙයකින්ම ජයග්‍රහණය ද ලබති. ගුරු මණ්ඩලයෙන් ඉහළට නැඟුණ රේඛා පිහිටියේ නම් හේ උපතින්ම ධනවතෙකු බව පෙන්නුම් කරයි. ග්‍රහ මණ්ඩලය යටට නෙරා ගොස් තිබීම අත්ල හිමියාට අසුබ පල උදා කිරීමට හේතු වේ. ඉගෙනීමට දක්ෂ නොවේ. ආගිය තැන්වලදී අඬදබර ඇති කර ගනී. කෙළෙහිගුණ නොදත් අය වේ. අනෙකුත් රේඛාත් අයහපත් නම් සොරකුගේ තත්ත්වයට පත් වෙයි. කාර්මික හා කම්කරු ශ්‍රේණියේ රැකියාවක් කරන අයගේ මෙම ග්‍රහ මණ්ඩලය යටට නෙරා ගොස් ඇති බව දැකිය හැකිය. මෙය බොහෝ නීතිමය ප්‍රශ්නවලට හා බන්ධනාගාරගත වීමට පවා හේතු වනු ඇත.

ගුරු මණ්ඩලය විශාල වූ විට උසස් තත්ත්වයක් ලැබීමට හා අන්‍යයන් පාලනය කිරීමට ඇති ආශාව, සංවිධානවලට ඇති ඇල්ම, විශ්වාසවන්තකම, උසස් තනතුරු ලැබීම, නායකත්වය ගෙන කටයුතු කිරීම, සමාජයේ ගරුබුහුමන් ලැබීම, පරිත්‍යාගශීලි බව, අනියම් මාර්ගවලින් දියුණු වීම ආදි සුබ පල හිමි වේ. ගුරු මණ්ඩලය හරහා අශුභ රේඛා වැටීම, රෝග පීඩා, අලස ගතිය, අන් අයගේ දෝෂාරෝපණවලට ලක්වීම ආදියට හේතු වෙයි. ගුරු මණ්ඩලය අල්ලේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස්ව එහි ත්‍රිශූල, තරු සලකුණු, ඍජුව කෙළින් පිහිටි රේඛා, චතුරස්‍ර, ත්‍රිකෝණාදී සටහන් එකක් හෝ කීපයක් පිහිටා ගුරු මණ්ඩලයේ මැද කතිරයක් පිහිටා තිබීම වාසනාවන්ත විවාහ දිවියකට හේතු වෙයි. ගුරු මණ්ඩලයේ එම කතිරය සදාකාලික ප්‍රේම සංකේතයක් ලෙස සැලකේ.

දුබල ගුරු මණ්ඩලයක පිහිටා ඇත්තේ නම් හෝ අධ්‍යාපනය හොඳාකාරව නොලැබූ අන් අයව පහත්කොට සලකන්නා වූ හැම විටම පසුතැවිලි වන්නාවූ අයෙකු වෙයි. ආත්මාර්ථකාමී ගතිගුණවලින් පිරුණ ඔවුන් පමණ ඉක්මවා සිහින මවන්නන් වේ. බොහෝ විට අරපරිස්සමක් නොමැතිව ක්‍රියා කරන අතර තමන් උගත් ශිල්ප ශාස්ත්‍රයන්ගෙන්ද ප්‍රයෝජනයක් නොලබන්නෙකි. සෑම අතකම මණ්ඩල ඒකාකාරව නොපිහිටයි. ප්‍රබල හා දුබලතාව අනුව විවිධාකාර පල ලබයි. හැම අයෙකුගේම දියුණුව හා පරිහානිය මණ්ඩලයන්ගේ බලවත්භාවය අනුව සිදුවේ. ප්‍රබල ලෙස පිහිටි මණ්ඩල අධික වීම සැපවත් ජීවිත ගත කිරීමට හේතු වන අතර දුබල මණ්ඩල අධික වීම පරිහානිය හා දුක් කරදර ඇති වීමට හේතු වෙයි. ගුරු මණ්ඩලය අස්වාභාවික ලෙස විශාලව දබර ඇඟිල්ලද දික්වී නම් එවැන්නන් අහංකාර, දූෂිත ගතිවලින් පිරුණු ආත්මාර්ථකාමී අය වේ. ඔවුන් මත්පැන් ආදිය හේතුකොට ගෙන නොයෙකුත් රෝග පීඩා ආදියටද ගොදුරු වෙයි. මෙම මණ්ඩලය පිළිබඳව පරීක්ෂා කිරීමේදී අනිත් මණ්ඩල ඇඟිලි නිය හා රේඛා ආදියෙහි වර්ණය ගැනද සැලකිලිමත් විය යුතුය. ඒවා පැහැදිලි වර්ණයෙන් යුක්තනම් ක්‍රියාශීලි බව සාමකාමී බව, අන් අයගේ ප්‍රියතාව, ගතිගුණ, හැසිරීම් අන්‍යයන්ගේ ප්‍රසාදයට හේතු වීම්, කටයුතු සාර්ථක වීම් ආදියට හේතු වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

හිඹුටානේ පියතිලක ද අල්විස්

Comments