
සුළැඟිල්ල මුල සිහින් අය දුරදිග බලා කටයුතු කරන්නෝ වෙති
බුධ ග්‍රහයාට සම්බන්ධකම් ඇති බැවින් බුධ ඇඟිල්ල ලෙසින්ද හඳුන්වයි
දිගින් වැඩි නම් සුබ ලක්ෂණයක්
අතෙහි ඇඟිලි අතරින් ඇඟිලි හතරක් පිළිබඳව ජීවන තොරතුරු පසුගිය "ඉසිවර" කලාපවලින් ඉදිරිපත් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. මෙවර මම ඔබ දැනුම්වත් කරන්නේ අතේ පිහිටි පුංචිම ඇඟිල්ල වන සුළැඟිල්ල පිළිබඳවයි. බුධ ග්‍රහයාට සම්බන්ධකම් ඇති බැවින් මෙයට ‘බුධ ඇඟිල්ල‘ කියාද ව්‍යවහාර කරයි.
සුළැඟිල්ලේ පිහිටීම සහ හැඩහුරුකම් අනුව කෙනෙකුගේ ප්‍රකෘති ස්වභාවය, මානසික තත්ත්වය, කථිකත්වය ආදී ගුණාංග විනිශ්චය කරගත හැකිය. මෙම ඇඟිල්ල දිගින් වැඩිවීම එනම් සුළැඟිල්ල වෙදඟිල්ලේ අග පුරුක ඉක්මවා යාම ශුභ ලක්ෂණයකි. දික් වූද, මනාව වැඩුණා වූද සුළැඟිල්ල ඇති තැනැත්තා දීර්ඝායු ලබන අතර ධනවතෙක් ද වේ. එමෙන්ම ඔවුන් දක්ෂ ලේඛකයන්, කථිකයන් හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පුද්ගලයෝය. දිගු සුළැඟිල්ලක් නොමැති කිසිවකු කිසිම අවස්ථාවක උසස් තත්ත්වයකට පැමිණ නොමැත. ගුණයෙන් හීන අයෙකුට වුවද දිගු සුළැඟිල්ලක් පිහිටියේ නම් හෝ වඩා දියුණුවක් ලබයි. චතුර ලෙස කතා කිරීමේ දක්ෂතාවක් ද ඇති ඔවුනට ඇසුපිරූ තැන් හා යහපත් ධාරණ ශක්තියක් ද ඇත.
සුළැඟිල්ල වෙදැඟිල්ල අග පුරුකට වඩා කොටවූ විට අනුන් විසින් ඔහු පාලනය කරනවාට වඩා ඔහු විසින් අනුන් පාලනය කිරීමට සිත් යොමු කරයි. වෙදැඟිල්ලේ අග පුරුක් සන්ධියට සමානව සුළැඟිල්ල දිගු නම් ඔවුන් අධ්‍යාපනය කෙරෙහි වඩා සිත් යොමු කර ඥානය දියුණු කර ගැනීමට වැඩි වෙහෙසක් දරන අය වෙති. අධ්‍යාපනය ලැබීමෙන් පසුවද ශාස්ත්‍රානුකූලව යම් යම් කර්මාන්ත ආදිය කිරීමට උනන්දු වෙති. සුළැඟිල්ල වඩා කොටවූ විට ගොත ගසයි.
සුළැඟිල්ලේ මුල පුරුක එනම් අල්ලට සම්බන්ධ පුරුක අනිත් පුරුක්වලට වඩා දික් වී ඇත්නම් හේ වංචාකාරී අදහස් ඇති කපටි පුද්ගලයෙකි. එම පුරුක මහත් වී නම් ජීවත් වීමට ඉතා ආශා කරන අවංක අදහස් ඇති පරිත්‍යාගශීලි යුක්ති සහගත අය වෙති. සුළැඟිල්ල මුල සිහින් ආකාරව පිහිටියේ නම් ඔවුනට දුරදිග බලා කටයුතු කිරීමේ මනා දැනුමක් ඇත. ඇඟිල්ලේ මැද පුරුක අනිත් පුරුක්වලට වඩා කෙටි වීනම් අවශ්‍ය දෙයට පමණක් වියදම් කරන සකසුරුවම්කාරී අයෙකු වෙයි. ඉගෙනීමෙන් කිසිම දියුණුවක් නොලබන අයගේ මැද පුරුක ඉතා සිහින්ව පිහිටයි. කර්මාන්ත හා වෙළෙඳ කටයුතු කෙරෙහි මනා දැනුමක් ඇති පුද්ගලයාගේ සුළැඟිල්ලේ මුදුන් පුරුක අනෙක් පුරුක්වලට වඩා දිගුව පිහිටා ඇති බව දැකිය හැකිය. ශූර කපටි අයගේ සුළැඟිල්ලේ මුදුන් පුරුක මහතට පිහිටනු ඇත. සුළැඟිල්ල කෙටියෙන් පිහිටි පුද්ගලයා උපාය කෞශල්‍යයෙන් හීන කතාවෙහි දක්ෂයෙක් වන අතර ඉතාම කෙටි වුවහොත් එම අයගේ මානසික තත්ත්වයද දුර්වල වෙති. ඉක්මනින් කෝප වන ස්වභාවය ඇති වුවද එය වැඩි කාලයක් සිතේ නොපවතී. ඇඟිලි තුඩ උල්ව තිබීම විහිළුවලින් විනෝද වීමට වැඩි කැමැත්තක් දක්වන කෙනෙකු බව ප්‍රකට කරන අතර හේ බුද්ධියෙන් ද හීන වේ.
සුළැඟිල්ලේ මුල පුරුක කෙටිව සිහින්ව පිහිටියේ නම් එම අය මවුපිය වැඩිහිටියන්ගේ අවවාදවලට ගරු කරන්නෝ නොවන අතර ඔවුනට නෑදෑයින් සමඟ වුවද වැඩි කාලයක් හොඳහිත පවත්වාගෙන යාමට අසීරු වෙයි. ඔවුන්ගේ වචන භාවිතයද ප්‍රියජනක නොවේ. කෙට්ටු වුවද, අශෝභන වූද, නැමුණා වූද, වක ගැසුණා වූද, සුළැඟිලි පිහිටන්නේ සොරුන් ගැට කපන්නන් ආදීන්ටය.
සුළැඟිල්ලේ පහළ සිට මුදුන් පුරුක දක්වා විහිද යන රේඛාවන් යම් අයෙකුගේ අතේ පිහිටියේ නම් හෙතෙම උසස් චින්තන ශක්තියෙන් මෙන්ම නොයෙක් විද්‍යාවන්, නොයෙක් ශාස්ත්‍ර උගත් ප්‍රවීණ විශාරදයෙක් වෙයි. මුදුන් පුරුකෙහි පළල් වූ රේඛාවක් පිහිටි කල ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බලා සිටියදීම දුර්වල වේ. මුල පුරුක හා මැද පුරුක අතර ඍජු රේඛාවක් පිහිටීමෙන් හෙළි කරන්නේ ජනප්‍රිය කථිකයෙකු වීමේ වාසනාව ඇති බවකි. එමෙන්ම ඔවුහු සමාජ සේවයටද ළැදි අය වෙති. පුරුක මැද පිහිටියා වූ තරුවක ලක්ෂණයෙන් දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන දක්ෂ කථිකයෙකු හඳුනා ගත හැකිය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්