
කොතරම් මංගල යෝජනා ආවත් විවාහ ප්‍රමාදය උප්පත්තියෙන් නම් එහි ප්‍රතිඵල අත්විඳින්නට වෙනවාමයි
මංගල රාශිය අධිපතියා චන්ද්‍රයා සහ සිකුරු බලවත් වූ විට ඔහු හෝ ඇගේ විවාහය සිදු වේ
කෙනෙකු විවාහයට සුදුසු වයසක සිටින විට විවාහ කාරක ග්‍රහයෙකුගේ දසාවක් ලබා ඇත්නම් ඒරාෂ්ටක බාධක මාරක එසේම වෙනත් දශා අපලයක් නොමැති නම් ලග්න, චන්ද්‍ර, සිකුරු යන ස්ථානයකින් ගුරු සප්තමව ගමන් කළතොත් එම කාලසීමා තුළ පෙම් සබඳතාවක් ඇතිවිය හැකිය. විවාහය සිදු වීමේදී යෝගයක් නොයෙදීනම් වෙනත් මාර්ගයකින් මංගල යෝජනාවක් හෝ ඉදිරිපත් වීමට ඉඩ ඇත.
කොතරම් මංගල යෝජනා සහ ප්‍රේම සබඳකම් ඇති වූවත් විවාහය ප්‍රමාද වීමේ දෝෂයක් උප්පත්තියෙන්ම ඇත්නම් එහි ප්‍රතිඵල අත්විඳීමට ද ජන්මියාට සිදු වනු ඇත.
මංගල රාශිය අධිපතියාත් චන්ද්‍රයා සහ සිකුරුත් පාප පීඩිතව නොව බලවත් වූ පමණින් ඔහු හෝ ඇගේ විවාහය ඉක්මන් වේ. මෙකී ග්‍රහයන් පාප සංයෝග වීම හෝ ලග්න, චන්ද්‍ර, සිකුරු යන ස්ථානවලින් 2, 7, 8 යන රාශිවල පාපයන් සිටීමද විවාහය පමා වීමට හේතුවකි.
යමෙකු උපන් මොහොතේ සෙනසුරු මෙකී ස්ථානයක විවාහක සාධකය වශයෙන් පැවැති යැයි සිතමු. ඔහු හෝ ඇය උපන්නේ ගුරු මහ දශාවේ මුලදී නම් වයස අවුරුදු 36 දක්වා විවාහය ප්‍රමාද වීමට ඉඩ ඇත. ගුරුට වර්ෂ 16යි. සෙනසුරුට වර්ෂ 19යි. එකතුව 35යි.
සෙනසුරු දශාව පවතින වයස අවුරුදු 16 සිට 35 දක්වා කාලය විවාහයට ඉතා සුදුසු කාලයකි. මංගල කාරක ග්‍රහයන්ගේ අතුරු දශා පැමිණෙන කාලවලදී විවාහ යෝජනා ඉදිරිපත් වෙයි. නැතහොත් ප්‍රේම සම්බන්ධයන් ගොඩනැඟේ. එහෙත් මෙකී බාධකය වශයෙන් සිටි සෙනසුරු ගෝචර ගමනින් කෙසේ හෝ විවාහයට බාධා ඇති කරයි.
සෙනසුරු පමණක් නොව රවි, කුජ, රාහු, කේතු යන පාපයන්ගෙන් කවරෙකු වූවත් යටකී ස්ථානයක අශුභව සිටීම ද විවාහය ප්‍රමාද වීමට හේතුවකි. මෙකී ග්‍රහයන් සිට උච්ච බලයකින් සිටි විට පමණක් විවාහය නිසි කලදී සිදු වනු ඇත.
හත අධිපතියා 6, 8, 12 යන ස්ථානයක සිට හෝ බාධක ස්ථානයක සිට සඳු, සිකුරු පාප සංයෝග වීමෙන් ද විවාහය ප්‍රමාද වන හේතු යෙදේ.
07 අධිපතියා හතේ බාධකයා වූ අය තුළ මේ ගතිගුණ විශේෂයෙන්ම පිහිටනු ඇත. මොවුන්ගේ විවාහයන් පමා වීමට මූලිකවම හේතු වී ඇත්තේ අංගසම්පූර්ණ පුද්ගලයන් අපේක්ෂා කිරීමය.
ස්වාමියාට හෝ භාර්යාවට අනිටු පල අත්විඳීමට හේතු වන මේ දෝෂවලට වෛධව්‍ය දෝෂ යැයි කියනු ලැබේ. ස්ත්‍රි කේන්දරයක ලග්න චන්ද්‍ර, සිකුරු යන තුනෙන් 7, 8 යන ස්ථාන සහ සිකුරු සිටින රාශිය ද රවි, කුජ, ශනි, රාහු, කේතු යන පාප ග්‍රහයන්ගෙන් යුක්ත වීම වෛධව්‍ය දෝෂය නම් වේ.
මෙකී ග්‍රහයන් ඒ ස්ථානයන්හි ස්වක්ෂේත්‍ර අතිමිත්‍ර - මිත්‍ර - සතුරු - අතිසතුරු නීච යන පිළිවෙළින් ඒ ඒ ග්‍රහයන්ට අයත් පාපාංශක ගණ ද වැඩි වන හෙයින් ඒ හේතුකොට ස්වාමියාට හෝ භාර්යාවට ලැබිය යුතු අනිටු විපාක ද වැඩි වීමට ඉඩ ඇත.
විවාහකයෙකුගේ කේන්ද්‍රගත මෙබඳු වෛධව්‍ය දෝෂ ඇත්නම් ඒ ග්‍රහ දශා කාලය තුළදී කුමන හෝ හේතුවකින් විවාහය අවුල් වීමට ඉඩ ඇත. මෙකී ග්‍රහයන් කේන්දරයේ වෙනත් ස්ථානයකට අශුභව සිට මංගල ස්ථානය දුටුවොත් ද බොහෝ විට ඉහත ප්‍රතිඵලය ගෙන දිය හැකිය.
ශනි, රාහු මෙකී ස්ථානයක අසුබව සිටීම ස්වාමියාගේ හෝ භාර්යාවගේ ශාරීරික සෞඛ්‍ය කෙරෙහි බලපායි. කුජ, කේතු දෙදෙනාගේ අවකල් ක්‍රියා හේතුවෙන් දික්කසාද නඩු යෙදිය හැකිය. ඇතැම් විට රවි හා රාහු ද මෙබඳු ප්‍රතිඵල ගෙන දෙන බව පෙනේ.
තවද රවි, කුජ, කේතු තිදෙනාගෙන් ද විවාහකයන් කෙරේ අනිටු බලපෑම් ඇතිවිය හැකිය. එහෙත් වෛධව්‍ය දෝෂ ඇති ග්‍රහයෙකු ගුරු විසින් දුටුවොත් ඒ දෝෂ භංග වෙයි. විවාහක යුවළකගේ පොරොන්දම් ගැළපීම නිරීක්ෂණයේ මෙම වෛධව්‍ය දෝෂ මැඬපවත්වා විවාහය සාර්ථක වීම පිණිසය.
විවාහක යුවළක් පෝරුවට නැංවීමේ සිට කොත පුන්කළස් තැබීම ඒ මත පහන් දැල්වීම, කැකුළු සහල්, බුලත්, රිදී, පඬුරු, පිච්ච මල් යනාදිය පෝරුව මත දැමීම මංගල අෂ්ටක කියවීම පෝරුවෙන් බැසීමේදී පොල් ගෙඩිය බිඳීම සිරිත් වශයෙන් ඉටු කරනු ලබන්නේ වෛධව්‍ය දෝෂ භංග කිරීමේ දෝෂ පෙරදැරි කරගෙනය.
එහෙත් විවාහය සිදු කිරීමට නැකත් සෑදීමේදී වෛධව්‍ය දෝෂ භංග කරවිය හැකි ප්‍රබල ග්‍රහ යෝග සහිත නැකත් සාදවා ඒ අනුව විවාහය සිදු කිරීම වඩාත් සුදුසුම ක්‍රමයකි.
ජ්‍යොතිෂවේදී
සිසිර කුමාරසිංහ