හැමෝටම වටින ලිත් පොත | Page 2 | සිළුමිණ

හැමෝටම වටින ලිත් පොත

 

ළඟ තිබුණොත්  ජ්‍යොතිෂ කටයුතුවලටපහසුයි

ග්‍රහ මාරු සියල්ල සඳහන්

රාහු කාලය ලග්න පලාපලසූර්ය උදාව පහසුවෙන් සොයාගත හැකියි

 

මෙරට ඇතුළත සෑම වසරකම පාහේ වසරේ ග්‍රහ මාරු ආදිය සඳහන් කරමින් 'ලිත් පොතක්' නිකුත් කිරීම සිදු කරනු ලබයි. සැබැවින්ම මෙම ලිත් පොතක් භාවිත කිරීමෙන් ජ්‍යොතිෂය පිළිබඳ ඉතා හොඳ සාමාන්‍ය දැනුමක් ලබා ගැනීමට, ඒ පිළිබඳව ඉතා සුළු මූලික දැනුමක් ඇති අයෙකුට පවා හැකි වන බව මාගේ විශ්වාසයයි. වර්තමානයේදී සෑම ජ්‍යොතිර්වේදියෙකුම මා දන්නා පරිදි සෑම වසරක් පාසාම අලුත් ලිත් පොතක්, අත් පොතක් ලෙස භාවිත කරයි.

මගේ අදහස වන්නේ ජ්‍යොතිර්වේදියෙකු පමණක් නොව සෑම පුද්ගලයෙකුම පාහේ මෙලෙස වසරක් පාසා අලුත් ලිත් පොතක්, අත් පොතක් ලෙස භාවිත කිරීම ඵලදායක බවය.

එලෙස ලිත් පොතක් භාවිත කිරීම තුළින් සෑම පුද්ගලයෙකුටම පාහේ වෙනත් කෙනෙකුගෙන් විමසීමකින් තොරව, "දිනපතා රාහු කාලය" වැනි තොරතුරු ඉතා පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත. මීට අමතර ලෙස තම ලග්නයට අදාළ වසරේ පලාපල පිළිබඳ අදහසක් ද මෙවැනි ලිත් පොතක් පරිහරණය කරන අයෙකුට ලබාගත හැකි වනු ඇත.

තවද මෙවැනි කෘතියක් භාවිත කරන සෑම අයෙකුටම පාහේ මෙහි "ඉර උදාව" වැනි තොරතුරු සඳහන් කර ඇති නිසා අවශ්‍යනම් දිනයක් තුළ යෙදෙන සුබ කාල හෝරාවක් ආදිය ද යම්තාක් දුරකට හෝ පිළියෙල කරගත හැකි වනු ඇත. එමෙන්ම මෙවැනි ලිත් පොතක් භාවිත කරන අයෙකුට එක් එක් දිනවල චන්ද්‍රයා සිටින රාශිය ඉතා පහසුවෙන් සොයා ගත හැකි වන අතර ඒ අනුව එක් එක් දිනවලට අදාළ සුබ දිසාව ඉතා පහසුවෙන් සොයා ගත හැකි අතරම එදිනෙදා මරු සිටින දිශාව ද පහසුවෙන් කියවා ගත හැකි වනු ඇත.

තවද අවශ්‍යනම් "පක්ෂියා රජ කරන වේලාව" වැනි වේලාවන්වලට අදාළ ගණනය කිරීම් ද සිදු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මෙම කෘතිය තුළ අන්තර්ගතව ඇත.

ඒ අනුව ජ්‍යොතිෂය ප්‍රිය කරන අයෙකු හෝ වෘත්තීමය ජ්‍යොතිර්වේදියෙකු වීමට බලාපොරොත්තු වන අයෙකු ද මුලදීම සිදු කළ යුතු කටයුත්තක් ලෙස වසරක් පාසා ලිත් පොතක් භාවිත කිරීම දැක්විය හැකිය.

විශේෂයෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද ඉතා වැදගත් කාරණාවක් වෙනුවෙන් ජ්‍යොතිර්වේදියෙකු මුණගැසීම ගැටලුවක් නොවිය හැකි වුවද නොවැදගත් සුළු කාරණා වෙනුවෙන් වරින්වර ජ්‍යොතිර්වේදියෙකු මුණ ගැසීමට සිදු වුවහොත් එය ප්‍රායෝගිකව ඉතා අපහසු වීමට ඉඩ ඇත. නමුත් ඔහු ලිත් පොතක් භාවිත කළහොත් එවැනි වැදගත් නොවන සුළු කාරණා ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකි වනු ඇත.

වාර්ෂික ලිත් පොතක් භාවිත කිරීම තුළින් එදිනෙදා නැකැත් දින මොනවාද යන්න පිළිබඳව පාඨකයාට එක් වරම ඉතා පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත. අවශ්‍යනම්, එම නැකැත් දින තමන් උපන් නැකතට ගැළපෙන්නේ ද යන්න පිළිබඳ තොරතුරු ද මෙම වටිනා කෘතිය තුළ අන්තර්ගත වේ.

එමෙන්ම එක් එක් කටයුතුවලට සුදුසු නැකැත් කවරේද, එම නැකැත් පිළියෙල කළ හැකි කාල වකවානු කවරේද යන්න පිළිබඳව මෙම කෘතිය පරිශීලනය කිරීම තුළින් ඕනෑම අයෙකුට ද අදහසක් ගත හැකි වනු ඇත.

එමෙන්ම මෙවැනි කෘතියක් පරිශීලනය කරන කෙනෙකුට ජ්‍යොතිර්වේදියෙකු මුණගැසෙද්දී එම ජ්‍යොතිර්වේදියාගේ කටයුත්ත ද තරමක් හෝ පහසු කළ හැකි වනු ඇත. උදාහරණ ලෙස ජ්‍යොතිර්වේදියෙකුගෙන් නැකතක් පිළියෙල කර ගැනීමට යාමට පෙර ලිත් පොත බලා යන අයෙකුට ලිත් පොතෙහි සඳහන් නැකැත් දින කිහිපයක් ජ්‍යොතිර්වේදියාට ලබාදී තම කටයුත්තට සුදුසු නැකැත් දිනය විමසිය හැකි වනු ඇත.

තවද මේ ආකාරයට ලිත් පොත් භාවිත කිරීම තුළින් ජ්‍යොතිර්වේදියෙකු විසින් ලබා දෙන නැකැතෙහි නිරවද්‍යතාව යම්තාක් දුරකට හෝ විනිශ්චය කිරීමට ද සේවාදායකයාට හැකි වනු ඇත. එනම් ලිත් පොත භාවිත කිරීම තුළින් එම සේවාදායකයා හට තම ජ්‍යොතිර්වේදියාගෙන් වඩාත් ඵලදායක සහ වඩාත් නිවැරදි සේවාවක් ලබා ගත හැකි වනු ඇත.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස‍

Comments