ලොතරැයි දිනුමක් ලැබෙයි ද? | Page 2 | සිළුමිණ

ලොතරැයි දිනුමක් ලැබෙයි ද?

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය - 18

බොහෝ අවස්ථාවලදී, විශේෂයෙන් ජන්ම පත්‍රය නැති අවස්ථාවලදී ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීම සඳහා තත්කාල කේන්දරයක් උපයෝගී කරගත හැකිය. “ලොතරැයි දිනුමක් ලැබෙයිද?” යන ප්‍රශ්නය විමසා ඇත්තේ මුදල් අපහසුතාවකින් සිටි අයෙකු එමඟින් හෝ විසඳුමක් ලබා ගත හැකිවේද යන බලාපොරොත්තුවෙනි. ඔහු අත ජන්ම පත්‍රය නොතිබුණ හෙයින් අංකයක් ඉදිරිපත් කර ඇත.

ආයාසයනින් තොරව උපයන ධනය 8 වැනි භාවය මඟින් පෙන්වයි. ලොතරැයි හෝ එවැනි ලියවිලි පෙන්වන්නේ 3 වැනි භාවය මඟිනි. 8 වැනි භාවය සහ 3 වැනි භාවය එක්ව ගත් විට ලොතරැයි මඟින් දිනුම් ලබාගන්නා ආකාරය හඳුනාගත හැකි වෙයි.

තත්කාල කේන්‍දරයේ සඳු, ප්‍රශ්නකරුගේ මනස පෙන්වයි. මෙම තත්කාල කේන්‍දරයේ සඳු 4 වැනි භාවය අධිපතිව 12 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම සඳු තැන්පත්ව සිටියේ 10 වැනි සහ 11 වැනි භාව අධිපතිව 12 වැනි භාවයේ තැන්පත්ව සිටි ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රයකයි. 1 වැනි සහ 8 වැනි භාව අධිපතිව 4 වැනි භාවයේ තැන්පත්ව සිටි කුජ ග්‍රහයා වෙත සඳුගේ ත්‍රිකෝණ දෘෂ්ටිය ලැබෙයි.

ඒ අනුව සඳු ප්‍රශ්නය පිළිබිඹු කර ඇත.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව තත්කාල කේන්‍දරයේ 8 වැනි භාවය යෙදී ඇති රාශිය, නක්‍ෂත්‍රය සහ උප ස්ථානය අධිපති ග්‍රහයන්ගේ සහ 8 වැනි භාවයේ උප ස්ථානය අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයාගේ දශා සහ අතුරු දශා කාලවලදී හදිසි ලාභ මෙන්ම අනතුරුද ගෙන දෙයි.

එසේම 8 වැනි භාවය අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා තැන්පත්ව සිටි රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය අධිපති ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදීද හදිසි ලාභ මෙන්ම අනතුරු ගෙන දෙයි. මෙම තත්කාල කේන්‍දරයේ 8 වැනි භාව ස්ඵූඨය වෘශ්චීක රාශියේ 150 29’ 06“ හි යෙදී ඇත. මෙම භාව ස්ඵූඨය කුජ ග්‍රහයා හිමි රාශියේ ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ ගුරු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත.

තත්කාල කේන්‍දරයේ 3 වැනි, 8 වැනි සහ 11 වැනි භාව මඟින් ක්‍රියාත්මක වන විට ප්‍රශ්නකරු හදිසි ධන ලාභ ලබයි. මෙම තත්කාල කේන්‍දරයේ හදිසි මුදලක් ලබා ගන්නා කාලය සොයා ගැනීමට ජන්ම පත්‍රයේ 3, 8 සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් බලන්න. 3 වැනි භාවය; භාවය අධිපති බුධ ග්‍රහයාය. බුධ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක කුජ ග්‍රහයා තැන්පත්ව සිටිති. මෙම 3 වැනි භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.

8 වැනි භාවය; භාවය අධිපති කුජ ග්‍රහයාය. කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක රවි ග්‍රහයා තැන්පත්ව සිටියි. මෙම 8 වැනි භාවයේදී වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත. 11 වැනි භාවය; භාවය අධිපති ශනි ග්‍රහයාය. ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල, සඳු සහ සිකුරු යන ග්‍රහයන් තැන්පත්ව සිටිති. මෙම 11 වැනි භාවයේ ශනි ග්‍රහයා තැන්පත්ව සිටියි.

මේ අනුව 3 වැනි, 8 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ බුධ, කුජ, රවි, ශනි, සඳු සහ සිකුරු යන ග්‍රහයන් වෙති. මෙම ග්‍රහයන්ගේ පලදායි නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියාට ණය මුදලක් ලබාගත හැකි වෙයි. මෙම ග්‍රහයන්ගේ පලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන් තෝරා ගමු.

භාව නිවේදක ග්‍රහයන් - බුධ, කුජ, රවි, ශනි, සඳු සහ සිකුරු

පාලක ග්‍රහයන් - සඳු, ගුරු, ශනි සහ රාහු

පොදු ග්‍රහයන් - සඳු, ශනි සහ රාහු

මෙම පලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ප්‍රශ්නකරුට ලොතරැයි දිනුමක් ලබා ගත හැකි වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2008 ජනවාරි මාසයේ 09 වැනි දින සිට 2027 ජනවාරි මාසයේ 09 වැනි දින දක්වා ශනි ග්‍රහයාගේ මහ දශාවද, ක්‍රිස්තු වර්ෂ 2021 අගෝස්තු 21 වැනි දින සිට 2024 ජූනි මාසයේ 27 වැනි දින දක්වා ශනි ග්‍රහයාගේ මහ දශාව සහ රාහුගේ භුක්තිය ද පවතියි. මෙම කාල සීමාව පලදායි වෙයි.

Comments