අරුත නොදැන නම් තැබීමේ පල විපාක | Page 2 | සිළුමිණ

අරුත නොදැන නම් තැබීමේ පල විපාක

අශනි - හෙණ

රෝෂනී - කෝප ගත් කත

මහීෂ - මීහරකා

ආශි - සර්පයාගේ දළ

අකේශා - තට්ට ස්ත්‍රිය

ඉරෝෂන් - සෝදාපාළුව

 

නාමකරණය හෙවත් නම් තැබීම භාෂාව පදනම් කරගත් කාර්යයකි. භාෂාව - භාෂාවේ යෙදෙන වචන - ශබ්ද අර්ථ දෙක සංයෝගයෙන්උපදී. ශබ්ද විරහිත අර්ථ, භාෂාවේ පැවැතිය නොහැකි වුව ද අර්ථ විරහිත ශබ්ද නම් පවතී. ඇතැම් ශබ්ද කර්ණරසායන (කනට මිහිරි)වන අතර ඇතැම් ශබ්ද කර්ණකටුක (කනට කටුක) වේ. නාමකරණයේ දී අර්ථය ම මූලික වන නමුදු අදූරදර්ශී ඇතැම් දෙමවුපියෝ කර්ණරසායන ශබ්ද කෙරෙහි ම අවධානය යොමු කරති. අර්ථය යනු හොඳින් සිතා බලා වටහාගත යුත්තකි. ඇතැම් විට ගැඹුරු අර්ථයක් බුද්ධියෙන් හීන වූවකුට නොවැටහිය හැකි ය. එහෙත් ශබ්දය එ සේ නො වේ. භේදයකින් තොර ව කාටත් ශබ්ද රසය හඳුනාගත හැකි ය. ඇතැම් දෙමවුපියන් කර්ණරසායන ශබ්ද මූලික කරගෙන නම් තැබීම සඳහා පෙලඹීමට මේ කාරණය ද හේතු වන බව සිතිය හැකි ය. ඔවුන් සිතන ආකාරයට ‘ලස්සන’ නමක් නම් ‘ලස්සන’ අකුරු යෙදෙන වචනයකි.

එ බඳු ඇතැම් ‘ලස්සන’ නම් සියුම් ව විමසා බැලීමේ දී මනා ව පෙනී යන කරුණක් නම්, ඇතැම් අකුරු නමට යෙදීමෙන් එයට ඉංගිරිසි ඌරුවක්, නවීනත්වයක් ලැබෙන බවට ඇතැමුන් තුළ පවත්නා හැඟීම යි. මෙය එක්තරා දුරකට හීනමානය පදනම් කරගත් අදහසක් ලෙස හැඳින්වීම වැරදි නොවේ.

මේ ‘ලස්සන’ අකුරු අතරින් ද ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන්නේ ‘ර,ශ’ වැනි අකුරු යි. සමාජයේ බහුල ව යෙදෙන රිශාන්, ඔශානී වැනි නම් ඒ සඳහා මනා නිදසුන් වේ. මෙ බඳු නම්වල කිසි දු සිංහල අර්ථයක් නැත. ‘ශ’ ශබ්දය ශුද්ධ සිංහල හෝඩියේ නොයෙදීමෙන් ම ඒ බව පැහැදිලි වේ. එහෙත් ‘ශ’ ශබ්දය යෙදෙන සංස්කෘත භාෂාවෙන් වත් ඒ නම්වලට නිශ්චිත අර්ථයක් දෙන්නට හැකි නොවේ. එ පමණක් නො වේ, සිංහලයට සමීප අනෙක් භාෂාව වන පාලියෙන් වත් ඒ නම්වලට අර්ථයක් දිය නොහැකි ය (‘ශ’ශබ්දය පාලියෙහි ද නොයෙදේ).

මෙහි ලා දැකිය හැකි ඉතා කනගාටු දායක කරුණ නම් මෙ සේ ‘ලස්සන’ අකුරුවලින් නම් තබන්නට යෑම නිසා එ සේ නම් තබන දෙමවුපියන් හෝ වෙනත් අය හෝ කෙසේවත් නොසිතන, නොපතන ඉතා අයහපත් අර්ථ ඒ නම්වලින් ඇතැම් විට ගම්‍ය වීම යි. උදාහරණ ලෙස ‘අශනි’ යන නම පෙන්විය හැකි ය. ‘අශනි’ යනු සංස්කෘත භාෂාවෙන් හෙණය, අකුණ යන අරුත් ඇති පදයකි. අශනිපාත යනු හෙණ ගැසීම යි. අරුත් දැන දැන ම නම් කිසි ම දෙමවුපියකු තම දරුවාට මෙ වැනි නමක් තබති යි සිතිය නො හැකි ය. ‘රෝෂිණි’ යන්න මෙන් ම ‘මහිෂ’ යන්න ද මේ සඳහා මනා නිදසුන් වෙයි. රෝෂිණි යනු කෝපයෙන්, තරහවෙන් යුතු කාන්තාව යි. ‘මහිෂ’ යනු ‘මී හරකා’ යන අරුත් ඇති සංස්කෘත පදයකි. ‘ආශී, අකේශා’ යන නම් ද මෙහි ලා නිදසුන් කොට ගත හැකි ය. සංස්කෘතයෙහි ‘ආශී’ යන වචනයෙහි ප්‍රධාන අර්ථය සර්පයා ගේ දළ යනු යි. ‘අකේශා’ නම් කෙස් නැති (තට්ට) ස්ත්‍රිය යි. මෙ බඳු අර්ථ ඇති නම්වලට කිසිවකු කැමැති වෙති යි සිතිය නොහැකි ය.

තවත් බහුල ව යෙදෙන නමක් නම් ‘ඉරෝෂන්’ යන්න යි. බැලූ බැල්මට ‘ලස්සන’ නමක් ලෙස පෙනුණත් මෙහි ඉංගිරිසි (erosion) අර්ථය නම් ‘සෝදාපාළුව, ඛාදනය’ යන්නයි. තම දරුවා ගේ ජීවිතය සැම දා සෝදාපාළුවට ලක් වනු දකින්නට කැමැති දෙමවුපියෝ කවුරු ද?

මේ අනුව අවධාරණය කළ යුතු කරුණ නම් නමක් තැබීමේ දී ශබ්දය ගැන මෙන් ම එයටත් වඩා- අර්ථය කෙරෙහි ඉතා සැලකිලිමත් විය යුතු බව යි.

සමන්ති අහුබුදු

Comments