
නිවෙසේ ව්‍යාපාරික ස්ථානයේආරක්ෂාවට සහ ධන සම්පත් ලැබීමට සුවිශේෂියි
රත්නමාලා ගාථාවල නිධාන කථාව
යන්ත්‍රය 108 වරක් ගාථාවලින් ජීවම් කර ගත යුතුයි
පෙර රජ දවස කන්ද උඩරට එදා සෙංකඩගල, වර්තමානයේ මහනුවර එකල රාජ්‍ය කළ රජ කෙනෙක් සිරිතක් වශයෙන් හැම දිනකම උදේ හවස ශ්‍රී දළදා වහන්සේට සමන් මල් වට්ටියක් පූජා කරන්ට පුරුදුව සිටියේය. එහෙත් හැම දිනකම පසුදාට බලන විට පෙර දින සවස රජු පූජා කළ මල් වට්ටියේ මල් ඒමේ අත තැනින් තැන විසිරී ගොස් ඇති බව දැක සැකයක් ඇතිවූ නිසා රජු දිනක් මල් වට්ටිය පූජා කර දොර ජනෙල් අගුළුලා මුරකරුවන් වටා යොදවා ආරක්ෂා කර තැබුවද පසු දින බලන විට පෙර දිනවල මෙන්ම මල් විසිරී තිබෙන අයුරු දැක සැකයක් ඇතිවී රහස කුමක් දැයි බැලීම සඳහා උපක්‍රමයක් කල්පනා කර දිනක් මල් වට්ටිය පූජා කර තම අසිපත ද ගෙන දළදා කුටියෙහි ගඳකිළියේ තිරයට මුවාවී සැඟවී සිටියේය.
ඒ වන විට මැදියම් රාත්‍රිය එළැඹි තිබිණි. මුළු පළාතම සුවඳින් සුවඳවත් විය. රජු මේ ගැන සොයා බලන විට මනහර සිනිඳු සළුපිළි ඇඳගත් අයකු උඩින් පාත්වී දොහොත් හිස් මුදුනත තබා මල් ආසනය ළඟට පැමිණ සිටගෙන ඔහුගේ දිව එළියට දිගු කර එහි තිබූ දීප්තිමත්ව බැබළෙන ගුලියක් අතටගෙන මල් අසුනේ කෙළවර තබා ගාථා කියමින් ශ්‍රී දළදා වහන්සේට වන්දනා කරන්නට විය. ඒ දැක සැඟවී සිටි රජු අසුනේ තුබූ ‘බැබළෙන ගුලිය‘ තම කඩුවේ මූනතින් ගෙන තම අතේ සඟවා ගත්තේය. ටික වේලාවකින් වන්දනා කර අවසන්ව අහසින් පැමිණි අමුත්තා ඔහු අසුනේ තැබූ ගුලිය නැවත ගන්නට බලන විට නැති බව දැක පොළවේ හැපෙමින් දුක්බර අඳෝනාවෙන් හඬා වටපිට බලන විට රජු දැක මහත් දුකින් මෙසේ කීවේය.
“රජතුමනි මා ගැන සැකයක් හිතන්න එපා. මම දඹදිව සිට අහසින් යන සිද්ධ විද්‍යාධරයෙක්. මෙම අඳුන් ගුලියේ බලයෙන් සෑම දිනකම හිමිදිරි පාන්දර මා අහසින් ඇවිත් මෙම ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරනවා“යැයි පැවැසීය.
මෙම අඳුන් ගුලිය නැතිව තමාට අහසින් නැවත දඹදිවට යාමට බලයක් නොමැති බවද හෙතෙම පැවසුවේය. ඒ නිසා මෙම ගුලිය රජු ගත්තේ නම් තමාට නැවත එය දෙන මෙන් බැගෑපත්ව ඉල්ලුවේය. එය තමාට දුන්හොත් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් රජුට මෙලොවට නැවත තවත් බුදුවරයෙක් පහළ වනතුරා ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ සමුදායන් අන්තර්ගත මහානුභාව සම්පන්න බල ඇති බලගතු වටිනා ගාථා තුනක් තිළිණයක් වශයෙන් දෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
එවිට රජතුමා ඔහුට අනුකම්පා කර අඳුන් ගුලිය අමුත්තා අත තැබූ පසු ඔහු රත් නෙළුම් මලක් පුබුදවා මල් පියලි මත රත්නමාලි (පද්ම බන්ධන) ගාථාත්‍රය ලියා රජතුමා අතට දුන්නේය.
දස මහා බල මහිමයෙන් ශ්‍රී දළදා වහන්සේටත්, රජතුමාටත්, මුළුමහත් රටටත්, රටේ මුළුමහත් සියලුම ජනතාවටත් පූර්ණ ආරක්ෂාව, රැකවරණය, සෙත, සෞභාග්‍ය, ශාන්තිය, දියුණුව දිනෙන් දින ලැබෙන බව පවසා හෙතෙම අහසින් පිටත්ව ගියේය.
එම රත්නමාලා බන්ධන ගාථා තුන මෙසේය.
සංසාර සාරෝඝ විනීත ණී සං
සංණීත සාතං සුචිසාර ධී සං
සංධීර කං සොණ්ණ තනුපලා සං
සං ලාප දේසිං පණ මෙහි සා සං
සං සාභි ගං කෙවල මොහ නා සං
සං නාහ කං මාර රණෙ විසෙ සං
සං සෙවි තං දාසි මුදාර හා සං
සං හාර ධම්මං පණ මෙ සදා සං
සං දාස ගං නා සිත පාප නා සං
සා තාප ධං සිං හත ඝොර පා සං
සං පාර ගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමෙ රසා සං
එදා දඹදිව ලුම්බිණි උයනේ සල් රුක් සෙවණේ තේජෝ බල පරාක්‍රමයෙන් උපත ලත් සිදුහත් කුමරා තැබූ පාදයන් යට පිපුණු පිවිතුරු අමර පෙම් මල වන නෙලුම් මල් හතට ගරු සරු දැක්වීමටදෝ මේ යන්ත්‍රය හා ගාථා තුන අපට, රටට දුන්නේ මටත් ඔබටත් සියලුම රට වැසියන්ටත් විහාරස්ථානයේ, නිවසේ, ව්‍යාපාරික ස්ථානයේත් ආරක්ෂාවට හා ධන සම්පත් ලබා දියුණුවට, රැකියා දියුණුවට හා යහපත සඳහාය.
මෙම යන්ත්‍රය පන්හිඳකින් හෝ පස් ලෝ කටුවකින් අතින් ඇඳ 108 වරක් හෝ 1000 වරක් ඉහත ගාථා රත්නයන් තුනෙන් ජප කර ගන්නා යන්ත්‍රයෙහි අනුහස් ඇත. එසේ නැතිව වෙනත් ක්‍රමයන්ගෙන් හෝ කඩදාසිවල සැකසූ මන්ත්‍රවලින් පලක් නැත. කිලිනොවදී.
ජ්‍යොතිෂ විද්‍යාජෝති
රඹුක්කන ජිනදාස එදිරිසිංහ