
සෙත් කවිය මිනිසුන් සහ දෙවියන් අතර ගනුදෙනුවක්
සෙත් කවි කියන දින දෙක තුනේදී විතරක් මස් මාළු නොකෑම නිෂ්ඵලයි
සෙත් කවි කීමට පෙර බෝධි පූජාව අනිවාර්යයි
ඕනෑම ක්‍රියාවකින් ගුණයක් හෝ ප්‍රතිඵලයක් ලබන්නට නම් එය නිසි ක්‍රමවේදයට ම අනුව සිදු කළ යුතුය. සෙත් කවියටද එසේමය. වෛද්‍යවරයෙකු ලබා දුන් මඟ පෙන්වීම අනුව කටයුතු කිරීමෙන් රෝගියෙකු සුවපත් වනවා සේම සෙත් කවි රචකයා ලබා දුන් උපදෙස් අනුව සෙත් කවි ගයනා කිරීමෙන් කඩිනමින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකිය.
සෙත් කවිය වූ කලි මිනිසුන් සහ දෙවියන් අතර සිදු කෙරෙන ගනුදෙනුවකි. එය මුදල් ගනුදෙනුවක් නොවුවද බොහෝ දේවල් හුවමාරු වේ. සාමාන්‍ය ජනතාව අතරේදී විසඳ ගත නොහැකි ගැටලු විසඳා ගැනීම සඳහා දෙවිවරු වෙත යොමු කිරීම සෙත් කවි මඟින් සිදු කෙරේ. එහිදී දෙවිවරු හා මිනිසුන් අතර පවතින සම්බන්ධතාව ඉතා වැදගත් වේ. දෙවිවරු නොහඳුනන, දෙවියන්ට පින් අනුමෝදන් නොකරන මිනිසුන් සෙත් කවි වැලක් කීවත් ප්‍රයෝජනයක් නැත. සෙත් කවියක් මඟින් සෙතක් ලබන්නට නම් පළමුව දෙවියන් හඳුනාගෙන සිටිය යුතු අතර දෙවියන් ඇසුරු කරන්නෙකුද විය යුතුය. ඒ නිසා සෙත් කවියකින් ගුණ ලබන්නට නම් පළමුව දෙවියන් සමඟ මනා සම්බන්ධතාවකින් යුක්තව කටයුතු කරන අයෙකු වීම වැදගත්ය.
සෙත් කවි ගායනා කරන දින දෙක තුනේදී පමණක් මස් මාළු අනුභව නොකර සිටින අයද සෙත් කවිවලින් ලබන ප්‍රයෝජනය අඩුය. නිර්මාංශව සිටින අය සෙත් කවි ගායනා කොට ලබන ප්‍රයෝජනය වැඩිය. සෙත් කවිවලින් ගුණයක් ලැබීමේදී මෙකී නිර්මාංශභාවයට හිමි වන ස්ථානය ඉතා ඉහළ බවද තේරුම්ගත යුතුය.
සෙත් කවි ගායනා කරන්නට පෙර බෝධි පූජාවක් පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිදු කළ යුත්තකි. සෙත් කවියෙන් සෙත අපේක්ෂා කරන පුද්ගලයාද මෙකී බෝධි පූජාවට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්ය. බෝධි පූජාවෙන් අත්පත් කරගන්නා පින් පළමුව අනුමෝදන් කළ යුත්තේ සෙත් කවිය යොමු කරන දෙවියන්ටය. ඉන් අනතුරුව දේව මණ්ඩලයේ සිටින පින් ලබා ගත හැකි සෙසු දෙවිවරුන්ටද පින් අනුමෝදන් කළ යුතුය. මේ ආකාරයට දෙවියන්ට පින් දීමෙන් පසු සෙත් කවි ගායනයට සුදානම් වීම ඉතා සුදුසුය.
පලතුරු පූජා වට්ටියක් දෙවියන්ට පූජා කොට ඉන් පසු සෙත් කවි ගායනය සිදු කිරීම බෙහෙවින් පලදායි ක්‍රමයකි. ඉතා පිරිසිදුවට සෝදා ගත් අලුත් පලතුරු ගෙඩි ඉතා පිරිසිදු පිහියකින් කපා සුවඳ මනා සේ විහිදෙන පරිදි වට්ටියක අසුරා දෙවියන්ට පූජා කළ යුතුය. සෙත් කවි ගායනයට පෙර මෙකී පලතුරු පූජාව නිසි පරිදි සිදු කිරීමෙන් බොහෝ ප්‍රතිඵල ලද හැකිය. පලතුරු ගෙඩි පිටින් තැබීමෙන් දෙවියන්ට ප්‍රයෝජනයක් නැත.
බෝධි පූජාවක්, පලතුරු පූජාවක් අවසන් වු පසු සෙත් කවි ගායනය සිදු කළ හැකිය. හොඳින්, නිවැරදිව වචන උච්චාරණය කළ හැකි පවුලේ අයෙකු සෙත් කවි ගායනයට යොදා ගත හැකිය. එවැන්නෙකු නොමැතිනම් පමණක් වෘත්තීය කපු මහතෙකු ඒ වෙනුවට යොදා ගත හැකිය. හැඟීමෙන් යුක්තව සෙත් කවි ගායනය සිදු කිරීම ඉමහත් ප්‍රතිඵල ගෙන දෙන බව කිව යුතුය. හැඟීමෙන් යුක්තව සෙත් කවි ගායනා කළ හැක්කේ පවුලේ සමීපතම අයෙකුට බවද සිහි තබා ගත යුතුය.
විභාග ජයග්‍රහණ අපේක්ෂාවෙන් සෙත් කවි රචනා කරවා ගැනීමේදී ග්‍රහ අපල දුරු කර දෙන ලෙසත් විභාගයට හොඳින් මුහුණ දීමට ශක්තිය, බලය අවශ්‍ය නුවණ හා ආරක්ෂාව ලබා දෙන ලෙසත් ඉල්ලමින් සෙත් කවිය රචනා කරවා ගත යුතුය. විභාගය සමත් කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීම ප්‍රයෝජනවත් දෙයක් නොවනුයේ දෙවියන් විභාගවලට නොලියන බැවිනි. විභාගයකට මුහුණ දෙන දරුවා සිටින නිවසේ නිරතුරුවම ආගමික පරිසරයක් පවත්වාගෙන යාම ඉතා වැදගත්ය. එබඳු නිවසක ජීවත්වන දරුවෙකු වෙනුවෙන් ගායනා කරන සෙත් කවියකින් ලැබෙන පලය බොහෝ වැඩිය.
සෙත් කවියකින් ගුණ ලැබෙනුයේ සෙත් කවිය රචනා කරන පුද්ගලයාගේ බහුශ්‍රැත බව, ඔහුගේ ආගමික භක්තිය, ඔහු දෙවියන් හා පවත්වන සම්බන්ධතාව හා සෙත් කවිය ගායනා කරන පුද්ගලයාගේ ඇති සුපේෂල ශික්ෂාකාමී භාවය මතය. මේ සියල්ල එක්වූ තැන සෙත් කවියෙන් ලැබෙන ප්‍රතිඵලය ඇස්පනාපිටම දැකිය හැකිය. සෙත් කවි රචකයා ලබා දී ඇති මඟ පෙන්වීම නිවැරදිව අනුගමනය කිරීමද වැදගත්ය.
නිතිපතාම සැබෑ ආගමික පරිසරයක් පවත්වාගෙන යන විහාරස්ථාන කෙරෙහිද, දෙවියන් උදෙසා නිතිපතා පුද පූජා පවත්වනු ලබන දේවාල කෙරෙහිද දෙවියන්ගේ ඇල්ම හා බැල්ම නොඅඩුව ලැබෙන බැවින් එවැනි ස්ථානවලදී සෙත් කවි ගායනා කිරීම වැදගත්ය. අහිංසක බැතිමතුන්ගේ මුදල් ආධාර ලබා ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන ආගමික ස්ථාන කෙරෙහි දෙවියන්ගේ ඇල්ම හා බැල්ම නොලැබෙන බැවින් එබඳු ස්ථානවලදී සෙත් කවි ගායනය නිශ්ප්‍රයෝජන බවද අවධාරණය කරමි.
ජ්‍යොතිර්වේදී, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අසෝක විජයසේකර