කේන්දරේ බලද්දි ජ්‍යොතිෂවේදියාට ඇත්ත කීවොත් ප්‍රතිඵල නියතයි | Page 2 | සිළුමිණ

කේන්දරේ බලද්දි ජ්‍යොතිෂවේදියාට ඇත්ත කීවොත් ප්‍රතිඵල නියතයි

ඇතැම් සේවාදායකයන් ජ්‍යොතිෂවේදීන් නොමඟ යැවීමෙන් සිදුවන්නේ කාලය කා දැමීමක්

දැනගන්න වුවමනා කාරණාව ජ්‍යොතිෂවේදියාට කෙළින්ම කියන්න

 

ජ්‍යොතිර්වේදියෙකු වෙත තම අනාගතය පිළිබඳව දැන ගැනීම සඳහා තම උපන් විස්තර ලබා දෙන සේවාදායකයෙකු සමහර අවස්ථාවලදී තමන්ගේ මේ දක්වා තොරතුරු ලබා දුන්නද බොහෝ අවස්ථාවලදී එම තොරතුරු ක්ෂණිකව ලබා නොදෙන බව පෙනේ. එනම් ජ්‍යොතිර්වේදියෙකු වෙත සේවාව ලබා ගැනීමට යන සේවාදායකයන් බොහෝ දෙනෙකු තම කේන්ද්‍ර සටහනට අනුව, පලදායක අනාවැකියක් දැනගැනීමටත් වඩා උනන්දු වන්නේ තොරතුරු කිසිවක් නොපැවසු පසුබිමක, ජ්‍යොතිර්වේදියා තමන් ගැන හෙළි කරන කරුණු හරහා ඒ පිළිබඳව දැන ගැනීමටය යන්න මගේ අදහසය.

නමුත් වෛද්‍යවරයෙකු වෙත යන රෝගියෙකු විසින් තමන්ට පවතින සියලු කායික අපහසුතා පිළිබඳව වෛද්‍යවරයාව දැනුවත් කරන බව අපි දනිමු. ඒ තුළින් වෛද්‍යවරයාට රෝගියාගේ රෝගය හඳුනා ගැනීමට යම් තරමක හෝ පහසුවක් ඇති වනු ඇත. මගේ අදහස වන්නේ වෙත විශේෂයෙන් අවංක ලෙස කටයුතු කරන ජ්‍යොතිර්වේදියෙකු වෙත යන සේවාදායකයෙකු තමන් පිළිබඳව මෙතෙක් තොරතුරු අවංක ලෙස ඉදිරිපත් කිරීම තුළින්ද, අනාගතයේදී දැනගත යුතු කාරණා පිළිබඳව විශේෂයෙන් විමසීම තුළින්ද ජ්‍යෙතිර්වේදියාට තම සේවාදායකයා හට වඩාත් පලදායක සේවාවක් ලබා දිය හැකි බවය.

බොහෝ වේලාවට බොහෝ සේවාදායකයන් මෙලෙස තමාගේ මේතාක් කල් සත්‍ය තොරතුරු ජ්‍යොතිර්වේදියා වෙත පැවසීමට මැළිකමක් දක්වන්නේ ජ්‍යොතිර්වේදියා කෙරෙහි ඇති අවිශ්වාසය නිසා යැයි සිතේ. ඇතැම් වංක ජ්‍යොතිර්වේදීන් සේවාදායකයා විසින් ලබා දෙන තොරතුරු ඇසුරින් ඔහුගේ හෝ ඇයගේ අනාගතය ව්‍යාජ ලෙස නිශ්චය කරන්නට ඉඩ ඇතද අවංක ජ්‍යොතිර්වේදියෙකු එය එසේ සිදු කරාවි යැයි සිතිය නොහැකිය.

උදාහරණ ලෙස මා මගේ උපතේ සිට මේ දක්වා සියලු තොරතුරු පිළිබඳව දැනුවත් වුවද මගේ කේන්ද්‍රය දෙස බලා මටද මා ගැන පලදායක අනාවැකියක් පැවසිය හැකිය. එනම් එම අනාවැකිය අන් අයට මා විසින් පවසන අනාවැකියටද වඩා පලදායක වීමට සමහර විට ඉඩ ඇත.

එලෙසම ජ්‍යොතිර්වේදියෙකු වෙත පැමිණෙන සේවාදායකයෙකු විසින් තම මෙතෙක් තොරතුරු සහ තමන්ට අනාගතය පිළිබඳව දැනගන්නට අවශ්‍ය තොරතුරු ජ්‍යොතිර්වේදියෙකුට පැවසීම තුළින් ඔහුට හෝ ඇයට වඩාත් පලදායක අනාවැකියක් ඉතා පහසුවෙන් පැවසීමට අදාළ ජ්‍යොතිර්වේදියාට හැකි වනු ඇත.

උදාහරණ ලෙස විවාහය ප්‍රමාද වී ඇති පුද්ගලයෙකු තමන් විවාහ වන දිනය පිළිබඳව ජ්‍යොතිර්වේදියෙකුගෙන් දැන ගැනීමට අවශ්‍ය විට ඔහු හෝ ඇය, තමා විවාහ වී නොමැති බව කල් ඇතුව පැවසීමෙන් ජ්‍යොතිර්වේදියාගේ කාර්යය වඩාත් පහසු වනු ඇත. නොඑසේ නම් අදාළ ජ්‍යොතිර්වේදියාට තම සේවාදායකයා විවාහ වී ඇත්දැයි පරීක්ෂා කිරීමට අමතර කාලයක් සහ අමතර ශක්තියක් වැය වනු ඇත. සමහර අවස්ථාවලදී ප්‍රබල විවාහ දෝෂ නොතිබුණද භූමි දෝෂ වැනි හේතු නිසාද විවාහ ප්‍රමාද වීම් සිදු විය හැකිය. එවන් අවස්ථාවලදී ඉහත කී ජ්‍යොතිර්වේදියා තවදුරටත් අපහසුතාවට පත් වන්නට ඉඩ ඇත. ඉහත කී සේවාදායකයා අඩුම වශයෙන් ඔහුට හෝ ඇයට අවශ්‍ය කාරණාව වන්නේ "තමන් විවාහ වන දිනය කවදාද" යන්න දැනගැනීමට යන්නවත් නොපැවසුවහොත් ජ්‍යොතිර්වේදියාගෙන් ලබාගත හැකි පලදායක සේවාව නිෂ්ඵල සේවාවක් බවට පත් වන්නට පවා ඉඩ ඇත. උදාහරණ ලෙස තමන් විවාහ වන දිනය දැනගැනීමට අවශ්‍ය යම් අයෙකු ඒ බව නොකියා තම කේන්ද්‍රය බලා දෙන ලෙස පවසා ජ්‍යොතිර්වේදියෙකු හට තම කේන්ද්‍රය යොමු කළ යැයි සිතමු. ඔහුට දැන ගන්නට අවශ්‍ය කාරණාව පිළිබඳව නොදන්වා ජ්‍යොතිර්වේදියා ඔහුගේ නොහොත් සේවාදායකයාගේ රක්ෂාව, දරු පල, සෞඛ්‍යය තත්ත්වය, විදේශ ගමන්, හදිසි අනතුරු සිදු වන කාල වකවානු වැනි සේවාදායකයාට කිසිදු අවශ්‍යතාවක් නොමැති කාරණා පිළිබඳව තම කාලය, ශ්‍රමය වැය කරමින් අවධානය යොමු කරන්නට ඉඩ ඇති අතර සමහර විට සේවාදායකයාට අත්‍යවශ්‍ය කාරණය වූ විවාහය සිදු වන කාල වකවානුව මඟ හැරී යන්නට පවා ඉඩ කඩ ඇත.

නමුත් සේවාදායකයා විසින් ජ්‍යොතිර්වේදියා හට තමන් තවමත් විවාහ වී නොමැති බවත්, තමන්ට තමන් විවාහ වන දිනය දැනගැනීමට අවශ්‍ය බවත් සෘජුව පැවසුවේනම් සේවාදායකයාගේ අනාගත විවාහ සහකරු හෝ අනාගත විවාහ සහකාරිය පිළිබඳව දීර්ඝ විස්තරයක් ලබා දීමට ජ්‍යොතිර්වේදියාට හැකි වනු ඇත. ඒ තුළින් සේවාදායකයාට තම අනාගත විවාහ සහකරුවා හෝ විවාහ සහකාරිය තෝරා ගැනීම පහසු වනු ඇත. තවද ජ්‍යොතිර්වේදියාට තම සේවාදායකයාගේ විවාහය ඉක්මන් කරගැනීම වෙනුවෙන් වත්පිළිවෙත් සඳහන් කිරීමටද එමගින් හැකි වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

Comments