සූනියම් දෙවියන්ගෙන් පිහිට ලැබෙන නිවැරදි ක්‍රමය මෙන්න | Page 2 | සිළුමිණ

සූනියම් දෙවියන්ගෙන් පිහිට ලැබෙන නිවැරදි ක්‍රමය මෙන්න

සුනියම් දෙවියෝ මොරටුවේ දෙවියෝ සුනියම් අප්පච්චි ලෙසද හඳුන්වයි

ගම් නියම්ගම් නගර සිසාර ලක්වාසීන්ගේ මහත් භක්තියට සහ ගෞරව පාත්‍රව පුද සත්කාර ලබන අප්‍රමාණ, තෙද බල ඇති ගම්භාර දෙවියෝ, සූනියම් දෙවියෝ, මොරටුවේ දෙවියෝ එසේත් නැතිනම් සූනියම් අප්පච්චි යනුවෙන් බැතිමතුන් හඳුන්වන මහා බලයක් සහ තේජස් අනුහස් බල ඇති අප්‍රමාණ ගුණ තේජස අනුහස් බල ඇති නොපමාව පිහිට ආධාර ගුණ ඇති සූනියම් දෙවි අප්පච්චි පිළිබඳ මා ලද අත්දැකීම් ලිපියකින් නොව ලිපි දහසකින්වත් ලියා නිම කළ නොහැකි තරම්ය.

 

සූනියම් දෙවියන්ගේ ප්‍රසාදය ලබන ඉතා සරල ක්‍රම උපායමාර්ග ඉතා කෙටියෙන් පාඨක ඔබ හමුවේ තබන්නේ ඔබගේ විශ්වාසය සහ භක්තියෙන් උපරීම පල ලබා ගැනීම සඳහාය. ඒවා අද්විතීය ක්‍රම උපාය මාර්ග කීපයකි. අනාදිමත් කාලයක සිට පාරම්පරිකව දෙවියන් පිළිබඳ විශ්වාසය සහ භක්තිය ලාංකික සමාජයේ පමණක් නොව ලෝකය පුරා පවතින බව නොරහසකි. අපගේ සංස්කෘතියට බොහෝ දේ දායාද කළ භාරතීය ඉතිහාසයේ මෙන්ම වර්තමානයේද දෙවියන් පිළිබඳ තබන විශ්වාසය අපරිමිතය. අතීතය එසේ හෙයින් වර්තමානයේ දෙවියන් පිළිබඳ විශ්වාසයෙන් යම් පිහිටක් ආධාරයක් ප්‍රාර්ථනා කළාට වරදක් නැතැයි මාගේ අදහසයි.

අපි විවිධ දෙවිවරුන්ට පිහිට ආධාරය පතා පහන් තබන්නෙමු. විවිධ පුද සත්කාර කරන්නෙමු. එහෙත් අවිවාදාත්මකව සඳහන් කළ හැක්කේ වැඩිපුර භක්තිකයන් ගම්භාර සිද්ධ සූනියම් දෙවිඳු හා බැඳී ඇති වගයි. එයට ප්‍රධානතම හේතුව වන්නේ උන්වහන්සේ හොඳට - නරකට දෙකටම හොඳ නිසාය.

හොඳට නරකට දෙකටම හොඳ ගම්භාර අප්පච්චි පුර පක්ෂයේදී ශාන්ත වු වේශය ද. අව පක්ෂයේ රුද්‍ර වු වේශය ද දරා ගනී. පුර පක්ෂය ද හොඳ දේ ද අව පක්ෂයට නරක දේ ද උන්වහන්සෙගෙන් ඉටු කර ගත හැකිය. සූනියම් දෙවිඳුට කිලි අකැපය. අනිවාර්යෙන්ම කිලි හරණය විය යුතුය. එමෙන්ම නිවෙස් තුළ පහන් දැල්වීම පුද සත්කාර පැවැත්වීම නොකළ යුතුය. නි‍ෙවසින් බැහැරව නි‍ෙවසේ සිට ඊසාන උතුර හෝ නැඟෙනහිර දිශාගතව කිරි ගසක් යට සුදු වැලි අතුරා සීමා කරගත් ස්ථානයක් පහන් පැල සෑදීම සුදුසුය. තම කර දක්වා ඉහළින් සෑදීම සුදුසුය. තම නි‍ෙවසේ ප්‍රේත පාදය මග හැරීම අනිවාර්ය වන අතර බ්‍රහ්ම පාදය ඉතාම සුදුසුය. පහන් දැල්වීම මුලින්ම ආරම්භ කළ යුත්තේ පුර පක්ෂයේ කෙම්මුර දිනකය. පහන් දැල්වීමේ පොදු වේලාව වන්නේ රාත්‍රි 9.05 ටය. එහෙත් සතියේ දින 7 ට දිෂ්ටි වැටෙන වේලාවල් වෙනම වෙන් කර ඇත. ඉරිදා දිනවල රාත්‍රී 9.00 - 9.45 අතර ද, සදුදා රාත්‍රී 9.00 - 9.45 ද, අඟහරුවාදා රාත්‍රී 8.20 රාත්‍රී 9.05 ද, බදාදා රාත්‍රී 9.00 - 9.45 ද, බ්‍රහස්පතින්දා රාත්‍රී 8.20 - 9.50 ද, සිකුරාදා රාත්‍රී 9.00 - 9.45 ද, සෙනසුරාදා රාත්‍රී 9.45 - 10.15 අතර ද පහන් දැල්වීම ඉතා සුදුසුය. දිනපතා පහන් දැල්වීමට ඔබට අපහසු නම් බදාදා, සෙනසුරාදා දින වෙන් කර ගැනීම ඔබට පහසු වනු ඇත. සූනියම් දෙවියන් සුන-අසුභ කටයුතු (ගුදි හුනියම්), වින දෝෂ, සතුරු කරදර, අනවශ්‍ය නඩු හබ, ණය ගනුදෙනු ආදී ඔබගේ සකලවිධ අනේක ප්‍රශ්න ගැටලු සඳහා ප්‍රබල සවියක් පිහිටක් ආධාරයක් ලැබෙන බවටනම් වගකීමෙන් යුතුව සහතික කළ හැකිය. ඔබගේ ඕනෑම දැවෙන තැවෙන ප්‍රශ්නයකට ගැටලුවකට ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලැබෙන බවටනම් අත්දැකීමෙන්ම සහතික කළ හැකිය.

සුදු තුරඟා පිට රාත්‍රීයේදී ගම් රගන සැරිසරනා සූනියම් දෙවිදු විවිධ අය විවිධ නම්වලින් විවිධ ප්‍රදේශවාසීන් හඳුන්වයි. ඔඩ්ඩි යකා, ඔඩ්ඩි මස්සිනා, ඔඩ්ඩියාරේ අවතාර හතකින් පෙනී සිටී. රාජ ඔඩ්ඩිස, වඩිග ඔඩ්ඩිස, කාල ඔඩ්ඩිස, දෙමළ ඔඩ්ඩිස, ගරුඬ ඔඩ්ඩිස, අසුර ඔඩ්ඩිස, නාග ඔඩ්ඩිස ඒ අවතාර හතයි. උන්වහන්සේට ද ලංකා භූමිය තුළ කැප වූ දේවාල රාශියක් ද තිබේ.

සරණ හෙළදිව සියලු පෙදෙසම බලනා ලෙස

හැම රැයෙහි මැදියම්

කරන උවදුරු කුරිරු සතුරට දෙවන

දඬුවම් පෙසෙහි ගිනියම්

දරන තෙද බල සිරිදු වඳිනෙමි දෙපද සර

ගම්භාර සුනියම්

සැණිත නල මැන මෙමගේ යක් භය

සිපස් උවදුරු නියමි අනියමි

 

සූනියම් අප්පච්චිගේ ප්‍රසාදය ආරක්ෂාව බලය ලබා ගැනීමට පහන් දැල්වීම පුද සත්කාර නිවැරැදිව කළ යුතුය.

මුලින්ම ඔබ කළ යුත්තේ ස්නානය කර කහ දියෙන් දෑත, මූණ, දෙපා සෝදා සුදු වස්ත්‍රයකින් සැරසී මල් පැලට හා සථානයට කහ දියර ඉස මල් පැලේ සුදු මල් අතුරා බුලතක් මත මැටි පහනක් තබා එය ගිතෙල් වලින් දල්වා සුවඳ කූරු කපුරු දල්වා යහන මත පොල් ගෙඩියක් තබා සාම්බ්‍රානි දුම් අල්ලා නියමිත වේලාවේ දී තම පපුවට සමීප වන සේ දෑත් ගෙන වැඳ පහත සඳහන් ආකාරයට පිළිවෙත් සම්පූර්ණ කරන්න.

පහන් දල්වන ගාථාව

හස්තං අභය ප්‍රස්තක ධරං

ග්‍රී තිශුලං වාමායුධං - ශීර්ෂං ධවල ජඨා මතුඨ නිමලං

එවංපි අන්නු සාඨකං

තුරගං වාහානං ගාථා

ග්‍රාමාධිපති දේවතාභි දේවා

රක්චත්තු මේ සබ්බදා

7 විට කියවීම සුබය. ඕනෑම සුබ අසුබ කටයුතුවලදී භාවිත කළ හැකිය. ඉන් අනතුරුව පහත ආරාධනාව එක් විටක් කියවන්න.

 

ආරාධනාව

ඕං ගුරුවාල පාතාල බහිරවි කොණ්ඩෙන්

බ්‍රහ්මා ලංකා නාරායන කදිරවේල් කොණ්ඩෙන්

ආතාල බහිරවී සිවගුරු කොණ්ඩෙන්

පාතාල බහිරවී ඉරිනාග කොණ්ඩෙන්

ගුරුමාන් ගුරු නාග වරුං

එන් සෙයියාදු බිඩිබිල්ලා උඩයාරුන්

අප්පා නල්ල තම්බිරානේ සාවාල කොණ්ඩෙන්

වාලියා අනිත් ඔඩ්ඩි දේවතාවා දේවතාවි

අම්මා වා වා තුක්කු ගම්බිරානේ ඔඩ්ඩියා වාමා

අදත් මා දෙන නොයිදුල් රාත්‍රී පහන් මාලාව කෙරේ

දිෂ්ටි වැටි මාගේ මස්සිනේ

ජීවිත රක්ෂත්තු කුරු කුරුස්වාහඃ

 

දේව ආරාධනාවෙන් පසුව ඔබගේ ඉටු කර ගත යුතුම විශේෂ කාරණා වලදී අතිශයින්ම සිල්වත්ව හා පිරිසිදුව යහන මත බිඳින ලද පොල් ගෙඩියක පිරිමි බෑයට එළගි තෙල් ද ගෑනු බෑයට සමන්පිච්ච මල් ද පුරවා එළගි තෙල් බෑය දල්වා අමතරව බුලත් සඳුන් කිරි බත් කෙසෙල් ආදී යහන් සරසා නමාමි දැහැන හත් විට කියවන්න.

ඕං නමඃ ශ්‍රී ඝනාව ශ්‍රී නාම රූප නරසිංහ අවතාර ගත් ශ්‍රී විශ්වනාත් වහන්සේ බන්ද කදිර මහා වල්ලි මාලා පත්ති දේව දිෂ්ටි ගණපති බන්ද සුර අසුර සිද්ධ විද්‍යාධර ගරුඬ ගාන්දර්ව නාග සුපර්ණ බුද්ධ ධම්ම සංඝ මෙහි අනුභාව අඥාව මම දනිමි. මාගේ නේත්‍ර කාන්ති දිෂ්ටි ශ්‍රියා කාන්තා දේව දිෂ්ටි ළමා දේවින් වහන්සේගෙන් මාගේ හෘද මණ්ඩලයට ආරුඪ වී රක්ෂත්තු කුරු දිෂ්ටි නමාමි නමාමි

ඕං කාන්ත හමාය සුර වරං

දේව දිෂ්ටි කන්ද කුමාර

වල්ලි අම්මා ඔඩ්ඩි සූනියම් අප්පොච්චි හාමි

මාගේ හෘද මණ්ඩලයට ආරුඪ වී

කුරු කුරු නමාමි නමාමි

ඕං ලංකා උරුන්දා නමාය ඔඩ්ඩි සූනියම් දේවතාවුන් වහන්සේත් නරසිංහ දැරු

ශ්‍රී විෂ්ණුත් වල්ලි අම්මා නමින්

මා මට දිෂ්ටි ලා රැක සිටින් නමාමි නමාමි

ඕං කුරු කුරු නාමාස්ෂර රුඨ මෙරුන්දා සිවාය වර වර

දිෂ්ටි දිෂ්ටි ඔඩ්ඩි සූනියම් අප්පොච්චි හාමි මා දිෂ්ටි ලා රැක සිටිත් නමාමි නමාමි

ඕං ඔට්ටුක්කුන් නදිය වාරුම් වා වා

ගිනි ගිනි වෙට්ටු ඔඩ්ඩි මස්සිනා

මෙමා වට දිෂ්ටි ධාරණි

මා වට දිෂ්ටි ධරණි මා වට රැක සිටින්

නමාමි නමාමි

 

මෙම නමාමි දැහැන කීමෙන් අනතුරුව පහත සඳහන් කන්නලව්ව වරක් කියවන්න.

ශ්‍රී සිද්ධ බල ඇති ගම්භාර වැඩ වසන තුරඟ වාහනාරූඪ සැඩොලු දහතුනක් යොද ගෙන අතකින් දරා ගිනි කබල අතකින් තිශූලයක් ද අතකින් කඩුවක් ද සර්පයන්ගෙන් උදරයේ නාග මාලාවක්ද ඇතව යකුන් පිරිවරා ගම්බාරව වැඩ වසන මහා තෙද බල දරනා බලතර සිද්ධ සූනියම් දේව රාජෝතමයාණන් වහන්ස (ඔබගේ කාරණාව) මා විසින් මේ කියා සිටින කන්නලව්ව ගැන ඔබ වහන්සේගේ දිව්‍ය නේත්‍රාවලට පෙනී දිව සවනට ඇසී දිව්‍ය හස්තය දිගුකොට ඉෂ්ට කර දී වැඩ වදාරන සේක්වා.

 

දිපෙන අමුතුම රුවන් මවමින්

මිනිස් හදවත කිතිකවා

ලැබෙන අවසර අනුව කටයුතු කරන

තද තෙද පතුරුවා

සැලෙන මාගේ දිවිමගෙන් ඇති

හැම දොස බාධක විදවලා

දිවුන දිවුනා දෙවනු මැනසැම

සුබ සිරිසෙත උතුරුවා

 

කඩුව හෙල්ලය පලිහ තෝමර

දුනනේ ඊතල අබිබවා

කඩුව කුඩුකළ සියලු බාධක

අසීමිත බල පතුරුවා

නඩුව අවනඩුව වහම විසදන

දුකේ දී මෙත උතුරුවා

රළු සිටියත් ගුරුණි දෙවියනි

මහට සිරිසෙත ලැබදෙන

 

තම සියලු සිතුම් පැතුම් කාරණාවන් කන්නලව් කළ පසු සූනියම් දෙවිඳුට අර්ථාන්විතව පින් දෙන්න.

 

සූනියම් දෙවිදුට පින් දීමේ ගාථා

ගාථාව :-

සකල සුජත පූජා

ධාරිතෝ නිමල කිත්තින්

ජනිත පුඤ්ඤ රාසිං

වඩිග නාථානුමෝදතු

 

අර්ථය :-

සියලු සුධි ජනයා වෙතින් පුද පූජා ලැබීමට තරම් නිකැළැල් කීර්තියක් දරන්නා වු වඩිග නාථයන් වහන්ස උපදවාගත් පිං රැස් සමූහය ඔබ වහන්සේ අනුමෝදන් වන්න.

 

ගාථාව :-

ජමා මකුමාලඩ්කාර

උත්තර සාටක පිළතෝ

බුද්ධාංකුරෝඩිඩිස දේව

කතාං මේ පුඤ්ඤානුමෝදතු

 

අර්ථය :-

සිරස සුදු ජටාවකින් සහ සිරුරේ

දරන්නා වු උතුරු සළුවකින් අලංකාරවත් වන

බුදු බව පිණිස වෙර වඩන හෙයින් බුද්ධාංකුර වු

ඔඩ්ඩිස දේවතාවුන් වහන්ස මා විසින් කරනා ලද පිං ඔබ වහන්සේ අනුමෝදන් වන්න.

 

ගාථාව :-

පබල බග විරාජෝ

නාග හංසෝව තිලෝ

සිරස මිණි කිරිමෝ

ධ්‍යාන ලාභෝ සුසිලෝ

ඔඩ්ඩි වඩිග නාථෝ

කතාං මේ පුඤ්ඤනුලාහෝ

 

අර්ථය:-

දිලිසෙන ප්‍රබල වු අසිපතක්

දරමින් හංසයකු බදුව හා

නීල වර්ණ නාගයන් පිරිවරාගෙන

සුදු පැහැ අශ්වයකු පිට නැඟී සිටින්නා වු

 

බොහෝ බබළන හිස මිණි කිරුළු දරන්නා වු සීල සම්පන්නව ධ්‍යාන සමාපත්තියට පැමිණි වදාරන්නා වු ඔඩ්ඩඩි වඩිග නාථයන් වහන්ස ඔබ වහන්ස මා විසින් කරන ලද පින් අනුමෝදන් විය යුතුයි. සියලු කටයුතු නිමවා දෙවියන්ට විමන් ගතවන දෙසට ආරාධනාවක් කරන්න.

 

කබලැපුර ඒ වරම් ලැබුවා

කුමැති අවතර දසත මවනවා

ගම්භාරව සත නිති රැක දෙනවා

සිද්ධ සූනියම් දෙවි විමන් වඩිනවා

 

සූනියම් දෙවියන් පිළිබඳ මීට එහා ගිය මහා බලගතු ක්‍රම උපයා මාර්ග අතිවිශාලය. එහෙත් ආධුනික ඔබට ඉතා පහසුවෙන් කාරණාවක් ඉටුකර ගැනීමට අවශ්‍ය පරිදි ඔබගේ පහසුව සඳහා සරලව මේ තොරතුරු පෙළ ගස්වා ඇත.

 

ජ්‍යොතිෂ විශාරද කේ. එස්. එස්. යෝදීන්ගේ

Comments