රහස් රකින N අකුර හිමියෝ | Page 2 | සිළුමිණ

රහස් රකින N අකුර හිමියෝ

දක්ෂ නිර්මාණශීලී අයයි / කතාව සිත් ඇදගන්නා සුලුයි

සමාජ සුබසිද්ධියට දිවා රෑ නොතකා වැඩ

 

චරිතවත්  ලෙස ජීවත් වේ

නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ N අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට M අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදී.

මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ N අකුර මුලට යෙදී නම පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි.

ඔබට N අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේනම් එහි බලපෑම අවම වෙයි.

ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ N අකුරෙන් නම පටන් ගන්න කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා. මෙම පුද්ගලයන් ඉතාමත් දක්ෂ නිර්මාණශීලී පුද්ගලයන් ලෙස හැඳින්විය හැකිය. ඉතා වටිනා අදහස් මොවුන් සතුව පවතී. එමෙන්ම සංවේදී මනසක් හිමි මොවුන් හැඟීම්බර පුද්ගලයන් කොට්ඨාසයක් ලෙස දැක්විය හැකිය. අවංකකම සහ නිහතමානීකම මොවුන්ගේ චරිතය තුළ කැපී පෙනෙන ලක්ෂණයන් වෙයි. කාගේවත් සිත් රිදවීමට මොවුන් කැමැති නැත.

සමාජ සුබසිද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා කැප වී ක්‍රියා කිරීමට N අකුර හිමියන් කැමැතිය. නායකත්ව ලක්ෂණ ද මොවුන්ගේ චරිතය තුළ පිහිටයි. කුමන අභියෝග පැමිණියද ඒවා සියල්ල තුළ නොසැලී තමාගේ ගමන ඉලක්කය කරා මොවුන් මෙහෙයවයි. අන් අයව පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් N අකුර හිමියන්ට තිබේ.

එමෙන්ම චරිතවත්කමක් ඇති වැදගත් මිනිසුන් ලෙස සමාජය තුළ මොවුන් ජීවත් වෙයි. සමාජය තුළින් ගෞරව ප්‍රශංසා ද මේ අය හට හිමි වෙයි. මොවුන්ගේ ජීවිතය ද කුඩා කල සිටම බාධා කම්කටොලුවලින් පිරී පැවතීම සාමාන්‍ය දෙයක් වෙයි.

අභියෝග හමුවේ ඉතාමත් ශක්තිමත්ව ඒවාට මුහුණ දීමේ හැකියාවද N අකුර හිමියන්ට තිබේ. එසේම මේ අය හට බොහෝ මිතුරන්ද සිටී. බොහෝ මිනිසුන් ඇසුරු කිරීමට මොවුන් පෙළඹෙයි. තම හිතමිතුරන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ද නොපිරිහෙළා ඉටු කරයි. බොහෝ පිරිසක් මැද අන් අයගේ අවධානය වැඩිපුර මොවුන් වෙත යොමුවන ගතියක් පවතී. කතාවට ද N අකුර හිමියන් තුළ දක්ෂභාවයක් පවතී.

අන් අයගේ සිත් ඇදගන්නා ලෙස කතා කිරීමට මනා දක්ෂතාවක් දක්වයි. නව නිර්මාණ රස විඳීමට මෙන්ම පොතපත කියවීමටත් අලුත් දෙවල් හැදෑරීමටත් මේ අය තුළ උනන්දුවක් පවතී.

අන් අයගේ දුකේදී උණුවන කාරුණික හිතක් ඇති මොවුන් උපකාර අවශ්‍ය අයට පිහිට වීමට ද ඉදිරිපත් වෙයි.

රහස් රැකීමටද දක්ෂය. ඕනෑම දෙයක් හෙළි නොකර තමන්ගේ හිතේ තබාගෙන සිටීමට ඒ අනුව ඔවුන් සමත් වෙයි. එමෙන්ම විශ්වසනීය පුද්ගලයන් කොටසක් ලෙස ද සඳහන් කළ හැකිය. තම බාහිර පෙනුම ගැන ද වැඩිපුර සැලකිලිමත් වන මොවුන් ප්‍රියමනාප ලෙස නිතරම සිටීමට උත්සාහ දරයි.

කොපමණ කාර්යබහුල වුවත් තම පවුල වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ද අමතක නොකරයි. මොවුන්ට ඉක්මනින් කේන්ති නොගියත් ඉක්මන් කලබලකාරී ගතියක් පවතී. වැඩ කටයුතු කිරීමේදී ඉවසිලිමත් බව තබා ගැනීම වැදගත් වෙයි.

මෙම අක්ෂරය හිමි බොහෝ අය ජීවිතය සාර්ථකව ගෙවනු දැකිය හැකිය.

O අකුර හිමි අය පිළිබඳ තොරතුරු ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 ඒ. ජේ. දීපාලෝක

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂය සේවය)

Comments