මැයි 15 වැනිදා රවි මාරුවෙන් ලග්න හයකට සුබපල රැසක් | Page 2 | සිළුමිණ

මැයි 15 වැනිදා රවි මාරුවෙන් ලග්න හයකට සුබපල රැසක්

ඉරිදා දිනවල බෝධි පූජාවෙන් සූර්ය පිරිතෙන් යහපත් ප්‍රතිඵල

 

මැයි මස 15 වැනි දින දහවල් 11.45ට රාජ්‍ය කාරක රවි සිකුරු හිමි වෘෂභ රාශියට පැමිණීමත් සමඟ මේෂ, වෘෂභ, කටක, සිංහ, කන්‍යා සහ තුලා ලග්න හිමියන්ට සුබ පල රැසක් ළඟා කර දෙන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

එමෙන්ම මෙම ග්‍රහ මාරුව මිථුන, මකර, වෘශ්චික, ධනු, කුම්භ සහ මීන ලග්නවලින් උපන් අයට මධ්‍යස්ථ පල ළඟා කර දෙන බවද ජ්‍යොතිෂයෙහි සඳහන්ය. රාජ්‍ය කාරක රවි සිකුරු හිමි වෘෂභ රාශියට පැමිණ පුරා මාසයක් පමණ එම රාශියෙහි සිය චලිතය පවත්වාගෙන යයි.

රවි මාරුවෙහි අසුබ දුරු කර සුබ පල වර්ධනය කර ගැනීම සඳහා රාශි දොළහෙන් උපන් ඔබට පහසුවෙන් කරගත හැකි ශාන්තිකර්මයක් පහතින් දක්වමි. රවි මාසයක් පුරා මෙම රාශියෙහි ගත කරන කාලය තුළ ඔබ හිරු උදා වන විට හිරුට නමස්කාර කරන්න. අද දවස පුරා මා හට කිසිඳු උපද්‍රවයකින් තොරව වැඩ කටයුතු කර ගැනීමට ශක්තිය බලය මෙන්ම ආරක්ෂාව ද සැලසේවා යන්න ප්‍රාර්ථනා කරන්න. එසේ කිරීමට ප්‍රථම හෝ පසුව රතු නෙළුම් හෝ වෙනත් රත්මල් වර්ගයක් බුදුන්ට පූජා කර දෙවියන්ට පින් දෙන්න. සූර්ය පිරිත කියන්න. ඊශ්වර දෙවියන් ද සිහිපත් කරන්න. තවද මේ මාසය තුළ ඔබට හමුවන ඉරිදා දිනවල පළමු පැයේ එනම් 6 - 7 ත් අතර ළඟම තිබෙන විහාරස්ථානයට ගොස් බෝධි පූජා තබන්න. හිරුගෙන් යම් අසු කිරණක් එල්ල වේනම් ඒ සැම දුරුවේවායි ප්‍රාර්ථනා කරන්න. ආදි මුතුන් මිත්තන් අපල දුරු කර ගත් අයුරු මෙලෙස අපේ ආධ්‍යාත්මය සුවපත් කර ගැනීමට ආයාසයකින් තොරවම අපට හැකිවේ.

මෙහිදී රවි ගමන් කරන්නේ රවිගේම නැකතක බැවින් රටට අපට අයහපත් බවක් නොපෙන්වයි. රාජ්‍ය අංශවල, ව්‍යාපාරික අංශවල යම් පිබිදීමක් දක්නට ලැබෙයි. ධනය හා දේපළ රැස් කිරීමට හැකි ග්‍රහ බලයකි. ශ්‍රී ලාංකීය ජනතාවට සිය අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට සියලු යහපත් කටයුතුවලින් උපරිම පල නෙළා ගැනීමට, රාජ්‍ය අංශවල සහයෝගය ලබා ගැනීට සුදුසු කාල වකවානුවක් ලෙස ද සඳහන් කළ හැකිය. රවි ග්‍රහ තුමා මාසයක් පුරා රැඳී සිටින්නේ කාන්තා නියෝජනයක් ඇති වෘෂභ රාශියේ බැවින් කාන්තා හිංසනය පිටුදැක කාන්තාවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට රජයට සිදු වනු ඇත. රවි මාතෘ භූමියේ හදවත වැනි 4 වැන්නට පිවිසීම මවුබිමේ දියුණුව වෙනුවෙන් ජනතා ආකල්ප සාධනීය ලෙස වෙනසකට ලක්විය යුත්තකි. රටෙහි සම්පත් රට තුළම ආයෝජනය කර එහි ප්‍රතිඵල භුක්ති විඳීමට කටයුතු සැලසුම් කිරීමක් සිදුවෙයි. ආර්ථික, සාමාජීය, අධ්‍යාපනික, කෘෂිකාර්මික අංශවල දියුණුවට පාලක පක්ෂයේ සහයෝගය ලැබෙනු ඇත. ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට ද සුබ කාලයකි. සංස්කෘතික අංශයේ පිබිදීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇති කෙරේ. සිකුරු යනු ග්‍රහ ලොව සුරතලිය බැවින් එම රාශියේදී රජතුමාගේ දැඩි තීන්දු තීරණ පවා වෙනස් වී සුබවාදී පිළිවෙත් නිර්මාණය වීම ජනතාවට සහනයකි. එමඟින් රටෙහි පවතින ගැටලු බොහොමයකට විසඳුම් ලැබෙනු ඇත.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ශ්‍රියා ගණේගොඩ

 

Comments