කේන්දරේ 6 වැන්න රෝග ස්ථානය වුවත් ඔබේ ණය මුදල් ලැබෙන තරග ජයග්‍රහණ කරන බලවත් තැනක් | Page 2 | සිළුමිණ

කේන්දරේ 6 වැන්න රෝග ස්ථානය වුවත් ඔබේ ණය මුදල් ලැබෙන තරග ජයග්‍රහණ කරන බලවත් තැනක්

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය  - 12

6 වැන්න රෝග ස්ථානය මෙන්ම සතුරු  ස්ථානය ද වෙයි

6 වැනි භාවයේ   උප ස්ථානය අධිපති ග්‍රහයා 1 වැනි 5 වැනි හෝ 11 වැනි භාවයනට නිවේදන ග්‍රහයකු නම් රෝගවලින් සුවය ලබයි

 

 

රෝගාබාධ පිළිබඳව ජන්ම පත්‍රයේ 6 වැනි භාවය බලන්න. මෙය ජන්ම පත්‍රයේ රෝග ස්ථානය මෙන්ම සතුරු ස්ථානය වුවත්, තවත් අයෙකුගෙන් මුදලක් ලැබීමේදී මෙන්ම තරගයකින් ජය ගැනීමේදීද 6 වැනි භාවය බලවත්ය.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව රෝගාබාධ හඳුනා ගනීම සඳහා ජන්ම පත්‍රයේ 6 වැනි භාව ස්ඵූඨය බලන්න. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්ද්‍රයක සයවැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා, 1 වැනි හෝ 6 වැනි හෝ 12 වැනි භාවයකට නිවේදක ග්‍රහයෙකු වන්නේනම් රෝගාබාධ මඟින් පීඩා වීඳීමට සිදුවෙයි. සයවැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා, 1 වැනි හෝ 5 වැනි හෝ 11 වැනි භාවයකට නිවේදක ග්‍රහයෙකු වන්නේනම්, රෝගාබාධවලින් සුවය ලබයි.

මේ ජන්ම පත්‍රයේ 6 වැනි භාවය සිකුරුගේ රාශියේ සඳුගේ නක්‍ෂත්‍රයක සහ කේතුගේ උපස්ථානයකයි. මෙම සිකුරු, සඳු සහ කේතු යන ග්‍රහයන්ගේ සම්බන්ධතාව අනුව ජන්මියා පීඩා විඳින රෝග මොනවාදැයි හඳුනාගත හැකිය. සිකුරු සහ සඳු මඟින් දියර ගතිය සහ මුත්‍රා ආබාධ පෙන්වයි. කේතු ග්‍රහයා කුජ නියෝජනය කරන හෙයින් දැවිල්ල සහ දාහය මතු කරයි.

ජන්ම පත්‍රයේ 6 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ලැගුම්ගෙන සිටි රාශිය යෙදෙන කාල පුරුෂයාගේ ශරීරාංග අනුව රෝගාබාධ ඇති කරන අවයව පෙන්වයි. එසේම එම රාශියේ ස්වභාවය අනුව රෝගය පිළිබඳ තවත් තොරතුරු හඳුනාගත හැකිවෙයි.

ජන්ම පත්‍රයේ 1 වැනි සහ 6 වැනි භාව නිවේදකයන්ගේ කාල සීමාවලදී රෝගාබාධ ඇති කරයි. 8 වැනි භාවය ද සම්බන්ධ වන්නේනම් දරුණු රෝගාබාධ හේතු කොටගෙන ශල්‍යකර්මවලට භාජනය වීමට සිදුවෙයි. 12 වැනි භාවය ද සම්බන්‍ධ වන්නේනම් රෝගාබාධ හේතු කොටගෙන රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි.

ජන්ම පත්‍රයේ 1 වැනි සහ 5 වැනි භාව නිවේදකයන්ගේ කාල සීමාවලදී රෝගාබාධවලින් සුවය ලබයි. 1 වැනි 5 වැනි සහ 6 වැනි භාව එක්වරටම ක්‍රියාත්මක වන කාල සීමාවලදී රෝගාබාධවලින් සම්පූර්ණ සුවය ලබා ගැනීමට අපහසු වෙයි. මේ ජන්ම පත්‍රයේ උපතේදී සිකුරුගේ මහ දශාව පැවතියේය. සිකුරුගේ නිවේදකත්වය 5, 6, 11 සහ 12 වැනි භාවවලට යොමු වී ඇත. සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටියේ රාහුගේ නක්‍ෂත්‍රයකය. සිකුරුගේ නිවේදකත්වයද 5, 6, 11 සහ 12 වැනි භාවවලට යොමු වී ඇත. ඒ නිසා සිකුරුගේ මහ දශාව පවතින විට ජන්මියා රෝගාබාධවලට ගොදුරු වන අතර රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමෙන් සුවය ලබයි.

ජන්ම පත්‍රයේ 1 වැනි සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, සඳු සහ සිකුරු වෙති. මෙම භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියා රෝගාබාධවලට ගොදුරු වෙයි. ජන්ම පත්‍රයේ 1 වැනි සහ 5 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, සඳු, කුජ සහ රාහු වෙති. මෙම භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියා රෝගාබාධවලින් මිදී සුවය ලබයි.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

Comments