
බැසිල් රාජපක්ෂ පොරක්ද යන්න මේ දිනවල සමාජ මාධ්‍යවල ඇතැම්හු කතාබහට ලක්කරති. ඒ, ගෝල්ෆේස් ජන අරගලයේදී කියැවුණු නම් ස්වල්පය අතරින් ප්‍රමුඛ තැනක් බැසිල් රාජපක්ෂගේ නමට ලැබුණු බැවිනි. ජන අරගලකරුවන් සියලුම දෙනා ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ බලය අත්හළ යුතු බවය. ගෝඨා සහ මහින්ද යන නම් දෙකට සමාන්තරව බැසිල් රාජපක්ෂගේ නම පසුබිම් ගායනයක් ලෙස යොදාගන්නා ලද නමුදු ඔහු ඒ වන විට දරමින් සිටි මුදල් ඇමතිකමින් හෝ දේශපාලනයෙන් ඉවත්වී ගෙදර යා යුතු බව කිසිදු අරගලකරුවෙක් ඉල්ලුවේ නැත. එසේනම් අරගලකාරී ජනයා ප්‍රධාන ඉල්ලීමට සමාන්තරව (ප්‍රධාන ඉල්ලීම යනු ගෝඨා සහ මහින්ද ගෙදර යා යුතු බවය) බැසිල්ගේ නම නිතර කියන ලද්දේ ඔහු පොරක් නිසා විය යුතුය. ඔහු කවර අන්දමේ පොරක්ද? ඔහුගේ භූමිකාව කවරක්ද?
තමා විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉවත්වීමට හදිසියේම තීරණය කිරීම නිසා බැසිල් රාජපක්ෂගේ නම නිතර කියැවෙන්නට පටන්ගෙන ඇත. මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන විසින් සියතට ගැනීම නිසා රාජපක්ෂවරුන්ටත් රාජපක්ෂවාදී ශ්‍රී ලංකාකාරයන්ටත් දේශපාලන අනාථභාවයක අවධානම මතුවිය. මේ අවධානම් මතුවන අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ සිටියේ ශ්‍රී ලංකාවේ නොව ඇමෙරිකාවේය. එවිට පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු එවකට පැවති යහපාලන රජය යටතේ නඩු ගොඩකුත් දමාගෙන සෑහෙන කාලයක් රිමාන්ඩ් හිර ගෙදර ද ලඟින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති පක්ෂය සෑදීම සඳහා කටයුතු පටන් ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු තනිකරම බැසිල් රාජපක්ෂගේ දේශපාලන දරුවෙකි. මේ දරුවා උපදින්නේම ඉතා ශක්ති සම්පන්න තරුණයකු හැටියටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකල තිබූ යහපාලන ආණ්ඩුවට එරෙහි පක්ෂ ගණනාවක එකතුවකි. ආණ්ඩු විරෝධී ජවිපෙ, ඊළාම්වාදී දෙමළ සංධානය සහ ජවිපෙ විරෝධී පෙරටුගාමි පක්ෂය වැනි පක්ෂ කිහිපයක් හැරුණු විට වාමාංශික නැඹුරුවක් ඇති පක්ෂ ගණනාවක්ම පොදුජන පෙරමුණට එකතු වූහ.
බැසිල්ගේ පොදුජන පෙරමුණ සෙල්ලමක් නොවන බවත් භයානක දේශපාලනික ආක්‍රමණිකයකු බවත් 2018 පැවති ප්‍රාදේශීය සභා ඡන්ද මාලාවේදී යහපාලන ආණ්ඩුවට වැටහිණි. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා ඡන්දයේදී පාවිච්චි කෙරුණු සමස්ථ ඡන්දවලින් 40%ක් ලබාගෙන වැඩිම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් බිහිකළ පක්ෂය බවට පත්විය. ඒ ප්‍රාදේශීය සභා ඡන්දයේදී ලැබුණු ප්‍රතිඵලය ඊළඟ ජනාධිපතිවරණයේ සහ ඊළඟ මහ මැතිවරණයේ පුරෝකතනයක් ලෙස පාවිච්චි කරන ලදී. ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ ඡන්ද හැට නව ලක්ෂයක් ලබා ගත්තේය. පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂය තුනෙන් දෙකකට වැඩි බලයක් අත් පත් කර ගත්තේය.
ගෝඨාභය දිනවීමේ සහ මහ ඡන්දය දිනවීමේ ඡන්ද මැෂිම තනිකරම තිබුණේ බැසිල් රාජපක්ෂගේ මොළය තුළය. ඔහු සාමාන්‍යයෙන් කඩදාසිවල ලියාගෙන පොත් දෙස බලාගෙන ඡන්ද කරන මිනිහෙක් නොවේ. ඔහු හැමවිටම ඡන්ද දායකයාගේ ඔළුවට ආමන්ත්‍රණය කරන හැටි ස්වකීය දේශපාලන සගයන්ට කියා දුන්නේය. බැසිල් ගේ දේශපාලන ඉතිහාසය 1977 නුත් එහාට දිවෙයි. ඔහු මහින්ද රාජපක්ෂට බෙහෙවින් ආධාර කළ අතර අනුර බණ්ඩාරනායක සහ ගාමිණි දිසානායකගේ කිට්ටු දේශපාලන සගයෙක් විය. 1977 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ ආසන 8 ක් පමණි. ඉන්පසු ජේ ආර් ජයවර්ධනගේ මැදිහත්වීමෙන් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලදී. මේ තත්ත්වයට විරුද්ධව බැසිල් සහ ජේ ආර් ජයවර්ධන අතර බලගතු මතවාදී ගැටුමක් ඇතිවිය. ඉන්පසු ජේ ආර් ගෙන් වෙන්වුණු බැසිල්, ගාමිණි දිසානායක සමඟ ඉදිරියට ගියේය. ගාමිණි දිසානායක යනු ඉතාම කෘතහස්ත ජන නායකයෙකි. ඔහුගේ දේශපාලන ගමන යෙදී තිබූ අන්දමට ඔහු ජනාධිපති බවට පත්වීමට නියමිතව තිබිණ. එහෙත් එල් ටී ටී ඊ ය විසින් ඔහු ඝාතනය කරන ලදී. ඉන්පසු 1991 දී ඇෙමරිකාවට යන බැසිල් රාජපක්ෂ ආපසු මෙරටට එන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සිය සහෝදරයා වූ මහින්ද දිනවීම පිණිසය. 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරදින්නේ එජාප ශ්‍රී ල නි ප හවුල් ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනෙමිනි. එහිදී මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතුවූයේ ඔහුගේ දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණය බාරව සිටි බැසිල් රාජපක්ෂ නිසා බවට විශාල චෝදනාවක් නැඟිණ. ඇත්තටම එදා මහින්ද පැරදුණේ බැසිල් නිසා නොව යුද ජයග්‍රහණයෙන් පසු රට පාලනය කිරීම මහින්ද විසින් වෙන වෙන ගෝලයන්ට බාරදෙනු ලැබ තිබූ බැවිනි. මේ ගෝලයන්ගෙන් සමහරු යහපත් ප්‍රතිපත්තිගරුක මිනිස්සු වූ නමුත් ඉතිරිය හොර පොල් කඩන තුට්ටු දෙකේ අයගේ තත්ත්වයට පත්ව සිටි දේශපාලන කබ්බෝ වූහ. එහෙත් මහින්ද පැරදුණේ තමා නිසාය යන චෝදනාව බැසිල්ගේ ඔළුවෙහි දිගටම වැඩ කළේය.
ඒ අනුව ඊළඟ ඡන්ද දෙකම, එනම් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ඉහළින්ම දිනවීමට ඔහුට හැකිවිය. බැසිල් ඉන්දියාවෙන් ඩොලර් බිලියන තුනක ක්‍රෙඩිට් ලයින් එකක් පවා ලබා ගැනීමට තරම් ශූර විය. මේ රටේ ජනතාව ඊයේ පෙරේදා වනතුරුත් ගැසූ පෙට්‍රල් සහ ඩීසල් ඒ ක්‍රෙඩිට් ලයින් එකේ අන්තිම හරිය බව හැමදෙනාම මතක තබා ගත යුතුය.
බැසිල් රාජපක්ෂ පොරක්ද යන්නත් ඔහු මේ රටේ දේශපාලනයෙන් ඉවත් වුණොත් ඇතිවිය හැකි හිඩැසේ විභවය ඉතා දැඩිවිය හැකි බවත් ඇතැමුන්ගේ මතය වේ. ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් දිගටම දේශපාලනය කරන බව බැසිල් රාජපක්ෂ පවසා තිබේ. එය එසේ නොවුණොත් ඊළඟ ඡන්දයේදී පොහොට්ටුවේ ඉරණම පසුගිය වතාවේ යූ එන් පීයේ ඉරණම හා සමාන වීම කිසිසේත්ම නොවැළැක්විය හැකිය.