
හැත්තෑහතර වැනි නිදහස වැඩි කලබලයක් නැතිව ම ගෙවී ගියේ ය. නිදහසේ සැබෑ නිදහස ගැන ඉකුත් සතියේ ද අපි කතා කළෙමු. වෙනදා මෙන් ම පාරේ ගමන් කළ වාහනවල ද, නිවෙස්වල වහලෙහි ද නිදහස් ධජය ලෙළ දෙමින් තිබිණි. ඒ හැරුණු විට විවේකයක් නැතිව වැඩ කරමින් සිටි බොහෝ දෙනකුට නිවාඩුවක් ලැබුණි. නිදහස සිය පවුලේ අය සමඟ නිදහසේ සමරන්නට හැකියාව ඇත ද, ගෝලීය වසංගතය විසින් හඳුන්වා දුන් සීමා නොතකමින් නිදහස සැමරුවහොත් මුළුමනින් ම නිදහස අහිමි වීමට ද ඉඩ ඇති බැවින් ඒ ගැන සවිඥානික වීම වටිනේ ය. ලැබුණු දින තුනක නිවාඩුවේ ඉස්පාසුවක් නැතිව රට පුරා යන්නට තතනන පිරිසක් ඉදිරියේ නිදහස නැත්තට ම නැතිව යෑමට පෙර පරෙස්සම් වීම පරෙස්සම් වන්නාට මෙන් ම අනෙකාට ද බෙහෙවින් වැදගත් වෙනු ඇත. ආරෝග්‍යා පරමා ලාභා කියන්නේ නිකම් ම නොවේ ය. නිරෝගී බව තරම් අන් සැපක් නැත.
අභිමානවත් නිදහස යන්නට බොහෝ අර්ථකථන තිබෙන්නට හැකි ය. ඒවා ගොඩනැඟෙන්නේ තමා විඳි හා විඳ වූ පරිමාව අනුව මෙන්ම තම තම නැණ පමණින් ද විය හැකි ය. ජීවිත කාලයක් පුරා විය ගහට බැඳි ගොනකු සේ වැඩ ම කළ කම්කරුවෙක් නිදහස කියන්නේ කුමක් ද කියා නොදන්නවා විය හැකි ය. සිය අරමුණු සාක්ෂාත් කරගන්නට නිදහස යන අකුරු තුන ජීවිතය සේ පදම් කළ පුද්ගලයකුට ඒ කම්කරුවා නොදන්නා නිදහස කුමක්දැයි විමතියක් ඇති විය හැකි ය. ආධ්‍යාත්මය දියුණු කළ තැනැත්තා දියුණුව යන්නට වෙන ම වටිනාකමක් දෙනු ඇත. සිත නිදහස් කරගැනීම වෙනුවෙන් ඔහු ප්‍රහර්ශවත් විය හැකි ය. කුමන අර්ථයකින් ගත්තත් නිදහස වටින්නේ ය. ඒ ද අන් සියල්ල සේම නිසි වටිනාකමෙන් හා නිසි අර්ථයෙන් ලැබුණොත් පමණක් ය. නැත්නම් එය ද තවත් අකුරු හතරක් පමණකි.
නිදහස වෙනුවෙන් පසුවදන් ලියැවිය යුත්තේ ඒ නිසා ය. නිදහස් අධ්‍යාපනය නිදහසේ කරගෙන යන්නට නොහැකි වාතාවරණයක් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අප ගෙවුවේ ගෝලීය වසංගතයේ පීඩාව නිසා ය. එතැනින් යම් මට්ටමකට ගොඩ එද්දී තව තවත් ගැටලු සිද්ධ වීම නොකටයුතු ය. රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිදු වූ ගැටුම මීට ආසන්නතම නිදසුනක් සපයයි. චෝදනා එල්ල වූ පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් අරුන්දික අමාත්‍යවරයා ඉල්ලා අස්වෙන්නේ ඒ අනුව ය. එල්ල වූ චෝදනාවට පිළිතුරක් වශයෙන් අදාළ ඇමැතිවරයා ඉල්ලා අස්වීම ආණ්ඩුව සම්බන්ධයෙන් යම් සාධනීය මතවාදයක් ජනතාවගේ සිතේ ඇතිවුව ද සිදුවූ ක්‍රියාදාමය ගැන ජනතාවගේ යම් කනස්සලක් ද තිබේ. සරසවියේ අභ්‍යන්තර අර්බුදවලට පිටස්තර බලපෑම් එල්ල වීම යනු සරසවියේ නිදහසට බාධා වීමක් බව පීඨාධිපතිනිය ද ප්‍රකාශ කර තිබිණි.
අනෙක් කරුණ වන්නේ සරසවි අභ්‍යන්තරයේ මෙවැනි ගැටලු පටන් ගත්තේ රාගම සිදුවූ මේ සිද්ධියෙන් නොවීමයි. ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩු සමයේ මේවා සිදු වී ඇත්තේ රාජ්‍ය අනුග්‍රහය ද සහිතව ය. ක්‍රිස්ටෝපර් ජයතිලකගේ සිද්ධිය එවැන්නකි. 1978 මාර්තු 16 දා කැලණිය විශ්වවිද්‍යාලයට ගෝනවල සුනිල්ගේ නායකත්වයෙන් පාතාල මැරයන් 40ක පමණ පිරිසක් පැමිණියහ. එහි එක් මැරයෙක් වූ ක්‍රිස්ටෝපර් ජයතිලක එහිදී මරු දුටු අතර, ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ජනාධිපති ජේ. ආර්. 1978 මාර්තු 19 දා පැමිණියේය. ස්ත්‍රී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ගෝනවල සුනිල් හිරෙන් නිදහස් කර මුළු දිවයිනට ම සාමවිනිසුරු පදවියක් ද දුන්නේ ජේ. ආර්. ගේ එජාප ආණ්ඩුව බව මිනිසුන්ට අමතක නැත. එසේ මැරයන්ට ආශීර්වාද කරන සංස්කෘතියක් අද නැත. චෝදනා සනාථ වී නැත ද එකී නැඟුණු චෝදනාව වෙනුවෙන් අදාළ ඇමැතිවරයා වන අරුන්දික ඉල්ලා අස් වී තිබේ. එය සාධනීය ඉඟියකි.
දේශපාලන නිදහසට ද යම් බාධා එල්ල වෙන ආකාරයක් පසුගිය කාලයේ වාර්තා විණි. ජවිපෙ නායක අනුර කුමාරට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී දිනක් ගත වීමට මත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට ද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල විණි. හේතු සාධක මොනවා වුවත් මේවා දේශපාලන නිදහසට බාධා කරන විය නො යුතු සිද්ධි බව පැවසිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑ ම දෙයක් විසඳා ගැනීමේ හැකියාවක් පැවතීමේ නිදහස තිබිය යුතුය.
රටක් වශයෙන් අප බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයෙන් නිදහස් වී වසර හැත්තෑ හතරකි. 1948 දේශපාලන නිදහස ලැබුව ද 1972 මැයි 22 දක්වා අප වින්දේ ඩොමීනියන් නිදහසකි. පූර්ණ වශයෙන් නිදහස ලැබූවේ වුව ද අප ඇත්තට ම නිදහස් ද යන ගැටලුව අප ඉදිරියේ එයි. 1948 ට පෙර අප යටත් ව සිටියේ එක් රටකට පමණී. අද රට ඉදිරියේ ඇති ප්‍රශ්න කන්ද දෙස බලන කල අප ඇත්තට ම කීයක් නම් රටවල්වලට යටත් දැයි සිතේ. ඉදිකට්ටේ සිට තවමත් සියල්ල ම ගෙන්වන්නේ පිටරටෙනි. යම් ආකාරයක ස්වාධීන ආර්ථිකයක ලකුණු ඇති කරන්නට හැදූ සෑම වරෙක ම පරගැති චින්තනයෙන් තවමත් නොමිදුණු ආණ්ඩු ඒ ප්‍රයත්නය ලත් තැන ම ලොප් කළහ. ජනතාව ද යම් කැප කිරීමක් කිරීමට පෙළ ගැසුණේ නැත. අද රට විඳින්නේ නිදහසක් යැයි කීව ද ඇත්තට ම නිදහස් රටක අරුණලු නැඟෙන්නේ ස්වාධීන ශක්තියකින් නැඟී සිටින්නට හැකිවූ දවසක ය.
ඒ සඳහා මූලික වශයෙන් ස්වාධීන ආර්ථිකයක් සැකසිය යුතු වේ. එහි පළමු පියවර රජය මේ වනවිටත් ගෙන ඇති අතර, පටන් ගැන්මේදී ජනතාවට යම් යම් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුවත් අනාගතයේදී එය ජනතාහිතවාදී ආර්ථිකයක් වනු නොඅනුමාන ය. විදුලිබල අර්බුදය, ඩොලර් අර්බුදය, ආනයනික භාණ්ඩ අර්බුදය ආදී බොහෝ අර්බුදකාරී තත්ත්ව යටතේ වුව ජනතාව ද යම් කැප කිරීමක් සිදු කළ යුතු වන්නේ, ගෝලීය වසංගත තත්ත්වය හා රට ගොඩනැඟීමේ අර්බුදයට ආණ්ඩුව මේ වනවිටත් උරදෙමින් සිටින නිසා ය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් මූලික අරමුණක් වූයේ දේශීය කිරි ගොවියා නඟා සිටුවීම ය. ඒ සඳහා අවශ්‍ය කරන මූලික කරුණු සම්පාදනය කිරීමේ අරමුණෙන් මේ වනවිටත් දේශීය කිරි ගොවියා රැක ගැනීමේ කාර්යයට ආණ්ඩුව තීරණාත්මක ව මැදිහත් වී තිබේ. අයවැයෙන් යෝජිත වැඩ ලක්ෂය ඔස්සේ ගමේ වැඩ එකී ගැමියන්ගේ අදහස් හා යෝජනා අනුව ක්‍රියාවට නැංවීමට කඩිනමින් ක්‍රියාත්මක වෙමින් සිටියි. මෙවර අයවැය ගමට ගියේ වැඩ ලක්ෂයක් ද සමඟ ය.
අප අද නිදහස් නැතැයි පවසන්නට හේතු පාදක වූ කරුණු එකක්වත් නිකම් ඇති වූ ඒවා නොවේ. නිදහසින් පසු බලයේ සිටි විවිධ පාර්ශ්ව විසින් මඟ හරින ලද ඒවා ය. තිස්වසරක යුද්ධය ද ඊට හේතු පාදක වන්නට ඇත. එහෙත් අද නිදහසේ අරුණලු මැද්දෙන් ස්වාධීන නැඟී සිටීමක් සිදුවීමේ මූලික කාරණා සම්පාදනය වෙමින් පවතී. නිදහසට නිදහස් පසුවදනක් සැපයීමට නම් මේ කරුණු සම්පාදනය විය යුතු බව අවධාරණය කළ යුතු ව ඇත. කොවිඩ් විසින් අඩපණ කරන ලද ආර්ථික, සංස්කෘතික කාරණා සපයන අනාගත වැකිවල ද ඇත්තේ, මෙකී එළැඹුම පිළිබඳ බලාපොරොත්තුවකි.