ජන හදේ පෙරළි කළ සන්නාම දෙකක් | සිළුමිණ

ජන හදේ පෙරළි කළ සන්නාම දෙකක්

ත්තර ලෝකය දෙආකාරයකින් හැඩ කළ ජ්‍යේෂ්ඨයන් දෙදනකුගේ නික්ම යෑම දින දෙකක් ඇතුළත ඇතුළාන්තය ම හිස් කරන්නට සමත් විණි. ඒ තිගැස්ම විසින් කළ කම්පනය සංස්කෘතික කම්පනයකි. යාම් - ඊම් සාමාන්‍ය ය. විප්‍රයෝගය - විප්‍රවාසය පොදු කරුණකි. එහෙත් සමහර විප්‍රයෝග ඇති කරන හිදැස් සංස්කෘතික ම ය හිස් කිරීම්ය. මේ නික්ම යෑම් දෙක ම සංස්කෘතික ම ය නික්ම යෑම් ලෙස ස්ථානගත වෙන්නේ කරුණු කිහිපයක් නිසා ය.

සුනිල් මාධව ප්‍රේමතිලක හා බන්දුල පද්මකුමාර යනු පුවත්පත් ලෝකයේ සන්නාම දෙකකි. එකිනෙකට වෙනස් මාධ්‍ය භාවිතයක වුව මේ දෙදෙනා ම පාඨක ලෝකයේ සහෘදය ආදරය දිනා ගත්තෝ ය. ලකුණක් වීම පහසු නැත. එයිනුත් පොදු පාඨකයා විසින් ලකුණක් ලෙස සිය කැමැත්තෙන් හදවතේ තැන්පත් කර ගැනීමට ලක්වීම කිසිසේත් ම පහසු නැත. පුවත්පත් ලොව බැබළ වූ මේ ජ්‍යේෂ්ඨයන් දෙදෙනා ම එකී දෙවැනි අසීරු ඉලක්කයට පාඨක ආදරය විසින් ඔසවා තබනු ලද්දෝ වූහ. එනයින් බලන කල මේ සිය දිවිසැරිය නිමාකර නික්ම ගොස් ඇත්තේ සහෘදය ආදරය නොවක් විඳි අපූර්ව මිනිසුන් දෙදෙනෙකි.

පුවත්පත් කලාවේදියා කුමන ආකාරයේ චරිතයක් දැ යි මවා ගත් ප්‍රතිරූපයක් අපට තිබේ. තුත්තිරි ගස්වලිනුත් බාල්ක ඉරන මාධ්‍ය සමාජයක සුනිල් මාධව නම් මහ ගස පුවත්පත් කලාවේ හර පද්ධතියට ආලෝකයක් වූයේ ය. සිය ජීවිතයේ ආත්මය පත්තර පිටුවකින් පාඨක සහෘදයා වෙත හේ ගෙන ගියේ සත්‍යවාදියකුගේ දිනපොත ලියමිනි. මේ දිනපොත නිසා නොවක් පාඨක ආදරය සේ ම අසීමිත ගැහැට ද ඔහු වින්දේ ය. මැර ප්‍රහාරවලට ලක්වෙමින්, පොලිස් කූඩුවේ හිර වෙමින්, රාජ්‍ය අනුග්‍රහය ද ලද මිනීමරුවන්ගේ ඉලක්කය වන්නට ද ඔහුට සිදු වූයේ සත්‍යවාදියකුගේ දිනපොත නිසා ය. ඒ කිසිවකින් ඔහු තැබූ පය පිටුපසට ගත්තේ නැත.

පත්තරකාරයා යන ආදරණීය, ළෙන්ගතු හා ගෞරවනීය වදන ලබන්නා සේවය කළ යුත්තේ කවුරුන් වෙනුවෙන් ද යන්න ගැන ඔහුට මනා වැටහීමක් තිබුණේ ය. ඒ වැටහීම ආයතනික නීති සීමා හා බලපුළුවන්කාරකම්වලින් යටපත් වෙන සෑම අවස්ථාවක ම හේ ඒ රාමුවෙන් පිටතට ගියේ නිදහස සොයා ය.

පත්තරකාරයකු ලෙස ඔහු වෙත පැවරී තිබුණු වගකීම වගවීමෙන් ඉටු කළ හේ ජනතාවගේ පුවත්පත්කලාවේදියා ලෙස ජනතාව විසින් ම ඔසවා තැබුවේ ය. ජනතා විශ්වාසය රැක ගැන්මේ ලා දිවි හිමියෙන් ක්‍රියා කළ සුනිල් මාධව පත්තර ලෝකයේ සන්නාමයක් වන්නේ එකී ජනතා ආශීර්වාදය මැද්දෙන් ය.

සුනිල් මාධව ප්‍රේමතිලක ප්‍රේමණීය මිනිසෙකි. ඔහු කිසිවිටෙකත් සිය ජ්‍යේෂ්ඨත්වයේ බර දුහුනන් හා ආධුනිකයන් වෙත හෙළුවේ නැත. තරුණ පරම්පරාවේ ඉදිරිය ගැන විමසුම් ඇසින් සිටි හේ තරුණ පිරිස අතර ඉමහත් ආදරය ට ලක් විණි. ලේඛනයේ ආශීර්වාදය සේ ම ඒ ලේඛනයේ තැවරුණු ප්‍රේමයට ජන්ම ම ය වටිනාකමක් හා බරක් ද ඔහුට තිබිණි. කොළඹ යුගය ශුංගාරයෙන් හා විචිත්‍රවත් බවෙන් හැඩ කළ ප්‍රකට කවියා වන මීමන ප්‍රේමතිලක ඔහුගේ පියා ය. සිළුමිණ කලක් හැඩ හා වර්ණවත් කිරීමේ ලා උපස්ථම්භක පුරෝගාමී කතුවරයෙක් වූ මීමනයන්ගේ සුලලිත භාෂා රිද්මයත්, මානව හිතවාදීත්වයත් සුනිල් මාධවට නොඅඩුව පිහිටා තිබිණි. සුනිල් මාධව ද පත්තර කලාවට අතපොත් තබන්නේ ලේක්හවුසියෙනි. පසුකලෙක විකල්ප ධාරාවට යන්නේ වුව ඔහුගේ පාදම සකසන්නේ ලේක්හවුසියෙනි.

සුනිල් මාධව පුවත්පත් කලාවේ ලකුණක් වීමේ පාර කැපෙන්නේ ඔහු හද ජනදුක අබියස සහකම්පනය වීම නිසා ය.

සහකම්පනය වෙන්නේ මානව හිතවාදීන්ගේ හදවත් ය. පුවත්පතක පිටු අංකයකට අසීමිත ආකර්ෂණයක් දිනා දුන් පත්තරකාරයෙක් වේ ද ඒ සුනිල් ය. අටවැනි පිටුව ඉලක්කමකට එහා ගිය සංස්කෘතියක් කරන්නට ඔහු සමත් විණි. දුප්පතුන් හඬන තැන හඬමින්, කම්කරුවන්ගේ දාඩිය පුසුඹ විඳිමින් ඔවුන්ගේ මිනිසකු ව සිටි සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කෘතියක් යැයි අප කියන්නේ ඒ නිසා ය.

සුනිල් මාධව පුවත්පත් කලාවේ විප්ලවවාදයේ ලකුණ නම් බන්දුල පද්මකුමාර පුවත්පත් කලාවේ සෞන්දර්යයේ ලකුණ ය. හේ සාම්ප්‍රදායික පුවත්පත් කලාව ට නැවුම් මිහිරක් හා සුලලිත බවක් එක් කළ පත්තර කාරයා ය. එතැනින් නොනැවතුණු ඔහු රූපවාහිනියෙන් සැමදා උදෑසන සමීප ම මාධ්‍ය සඟයා වෙමින් ආලින්දයට ආවේ තවත් පුරෝගාමී මෙහෙවරක සන්නාමයක් වෙමිනි. මුල් පිටුව ආගමක් වූ කාලයක් තිබිණි. හේ මුල් පිටුව ඔස්සේ නව ආරකින්, අපහාසය ගෑවීවත් නැති උපහාසයකින් උදෑසන ආලෝකවත් කළ පුරෝගාමී පත්තර කියවන්නා ය. යොවුන් හද ආදරයෙන් කියැවූ, යොවුනන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ යොවුන් පුවත්පත් කලා ප්‍ර ‍ෙභ්දයේ ආරම්භකයා ය. ජනප්‍රිය ධාරාව ප්‍රතික්ෂේපිත යුගයක ඊට වටිනාකමක් එක් කළ සහෘදය සෞන්දර්යකාමියා ය. යොවුන් සාහිත්‍යයේ අද නිරත ජනප්‍රිය නිර්මාණකරුවෝ රැසක් එදා බන්දුලගේ යොවුන් පුවත්පත් ඔස්සේ අතපොත් තැබූවෝ ය. ලක්බිම පුවත්පත ආරම්භ කරමින් හේ ජාතික පුවත්පත් කලාවට අවතීර්ණ වෙන්නේ තමා සතු බහුවිධ ශක්‍යතා පෙන්වා දෙමිනි. පුවත්පත් කලාවේ රතුපස් පාරේ ගිය ඔහුට තාර දැමූ පාරක යන්නට ලක්බිම ආරම්භ වීම මඟ විවර කළේ ය. ඒ මඟ ගිය ඔහු ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ද වීමේ වරම් ලැබී ය.

පුවත්පත් කලාවේදීන් නම් තිරය පිටුපස වැඩකරුවන් මාධ්‍ය ලෝකයේ ජනප්‍රිය වැඩකරුවන් කිරීමේ ගෞරවය හිමි වන්නේ ඔහුට ය. කාටූන් ශිල්පීන්ට ඔහු අපමණ අගයක් එක් කළේ ය; පුවත්පත් කලාවේදීන්ට වෘත්තීයම ය වටිනාකමක් නිර්මාණය කළේ ය. විද්යුත් - මුද්‍රිත මාධ්‍ය සංකලනයක් වූ ඔහු මාධ්‍ය කලාවේ සොඳුරු ආඥාදායකයකු වූ බව නොරහසකි.

මේ දැවැන්තයන් බොහොමයක් නිහඬ ව ම සමුගත් කාලයකි. කොන්දේසි විරහිත ව සිය රසික පාඨක සහෘදයන්ට ප්‍රේම කළ කලාකරුවන් නික්ම යන සමයෙකි.

හිස් වූ මුඩු බිම් මත වපුරන්නට බීජ පැළ කර සිය යුතුකම් ඉටු කර නික්ම යන සහෘදයන් ඇති කරන්නේ හිස් බවෙකි. ඒ හිස් බව විසින් ඇති කරන සංස්කෘතිකම ය සෝදා පාළුව පිරවිය හැකි පිරිසක අවැසි බව වැඩියෙන් දැනෙන්නේ ඒ නිසා ය.

Comments