එන්නතේ වගවීම හා වගකීම | සිළුමිණ

එන්නතේ වගවීම හා වගකීම

න්නත්කරණය ගැන බොහෝ කතාබහ ඇති වී තිබේ. පෝලිමේ පැය ගණන් සිට කොවිඩ් පළමු හා දෙවන එන්නත් ලබාගත් බොහොමයක් දෙනා තුන්වැනි එන්නත ලබාගැනීමට මැළිකමක් දක්වන බවක් පසුගිය කාලය පුරා පෙනෙන්නට තිබිණි. සියල්ල ඩිජිටල්කරණය වූ ලෝකයක මිත්‍යාව විසින් තම ජීවිතය අනතුරට හෙළා ගන්නට තරම් වන මන්දමානසික තත්ත්වයක් ඇති මිනිසුන් සිටීම සියල්ලට වඩා අන්තරාකාරී ය. අන්ධකාරයට බිය දරුවකුට පහසුවෙන් සමාව දීමට අපට හැකිය; නමුත් ජීවිතයේ සැබෑ ඛේදවාචකය නම් වැඩුණු මිනිසුන් ආලෝකයට බියවීම යැයි කියන්නේ ප්ලේටෝ ය. බොහෝ මිනිස්සු හඳට යන්නට කතා කළාට තමා අවට වන වෙනස්කම් හා දරා ගැනීම්වලට බොහෝ බිය වෙති. එනිසා ම හඳ පෙන්වද්දී ඇඟිල්ල දෙස බලා හූල්ලති. එන්නත්කරණ බිය ද එවැන්නකි.

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් පසුගිය ජනවාරි 25 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කර තිබේ. එය අප්‍රේල් 30 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහි පරම අභිලාෂය වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතයෙන් මහජනතාව රැක ගැනීම ය. මෙහිදී පොදු ස්ථාන යන්නට වන අර්ථකථනය යම් තරමකට හෝ තේරුම් ගැනීම වැදගත් ය. ඒ අනුව ගෙවීමක් සිදුකර හෝ ගෙවීමක් සිදු නොකර, ආරාධනාවක් මත හෝ ආරාධනාවක් නොමැති ව, ජනතා ප්‍රවේශයක් සහිත යම් ස්ථානයක් හෝ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ප්‍රවාහන ක්‍රමයක් පොදු ස්ථානයක් ලෙස අර්ථ ගන්වා ගත හැකිය. ඒ අනුව ජනතාව බහුල ව ගැවසෙන හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථාන මෙන් ම බස් රථ, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා සහ පොදු ස්ථාන මීට අතුළත් වනු ඇත. කෙසේනමුත් පොදු ස්ථාන යන්නට නියමාකාර නිර්වචනයක් ඉදිරිපත් විය යුතු ව තිබේ.

වසංගතයක ස්වරූපය පැතිර යෑම ය. එය අවම කරගැනීමට ක්‍රියා කිරීම ඕනෑ ම ආණ්ඩුවක අභිප්‍රාය ය. එය කොතෙක් දැනුම්වත් වීම් කළත් සිදු නොවන්නේ නම් මේ වැනි අවස්ථානුකූල ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය ය. මේ පිළිබඳ විවේචන හා විචාර ඇතැම් පාර්ශ්ව ඔස්සේ එල්ල වෙමින් තිබේ. විවේචන, විචාර, ඇගයීම් මේ සියල්ල ම කිරීමට පෙර ජීවත් විය යුතු ය.

ලෝකයේ මෙවැනි වසංගත ආ සෑම අවස්ථාවක ම ඒවා පාලනය කරන ලද්දේ එන්නත් මඟිනි. වසූරිය, කක්කල් කැස්ස, පිටගැස්ම, ගලපටලය, සරම්ප හා මහාමාරිය වැනි රෝගවලට ද ජනතාව සාර්ථක ව මුහුණ දුන්නේ ප්‍රතිශක්තීකරණ එන්නත් නිසා ය. එබැවින් එන්නත්කරණය යනු සාමාන්‍ය ක්‍රමවේදයකි. විවිධ ඉත්තන්ගේ කතාබස්වලට ලක් වී හෝ මිත්‍යා මතවාදවලට යටවී එන්නත නොගෙන සිටින්නේ නම් එය තමාගේ කැමැත්ත කියා අතහැරීමට හැකිය. එන්නත නොගැනීමට අයිතියක් තිබෙන්නා සේ ම ඒ අයිතිය නිසා තවකකුගේ ජීවිතයට හානියක් වෙන්නේ නම් ඒ ගැන වගකීම ද දරාගත යුතු ව ඇත. තමා නිසා තවකකුගේ ජීවිතයට හානියක් වෙන්නේ නම් එය වරක් දෙවරක් නොව කිහිපවරක් සිතිය යුතු කාරණයකි. කෙනකුට ස්ව අභිමතය පරිදි එන්නත් නොකර සිටිය හැකි මුත් අන් අයකු රෝගියකු කිරීමට ඔහුට අයිතියක් නැති බවත්, මේ නීති රීති මාලාව ගෙන ඒමට රජය කල්පනා කළේ ඒ අනුව බවත්, අනෙකුත් රටවලත් මෙවැනි නීතිරීති හඳුන්වාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සිළුමිණට පැවසුවේ ඒ අයිතියේ වගවීම පිළිබඳ කරුණ පෙන්වා දෙමිනි.

සමහරු පවසන්නේ එසේ නීතිමය රාමුවක් සකස් කිරීමට හැකියාවක් නැති බවකි. ඒ සඳහා ඇති නීතිමය ඉඩකඩ ගැන නීති විශාරදයෝ මෙසේ පවසති. ඒ, මානව හිමිකම් පිළිබඳ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව මඟින් පහදා දී ඇති නමුත්; මහජනතාවට හෝ සමාජයට බාධාවක් වෙන අවස්ථාවකදී ඊට අදාළ ව ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ මානව හිමිකම් කඩවීමක් නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම 15 වැනි වගන්තියෙන් පෙන්වා දී ඇති බවයි. ඒ සඳහා හොඳ ම උදාහරණ වන්නේ දුම්පානය සඳහා නියෝග පනවා නැති නමුත්, පොදු ස්ථානවල දුම්පානය තහනම් කිරීම ය.

වසංගතයක් යනු වේගයෙන් පැතිරෙන්නෙකි. එබැවින් එය ව්‍යාප්ත කිරීම සඳහා අනුබල දීම වැරැද්දකි. මේ වගකීම ඉටු නොකරන පුද්ගලයන් රජයේ නියෝගය නොතකා පොදු ස්ථානවලට ඇතුළුවීමට උත්සාහ කළහොත් සමාජයට වසංගතයක් බෝ කිරීමට උත්සාහ ගත් පුද්ගලයන් සේ සලකා අත්අඩංගුවට වුව ගත හැකි බව නීතිවේදීහු මේ අනුව පෙන්වා දෙති. ලොව පුරා කොවිඩ් වසංගතය පැතිර ගියේ මිනිස් ක්‍රියාකාරකම් හි වූ අපරීක්ෂාකාරී හා වගවීම පිළිබඳ නොදැනුම්වත්කමිනි. එබැවින් කොවිඩ් වසංගතය මර්ධනයට පෙළ ගැසිය හැක්කේ ද වගකීමෙන් ඊට අවැසි පරිසරය සම්පාදනය කිරීමෙනි.

මෙරට ජනගහනයෙන් මිලියන 16කට වැඩි ප්‍රමාණයක් කුමන හෝ එන්නතක් ලබාගෙන තිබේ. දෙවැනි මාත්‍රාව මිලියන 13කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇතත් තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන හයක පමණ ප්‍රමාණයක් පමණී. එන්නත ලබාගැනීමට විවිධ හේතු, මතවාද ඉදිරිපත් කරන සමහරු නිවාඩු දින කිහිපයක් ලැබුණොත් රට පුරා සවාරි යෑමට නම් දෙවරක් සිතන්නේ නැත. කොවිඩ් මාරාන්තික වයිරසයට මෙතෙක් සොයාගෙන ඇති එක ම පිළියම වන්නේ එන්නත්කරණයයි. එහෙත් ඇතැම්හු එන්නත ප්‍රතික්ෂේප කරති. ඇතැම් ආගමික විශ්වාස ද, මිත්‍යා විශ්වාස ද ඊට බලපා තිබේ. එමෙන්ම තුන්වැනි මාත්‍රාව ලබාගැනීමෙන් පසු විවිධ සංකූලතා මතුවන බවට පැතිර ඇති මතය නිසා බොහෝ දෙනෙක් එන්නත ප්‍රතික්ෂේප කරති. එහෙත් එම මතය වෛද්‍ය විද්‍යානුකූලව සනාථ නොවුණු හුදු වගකීම් විරහිත කතාවක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පැහැදිලි ව අවධාරණය කරති.

වසංගතයක් පැතිරෙන, ජීවිත අවධානමක් ඇති මොහොතක තම තමන්ට ඕනෑ ඕනෑ විදියට ක්‍රියා කිරීමේ අයිතියක් ජනතාවට නැත. එවැනි විටෙකදී ක්‍රියා කළ යුතු වෙන්නේ සෞඛ්‍ය උපදෙස් පරිදි ය. එසේ නොවී කටයුතු කරන්නේ නම් එය මුළු රට ම අනතුරේ හෙළීමකි. ඒ සඳහා කිසිවකුටත් නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නැත. සවිඥානික හා දැනුම්වත් ජනතාවක් සිටින්නේ නම් මෙවැනි අණපනත් පැනවීම ඇත්තට ම සිදු විය යුතු නැත. විය යුතු වන්නේ ජනතාව ස්ව කැමැත්තෙන් ඒ සඳහා පෙළගැසීම ය. එබැවින් මේවැනි තත්ත්වයකට රජයට මුහුණ දෙන්නට සිදු වීම ම අභාග්‍යයකි. ජනතාව වශයෙන් අප ඒ ගැන කම්පා විය යුතුය.

මඟුලට, මරණයට එක්රැස්වීමේ පටන් සියලු ඒකරාශීවීම් සඳහා මේ අවස්ථාවේ දෙපාරක් සිතිය යුතු සේම සිය වගකීමක් සේ සලකා පූර්ණ එන්නත්කරණයට ලක්වීම ද අත්‍යවශ්‍ය වගකීමකි. වසංගතය පැතිරුණු පළමු අවස්ථාවේ ජනයා කෙතරම් උනන්දුවෙන් එන්නත ලබා ගැනීමට පෙලඹුණේ ද යන්න අපට අමතක නැත. ඒ කෙතරම් උනන්දුවක් ද යත් හොර පාරවල්වල ගොස් අනුන්ට අයත් එන්නත් මාත්‍රා පවා විඳ ගන්නට වලි කෑහ. ඒ සඳහා දඩුවම් ද වින්දහ. එබැවින් ඒ උනන්දුවෙන් යුතු ව ම මෙවර ද බූස්ටර් එන්නත විඳ වසංගතය මුළුමනින් ම මර්ධනය කිරීම සඳහා අවැසි සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

Comments