බිත්තර කටු මත ඇවිදින්නෝ | සිළුමිණ

බිත්තර කටු මත ඇවිදින්නෝ

හිටපු ඇමැතිවරුන් දෙපළක් වූ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සිය ඇමැති ධූරවලින් ඉවත් කෙරුවේ පසුගිය 3 වැනිදා පස්වරුවේය. ඒ ‘මුළු රට හරිමඟට‘ රැස්වීමේදී ආණ්ඩුව විවේචනය කරමින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා බව කියති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ 47 වැනි වගන්තියේ 2 උපවගන්තියේ ‘අ‘ අනුව ජනාධිපතිවරයාට හිමිවන නීත්‍යානුකූල බලතල ප්‍රකාර ව මේ ඉවත් කිරීම සිදු කෙරිණි. ඒ අනුව නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ගාමිණී ලොකුගේත්, විදුලිබල ඇමැතිවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චිත්, කර්මාන්ත ඇමැතිවරයා ලෙස එස්. බී. දිසානායකත්, ප්‍රවාහන ඇමැතිවරයා ලෙස දිලුම් අමුණුගමත් අභිනවයෙන් පත් කෙරිණි.

මේ සිදුවීම් ඇතිවූයේ එකවර නොවේ. ආසන්නතම හේතුව ලෙස ‘මුළු රටම හරිමඟට‘ රැස්වීමේදී කළ ප්‍රකාශය හේතු සාධක වුවත් මේ ගැටුම කලක් තිස්සේ පැවතුණකි. විමල් හා ගම්මන්පිල බොහෝවිට ක්‍රියා කළේ ස්වකීය පෞද්ගලික අරමුණු සාධනය කරගැනීමේ අභිලාෂයෙන් බව පසුගිය කාලය පුරා ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයෙන් පැහැදිලි වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් ආරම්භ කිරීමට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මුල සිට ම විරුද්ධ වූ බව ඉතිහාසය දන්නෝ දනිති. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී අලුත් හා වෙන ම පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඔවුහු විරුද්ධ වූහ. ඔවුන් එහිදී පැවසුවේ එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකට යා යුතු බවත්; නැතිනම් ජාතික නිදහස් පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් විය යුතු බවත් ය.

අනතුරුව පළාත් පාලන මැතිවරණය වනවිට බැසිල් රාජපක්ෂයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා තිබිණි. ඒ වන විටත් විමල්ලා කිව්වේ සන්ධානයක් යටතේ මිස පොහොට්ටුව යටතේ තමන් තරග නොකරන බවකි.

නාමයෝජනා බාරදීමට පටන් ගත් දිනයේ බැසිල් රාජපක්ෂයන් ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් ආසන සියයකට වැඩි ප්‍රමාණයකට නාමයෝජනා බාර දුන්නේ ය. අනතුරුව බැසිල් විමල්ලාට පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තමන් නාමයෝජනා බාර දුන් බවත්, ඔවුන්ට කැමති තීරණයක් ගන්නට කියාත් ය. විමල් ඇතුළු පිරිස පොහොට්ටුව ලකුණ යටතේ ඡන්දය ඉල්ලන්නේ මේ පසුබිම ඔස්සේ ය. එසේත් නැතිනම් කරකියා ගන්නට දෙයක් නැති වුණු නිසා ය.

ඒ එරෙහි වීම එතැනින් නතර වූයේ නැත. ජනාධිපතිවරණයේදීත් විමල්ලා බාල්දි ඇද්දහ. එහිදී විමල් ඇතුළු මේ කණ්ඩායම කිව්වේ පොහොට්ටුව යටතේ නොව, පොදු සන්ධානයකින් ජනාධිපතිවරයා පත් කළ යුතු ය කියා ය. එවිට අපේක්ෂකයා ලෙස නම් කර තිබූ ගෝඨාභය රාජපක්ෂයන් පැවසුවේ තමන් තරග කරන්නේ පොහොට්ටුව ලකුණ යටතේ බවයි. පොහොට්ටුව ලකුණෙන් ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ ඒ අනුව ය. නව පක්ෂයක් ඇරඹී අඩු ම කාලපරාසයකදී ජනාධිපතිවරයෙක් පත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

ඔවුහු එදා සිට ම උත්සාහ කළේ තනි ගමනක් යෑමට ය. එහෙත් එය ශක්තිමත් නායකත්වයක් හා සංවිධාන ශක්තියක් ඔස්සේ මැඬ පැවැත්වීමට රාජපක්ෂවරු සමත් වූහ. ඔවුන් මුල සිට ම තම තමන්ගේ පුද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යම් යම් පාර්ශ්ව ඉත්තන් කර ගැනීමට ක්‍රියා කළේ ය. කේවල අරමුණු හා පොදු අරමුණු ගැටෙන විට පොදු අරමුණ ජය ගැනීම සොබාදහමේ ආශීර්වාදයෙන් සිදු වන්නකි. මැකියාවෙලි පවසනවාටත් වඩා ශූර ලෙස විමල් වීරවංශ බල කඳවුරක් නිර්මාණය කරගැනීමේ ලා නිමග්න ව සිටියේ ඒ අයුරෙනි.

මේ මුළු ගමන් මාර්ගය පුරා ම විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම නව පක්ෂයක් නිර්මාණය කිරීම ගැන කැමත්තක් දැක්වූයේ නැත. විමල් උත්සාහ කළේ රාජපක්ෂයන් යටපත් කර බලය තහවුරු කර ගැනීමට ය. මේ ක්‍රියාමාර්ගය නිසා ම වගකිවයුතු පිරිස් මොවුන් ගැන අවධානයෙන් සිටියේ ය.

කරුණු මෙසේ පෙළ ගැස්වීමේ දී මේ ගැටුම අද ඊයේ ආරම්භ වූවක් නොවන බව සක්සුදක් සේ පැහැදිලි ය. මේ සියල්ල අතරේ උදය ගම්මන්පිල හැසිරුණේත් ආණ්ඩුවත් සමඟ සාමූහික ගිවිසුමකට අයත් වූවකු ලෙස නොවේ. ගම්මන්පිල නිරතුරුව උත්සාහ කළේ ආණ්ඩුවේ විවිධ ගැටලු පෙන්වමින් ජනතාව කුපිත කර අනවශ්‍ය කලබලයක් ඇති කිරීමට ය. ඩීසල් තිබෙන්නේ තව දින පහකට පමණයි කියා ඔහු මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශය නිසා කලබල වූ ජනතාව ඩීසල් එක්රැස් කළහ. ගම්මන්පිල නිතර කියූයේ විදුලි බල උත්පාදනය වෙනුවෙන් තෙල් නොදෙන බවකි. ආණ්ඩුවේ සාමාජිකයකු නොවන ලෙස ජනතාවට පෙන්වීමට හේ නිරන්තරයෙන් උත්සාහ කළේ ය. එහෙත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයකු ව සිටිමින් පොදු ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කිරීමට එසේ පෙළ ගැසීම සදාචාර සම්පන්න නැත.

මේ වැනි ක්‍රියාමාර්ග හා උසිගැන්වීම් පිටුපස සිටින බළල් අත් ගැන ජනතාවට වැටහීමක් ඇත. එය එකතු වී සිටින කණ්ඩායම දෙස බැලූ විට පෙනේ. එක පැත්තකින් සිටින්නේ පාස්කු කොමිසම මඟින් ඒ ප්‍රහාරයට වගකිවයුත්තා ලෙස නම් කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. අනෙක් පැත්තෙන් සිටින්නේ සියලු පක්ෂවලින් නෙරපා හැර ඇති පාරාජිකා වුණු අතුරලියේ රතන හිමි ය. තවත් පැත්තකින් සිටින්නේ ජනතා ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරුන් ය. මේ අය සමඟ යන හරිමඟ කුමක්දැයි ජනතාවට ගැටලුවක් මතු වීම වැළැක්විය නොහැකිය.

පසුගිය දශක එකහමාරක පමණ සිට ලංකාවේ ආර්ථිකය මුළුමනින් ම කාබාසිනියා කරන්නට වැඩි ම දායකත්වයක් දුන් මේ කිහිපදෙනාගේ පුස් බව මේ වන විට රට ම දනී. ලොව පුරා ම ආර්ථික අර්බුදයක් ඇති කලෙක රටේ වැදගත් ම අමාත්‍යාංශ දෙකක වැඩ කළ වගකිව යුතු ඇමැතිවරු ලෙස ඔවුන් සිය යුතුකම ඉටු කරන්නට පෙළ ගැසුණේ නැත. තාවකාලික දේශපාලන වාසි වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා වගකීම් සහගත බව පාවා දුන් ඇමැතිවරුන් ලෙස මේ අය ගැන දැන්වත් අවබෝධ කරගැනීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට සුබදායි වෙනු ඇත.

ශ්‍රී ලංකාව මේ පසු කරමින් සිටින්නේ මෙතෙක් රටක් වශයෙන් මුහුණ දුන් බරපතළ ම ආර්ථික අවපාතයටයි. යුක්රේන් - රුසියන් යුද්ධය නිසා ලොවම ඇවිළුණු මේ වැනි මොහොතක බොරදියේ මාළු බාන්නට තැත් කරන මොවුන්ගේ ඉතිහාස පැටිකිරිය අප දිග හැරියේ ඒ නිසා ය. දැන් කළ යුතු ව ඇත්තේ සාමූහික ව මේ ගැටලුවට පිළියම් සෙවීම විනා කාඩ්බෝර්ඩ් වීරයන් ට වේදිකා තැනීම නොවේ. මේ වැනි අර්බුදකාරී කාලයෙක තමන්ගේ පුහු වීරකම් පෙන්වීමට යෑම ම විහිළුවක් බැව් ජනතාව දනී. ඉතිහාසය පුරා මෙවැනි පාවාදීම්වලට උදාහරණ තිබේ. වටු කුරුලු රංචුව ම එක්වී මේ මොහොතේ කෙසේ හෝ ගොඩ ඒම වෙනුවට මේ වැනි තැනින් තැන කෙටවීම්, කුමන්ත්‍රණ කරන වටු කුරුල්ලෙක් දෙන්නෙක් කණ්ඩායමෙන් ඉවත් කිරීම මුළු කණ්ඩායමේ ම යහපතට හේතු සාධක වන බව නිසැක ය.

Comments