නොගැයුණු ගීත | සිළුමිණ

නොගැයුණු ගීත

ඉන්දියාව නිදහස් කර ගැනීම සඳහා ඉමහත් සටනක් කළා වූ ද එහෙත් කිසි කලෙකත් ඒ රටේ අගමැතිකම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා වූ ද මහත්මා ගාන්ධි ලෝකයට හඳුන්වා දුන් හොඳම දෙය වූ කලී අහිංසාවාදී උද්ඝෝෂණ ක්‍රමයයි. මේ උද්ඝෝෂණ ක්‍රමයේදී පාරේ යන ගමන් බිල්ඩින්වලට ගල් ගසනු නොලැබේ. දේශපාලනඥයන්ගේ අම්මා මතක් කර බැණීම ද සිදුකරනු නොලැබේ. එසේම අසවල් දේශපාලනඥයා අසවල් කාන්තාවගේ ගෙට රිංගුවේ ය, නොඑසේ නම් අසවල් කාන්තාව අසවල් දේශපාලනඥයාගේ යහනෙහි දිග පළල මැන්නේය යන්න ද කියනු නොලැබේ. ගාන්ධි ගේ උද්ඝෝෂණ ව්‍යාපාරය පැවති කාලයේදී ප්ලැකාඩ්ස් හෙවත් සටන් පාඨ පුවරු ගෙන යාමේ පුරුද්දක් උද්ඝෝෂකයන්ට තිබුණේ නැත. එවැනි කටයුතු සඳහා අවශ්‍ය කාඩ්බෝඩ් එකල පහසු මිලට ලබා ගැනීමට හැකි වුණෙත් නැත.

මේ නිසා ගාන්ධි යුගයේ උද්ඝෝෂණ සාධාරණ සටන් පාඨවලට සහ ඉල්ලීම් කටින් කීමට පමණක් සීමා විය. මේ උද්ඝෝෂණවල දෙවැනි පියවර මෙසේය. සිදුව ඇති අසාධාරණයට අතපොවා උදව් කරන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් උද්ඝෝෂකයෝ පාර දිගේ යති. එවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පොලිසිය පෙළපාළිය මැදට කඩා පැන උද්ඝෝෂකයන්ට නැව් ගුටි නෙළති. අවසානයේදී දැක ගැනීමට හැකි වන්නේ ගුටි කා මළ මුත්‍ර පහවී සිහිසුන් වූ උද්ඝෝෂකයන් මහපාරේ වැටී සිටීමත් පොලිසියට බයේ පැන දුවන උද්ඝෝෂකයන් බොහෝ ඈත සිට ඊළඟට සිදුවන දේ ගැන බලා සිටීමත්ය. පොලිසියේ ගුටි සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ යට කලිසම් සේදු ඉන්දීය වංශවතුන්ගේ තර්ජන කිසිලෙසකත් ගණන් නොගත් මහත්මා ගාන්ධි 1930 මාර්තු 12 දා ඓතිහාසික විරෝධතා පා ගමනක් ආරම්භ කළේය. ඒ කතාව මෙසේ සංක්ෂිප්ත කරමු.

ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු 1930 මාර්තු මාසයේදී ඉන්දියාවේ ලුණු කර්මාන්තය ආණ්ඩුව යටතට ගත්හ. ඒ අනුව ඉන්දියාවේ එතෙක් තිබූ ලුණු ලේවා සියල්ලම බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අත්පත් කරගන්නා ලදී. මේ සඳහා ලුණු පනත නමැති පනතක් ද ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ කිසිදු ඉන්දියානුවකුට ලුණු එකතු කිරීම තහනම් වූ අතර කඩෙන් ලුණු මිලට ගැනීම අනිවාර්ය විය. කඩේට ලුණු සැපයුවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි. මෙයට එරෙහි වූ ගාන්ධි දහස් ගණනක් දෙනා රැගෙන සැතපුම් 241 දීර්ඝ පා ගමනක නිරත විය. පා ගමන නිහඬ වුවද ගමනාන්තයේදී බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ගාන්ධි ගේ ඔළු ගෙඩිය ඇතුළුව තවත් ඔළු දහස් ගණනක් පළන ලදී. එහෙත් උද්ඝෝෂකයෝ බ්‍රිතාන්‍ය රජ පවුලට හෙණ ඉල්ලුවේ නැත. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයාව සිටි මවුන්ට් බැටන් යුව රජතුමාගේ අම්මා මතක් කළේද නැත. ඔවුහු පොලිසියෙන් ගුටි කන විට අහසට අත දිගු කර සිය අවනඩුව දෙවියන්ටම කීහ. මෙය යටත් විජිත වාදය විසින් මිනිසුන්ට පුරුදු කරන ලද ගැති භාවයේ ලක්ෂණයකි.

අද වනවිට ප්‍රජාත්නත්‍රවාදයේ ඇති නීති රීති මහජනතාවට කෙතරම් පක්ෂපාතද යත් පොලිසිය ඔබට පහර දෙන්නේ නම් ඔබගේ ආත්මාරක්ෂාව පතා පෙරළා පොලිසියට පහරදීමට වුව ඔබට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදය මේ ආකාරයෙන් මස්තකප්‍රාප්ත වී තිබෙන අයුරු මේ දිනවල ගෝල්ෆේස් පිට්ටනියේදී පැය 24 පුරාම දැකගත හැකිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරන උද්ඝෝෂකයෝ විශාල වශයෙන් ගෝල්ෆේස් පිට්ටනියේ සේවා මුර ක්‍රමයට උද්ඝෝෂණ කරති. ගෝල්ෆේස් පිට්ටනියේ එක් පැත්තක කුඩා තාවකාලික හට් ඉදිකර තිබේ. උද්ඝෝෂකයන් වැස්සෙන් සහ අව්වෙන් බේරීම සඳහාත් තාවකාලිකව ළැඟුම් ගැනීම සඳහාත් පාවිච්චි කරන්නේ මේ හට් ය. මෙම ප්‍රදේශයට ගෝඨා ගෝ ගම යනුවෙන් නමක්ද යොදා තිබේ. වසර 2009 දී ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධය පරාජයට පත්වී නම් මේ නම සහිත විශාල වෙනම රාජ්‍යයක් උතුරු සහ නැඟෙනහිර දෙපළාතෙහි ඉදිවීමට ඉඩ තිබිණ. මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන නායකත්වය සහ ගෝඨාභය රාජපක්ෂගේ සංග්‍රාමික නායකත්වය සහිතව සරත් ෆොන්සේකාගේ හයියෙන් කෙරුණු එම ජයග්‍රාහී යුද්ධය දැන් අමතකය. ප්‍රභාකරන් කී පරිදි සිංහලයාට සතියකට වැඩි කාලයක් කිසිම දෙයක් මතක හිටින්නේ නැත.

ආණ්ඩුව පළවා හැරීම සඳහා ගෝල්ෆේස් පිට්ටනියට රැස්වන තරුණ නව යොවුන් සහ ළමා පිරිසගේ ජවය කිසි ලෙසකින්වත් අඩු තක්සේරුවට පත්කළ යුතු නොවේ. එහෙත් මේ ජවය මිලදී ගැනීමට තැත් කරන හෝ දැනටමත් මිලදී ගෙන ඇති කණ්ඩායම් එකක් හෝ කිහිපයක් සිටින බව පෙනෙන්නට ඇත. උද්ඝෝෂකයන්ට බුරියානි සහ බීර සැපයීම ඇතැම් රාත්‍රීවල සිදු වෙයි. තවත් සමහර රාත්‍රී කාලවල ප්‍රසිද්ධ ආහාර පාන සමාගමකින් මිලට ගත් කෙටි කෑම පාර්සල තරුණ කැල අතර බෙදා හරිනු ලැබේ. අතේ සතේ නැති නමුත් අවංක චේතනාවෙන් දේශපාලන වෙනසක් අපේක්ෂා කරන පිරිස් කොත්තමල්ලි වතුරෙන් උද්ඝෝෂකයන්ට සංග්‍රහ කරති. ඇතැම් කෙනෙක් ගෙනෙන්නේ බනිස්ය. විටෙක මාගරින් තැවරූ පාන් කාලවල් බෙදා හරිනු ලැබේ.

මේ නැති බැරිකමේ සංග්‍රහයට අපි අවංකව හිස නමමු. එහෙත් බීර සහ බුරියානි බෙදන්නේ මෙරට සල්ලිවලින් නොව පිටරටින් ලැබෙන සල්ලිවලින් බව පෙනේ. මෙහිදී හිත හදා ගැනීමට තිබෙන එකම දෙය ආණ්ඩුව එළවන මාර්ගයෙන් හෝ ලංකාවට ඩොලර් පැමිණීමය. ගෝල්ෆේස් උද්ඝෝෂණයේ ඇතැම් සටන් පාඨ කුණුහරුපය. මහත්මා ගාන්ධි මොඩ්ල් එකේ උද්ඝෝෂණ දැන් කළ නොහැකි බව ඇත්තය. එහෙත් කෙනෙක් පමණ ඉක්මවා කුණුහරුප කියන්නේ නම් එය මානසික රෝගයක් සේ සලකනු ලැබේ. උද්ඝෝෂණයේ අයිතිය උද්ඝෝෂකයන්ට කිසි ලෙසකින්වත් සම්බන්ධ නැති තුන්වන පාර්ශ්වයක් විසින් මිලට ගෙන ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාව බිහි කරන ලද අප්‍රමාණ සංස්කෘතික දේපළක් වන නන්දා මාලිනිය ද මේ උද්ඝෝෂණයට සහභාගී වී සිටි අයුරු අපි දුටිමු. මෙහිදී යමක් සඳහන් කළ යුතුය. එක්දහස් නවසිය අසූ ගණන් වලදී 'පවන' නමැති ප්‍රගතිශීලී සහ විප්ලවකාරී ප්‍රසංගයක් නන්දා මාලිනි ඉදිරිපත් කළාය. එහි සියලුම ගීත මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ ලියූහ. ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට පවන ප්‍රසංගය මඟින් ලොකු මොරාල් එකක් ලැබිණ.

ඒ චූන් එක එහෙමම තිබියදී 1988 දී ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ තරුණ තරුණියන් අල්ලා සමූල ඝාතනය කරන්නට පටන් ගත්තේය. එවිට මොරාල් සැපයුම්කරුවන් වූ නන්දා මාලිනි හා සුනිල් ආරියරත්න ජීවිත බේරා ගැනීම සඳහා ඉන්දියාවට පැන ගියහ. පසුව මේ කෘතහස්ත කලාකරුවා ඉන්දියාවේ උසස් පාඨමාලා හැදෑරීමේ නියුතුව සිටියේය. ඔවුන් ලංකාවට එනවිට ජවිපෙ ට සම්බන්ධ සහ සම්බන්ධ නැති 60,000 ක් දෙනා සමූල ඝාතනය වී තිබිණ. එහෙත් එසේ මියගිය තරුණ තරුණියන් වෙනුවෙන් නන්දා මාලිනිය අදටත් එක ගීයක්වත් ගයා නැත.

Comments