එදා නෑම සහ අද නොනෑම | සිළුමිණ

එදා නෑම සහ අද නොනෑම

1952 මහ ඡන්දයෙන් බලයට පත්වූ එජාප ආණ්ඩුවට මළ හත්තිලව්වක් සිදු විය. මේ ආණ්ඩුව බලයට එන්නේම හාල් සේරුව තව දුරටත් සත 25 ට දෙන බව කියා ගෙනය. එහෙත් ආණ්ඩුව බලයට පත්වූ පසු නොසිතු පරිදි ආහාර මිල ඉහළ ගියේය. ඒ වන විටත් ලංකාව බත් ගිල්ලේ පිට රටින් ගෙන්වා ගෙනය. රටේ ජනගහනය මිලියන 10 ඉක්මවා නොතිබුණ ද මෙහි කුඹුරුවල වගා කරන සහල් ජනතාවගේ කුසගිනි නිවීමට ප්‍රමාණවත් වුණේ නැත. එකල මේ රටේ වගාව සම්පූර්ණයෙන්ම නඩත්තු කරන ලද්දේ කාබනික පොහොර විසිනි. රසායනික පොහොර කතාවක් තිබුණේම නැත.

කෙසේ හෝ වේවා අවසානයේදී සත 25 හාල් සේරුව සත 70 ක් කිරීමට ආණ්ඩුවට සිදුවිය. සත 72 ක් ව තිබූ සීනි රාත්තලේ මිල ද නැංගේය. මේ කාලයේ රජයේ සේවකයකුගේ පඩිය රුපියල් 50 ඉක්මවූයේ නැත. පුද්ගලික අංශයේ වැටුප ඊටත් අඩු විය. එකල පුද්ගලික අංශය යනු ශ්‍රමය සූරා කෑ යකෙක් බඳු යන්ත්‍රයකි. හාල් සේරුව සත 45 න් වැඩි වීම තුන් වේලම බත් කෑමට පුරුදුව සිටි එකල ජනයා දුටුවේ සමස්ත ආහාර ජීරණ පද්ධතියට වැදුණු බලගතු පයින් පාරක් ලෙසය. මීට විරෝධය පළ කිරීම සඳහා 1953 අගෝස්තු 12 දා මේ රටේ විරුද්ධ පක්ෂ හර්තාලයක් පටන් ගත්හ. හර්තාල් යනු ඉන්දියානු වචනයකි. පොදුජන විරෝධයේ සංකේතයක් වශයෙන් කඩ සාප්පු වසා දමා වැඩ වර්ජනය කර ප්‍රවාහනය කඩා කප්පල් කිරීම එමඟින් සිදුවිය. මෙහිදී යම් කාරණයක් කිව යුතුය. ඉන්දියානු හර්තාලයට අනුව පොදු ප්‍රවාහනය කඩා කප්පල් කරන්නේ බස් වලට බෝම්බ ගැසීමෙන් හෝ යන බස් එක මඟ නවත්වා කොන්දොස්තරගේ සහ ඩ්‍රයිවර්ගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇද බසය ගිනි තැබීමෙන් නොවේ. එහිදී බස් රියදුරා ද කොන්දොස්තර ද ඉතා සාමකාමී ලෙස රස්සාව කිරීමෙන් වැළකෙති. 1953 හර්තාලය සංවිධානය කර නායකත්වය දෙන ලද්දේ මේ රටේ වාමාංශික ව්‍යාපාරය විසිනි. ලංකා සම සමාජ පක්ෂයත් සෙසු වමේ පක්ෂත් ඊට එකතු විය. හර්තාලය බලගතු ලෙස පැවැත්වුනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල පමණි.

ඉකුත් සිකුරාදා මේ රටේ පවත්වන ලද 'හර්තාලය' දෙස බලන විට 1953 හර්තාලය ඉතාම උසස් මට්ටමක පැවති බව ඒ පිළිබඳව ලියවුණු පොත්පත් සහ පැරණි ලේඛන වලින් සොයාගත හැකිය. සිකුරාදා පැවති හර්තාලයේදී පොදු ප්‍රවාහනය කඩාකප්පල් කරන ලද්දේ බලහත්කාරයෙන් පාරට පැන බස් ධාවනය නැවැත්වීමෙනි. මේ නිසා හදිසි රෝගී තත්ත්වයන් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල් බලා යමින් සිටි කිහිපදෙනෙක්ම මඟ මැරෙන සයිස් එකට පත්වූහ. එවැනි සිද්ධීන්වලදී ආරක්ෂක අංශවල සිටි කිසිවෙක් පාරට පැමිණ ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. 53 හර්තාලයේදී එවකට පැවති යූ එන් පී ආණ්ඩුව ඉතා බරපතළ ලෙස ප්‍රචණ්ඩත්වය මුදා හළේය. එමඟින් හර්තාල්කරුවන් 11 ක් මරණයට ද පත්වූහ.

මේ ආණ්ඩුව හරිම චූන් ආණ්ඩුවක් බව පෙනේ. අපට ලැබුණු සංඛ්‍යාත්මක දත්තවල හැටියට හර්තාලයට ක්‍රියාකාරී ලෙස සහභාගී වුණේ මේ රටේ ජනගහනයෙන් 1% ටත් අඩු ප්‍රමාණයකි. එහෙත් මේ රටේ ජීවත් වන දෙකෝටි විසි ලක්ෂයම එමඟින් අනාත වූහ. සිකුරාදා හර්තාලයේ ප්‍රධාන ඉල්ලීම වූයේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවය. හැබැයි ආණ්ඩුව ඉල්ලා අස්වුණොත් එය බාර ගැනීමට කවුරුවත් ඉදිරිපත් වන බවක්ද පෙනෙන්නේ නැත. එසේ නම් ආණ්ඩුව ඉල්ලා අස්වී රට පාලනය කිරීම තාවකාලිකව චීන හෝ ඉන්දියානු සමාගමකට බාර දිය යුතු වේ. මේ රටේ විපක්ෂය කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි විපක්ෂයකි. පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා පැවති නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දයෙන් ජය ගන්නේ ද ආණ්ඩුවේම මිනිහකු වූ රංජිත් සියඹලාපිටිය ය. මෙය කුමන්ත්‍රණයක් බව විපක්ෂයේ මතයයි. කුමන්ත්‍රණයක් වේවා, වෙන මොන මගුලක් හෝ වේවා අන්තිමේදී නියෝජ්‍ය කථානායක ගේම දිනා ගත්තේ ආණ්ඩුවය. මේ නිසා මේ රටේ ජනතාව හදිසි අවස්ථාවකදී විපක්ෂයේ පිහිට අවශ්‍ය වුණොත් ඒ සඳහා යාමට සිදුවන්නේ ඉන්දියාවේ විපක්ෂය වෙතය. මේ දුෂ්කර අවස්ථාවේදී ඉන්දියානු ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත මහත් සේ අගය කළ යුතුව තිබේ. ආර්ථික අර්බුදය නිසා ජීවත් වීමේ අභියෝගය ජයගත නොහැකිව සිටින මෙරට ජනයාට ආධාර කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රීවරු ඉකුත් සතියේදී සිය මාසයක වැටුප් පරිත්‍යාග කළහ. මෙතැනදී සිංහල දෙමළ භේදයක් නැත. තමිල්නාඩුවේ දෙමළ මන්ත්‍රීවරු තම මාසික වැටුප කැප කළේ පොදුවේ ලංකාවටය.

හර්තාලය සහ ත්‍රස්තවාදය අතර ඉතා පැහැදිලි වෙනසක් තිබේ. හර්තාලයක ස්වරූපයෙන් පටන් ගෙන ත්‍රස්තවාදය කරා ගමන් කළ දේශපාලන ව්‍යාපාරද මේ රටේ ඇත. උදාහරණයක් ලෙස 1988/89 ජවිපෙ 2 වැනි කැරැල්ල ගැනීමට පුළුවන. මුලින්ම මේ ව්‍යාපාරය පටන් ගන්නේ යූඑන්පී ආණ්ඩුවට විරුද්ධ පෝස්ටර් ව්‍යාපාරයක් ලෙසය. ඊටපසු තුණ්ඩු මඟින් කඩ වසන ලදී. ඇඳිරි නීතිය ද පනවන ලදී. මේ සියල්ලම කළේ එකල ඩමියක් පමණක් ලෙස පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණේ ඩමියක් නොවූ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කය වූයේ බයිසිකලයේ හෝ බස් එකේ වැඩට යන දුප්පත් ග්‍රාමසේවකලාත් ආණ්ඩුවේ ක්ලාක් මහත්වරුත් බුලත් විටකට වැඩි දෙයක් පගාව ලෙස නොගත් එකල පොලිස් රාළහාමිලාත් ය. මේ රාළහාමිලා බුලත් විටකට වැඩි දෙයක් පගා ලෙස නොගත්තේ එවැනි දෙයක් සඳහා ආත්ම ධෛර්යය නැති හෙයිනි. සතියේ ඇතැම් දිනවල මුළු රටේම වැඩ නවත්වන ලෙස තුණ්ඩු කෑල්ලකින් ජනතාවට නියෝග කිරීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පුරුදුව සිටියේය. එහෙත් කොහෙවත් සිටින ප්‍රචණ්ඩ මදාවියන් කිහිපදෙනක් පැමිණ තුණ්ඩු කෑල්ලක් දුන් සැණින් වැඩ නැවත්වීම සඳහා ප්‍රතිපාදන රාජ්‍ය අංශයේ නැත. මේ නිසා රජයේ සේවකයන්ට වැඩට යාමට සිදුවිය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔවුන් අල්ලා වෙඩි තබා මරා මිනී පෙට්ටිය දණහිසින් පහළට සිටින ලෙස ඔසවාගෙන ගොස් මියගිය අයගේ අවසන් කටයුතු සිදුකරන ලෙස නියෝග කළේය.

ආණ්ඩුව හරියට කෙලින් නොසිටියොත් මේ රට ප්‍රචණ්ඩකාරීන් අතට යාමට ඉඩ තිබේ. මෙවර ප්‍රචණ්ඩකාරීන්ගේ සංයුතිය සෑදී ඇත්තේ කිසිදු දේශපාලනික හෝ කම්කරු පදනමක් නැති රැලකගෙනි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කොතරම් ප්‍රචණ්ඩකාරී වුවද එයට වාමාංශික කේන්ද්‍රයක් සහ ජනතාවාදී විභවයක් තිබිණ. එහෙත් මේ සිටින අයට එහෙම දෙයක් ඇත්තේම නැත. 'යහපාලන' ආණ්ඩු සමයේදී පැවැත්වුණු සෑම ජනතා විරෝධයකදීම ඔළු පළා, අත පය කඩා මර්දනය කරන ලදී. එකල විරෝධතාකරුවන් විරෝධතා ව්‍යාපාර පැවැත්වුයේ පොලිසියේ වියදමින් නාගෙන ගෙවල් බලා යන්නටය. විරෝධතාකරුවන්ට පිළිතුරු දීමේදී මේ ආණ්ඩුව ප්‍රචණ්ඩ විය යුතු යැයි අපි මොහොතකටවත් යෝජනා නොකරමු. අප කියන්නේ මේ රටේ පොදු ජනතාවගේ ජීවිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් නිදහස් ලෙසත් ගෙන යා හැකි පරිදි ආණ්ඩුව කිසියම් කළමනාකරණ කටයුත්තක් කළ යුතු බව පමණි.

Comments