ශිෂ්‍යත්ව පාඩම | සිළුමිණ

ශිෂ්‍යත්ව පාඩම

කොවිඩි විසින් අඩපණ කරන ලද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රමානුකූල නැඟිටීමක් පිළිබඳ අරුණැල්ල වැටෙමින් තිබේ. 2021 ඔක්තෝබර් 25 ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කර පාසල් නැවත විවෘත කිරීමෙන් පසු අවස්ථා හතරකදී සියලු පාසල් සිසුන්ට විවෘත වූයේ නොවැම්බර් 23 වන දා සිට ය. පරිගණක තිරයේ දෑස් දල්වා ගෙන උදේ සිට සවස් වනතුරු මාර්ගගත අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ට පන්ති කාමරයේ සජීවී අත්දැකීම ලැබෙන්නේ දැන් ය. සිග්නල් නැතිව මාර්ගගත අධ්‍යාපනය හෝ ලැබීමට පහසුකම් නැති දරුවන් ද බොහෝ වූ බැව් පසුගිය කාලය පුරා මාධ්‍ය වාර්තා කර තිබිණි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූල ව දරුවන් සිය සම වයසේ මිතුරු මිතුරියන් සමඟින් පාසල් අධ්‍යාපනයේ සමාජානුයෝජනයට යොමු වීම වැදගත් වන්නේ අධ්‍යාපනයට මේ සියල්ල ම ඇතුළත් වෙන නිසා ය.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය ද පැවැත්වීමට තීරණය වුණු අතර එය ජනවාරි 22 දා රට පුරා මධ්‍යස්ථාන 2,943ක දී සාර්ථක ව පැවැත්විණි. එහිදී කොවිඩ් රෝගී දරුවන්ට විශේෂිත විභාග මධ්‍යස්ථාන 108 ක් වෙන් කර තිබූ අතර කොවිඩි විසින් අඩපණ කරන ලද අධ්‍යාපනය නැවත යාවත්කාලීන වීමේ ප්‍රායෝගික පණිවුඩය ද ඒ හරහා සමාජගත වීම වටනේ ය. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 340,508 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර, විභාග මධ්‍යස්ථාන 2,943 ක්ද සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක්ද ක්‍රියාත්මක විණි.

විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ උපරිම සෞඛ්‍ය ආරක්ෂාව සැලසෙන පරිදි විභාග කටයුතු සියල්ල සූදානම්ව තිබුණු අතර, කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වෙන්වුණු විශේෂ විභාග මධ්‍යස්ථානවලට මවුපියන් විසින් සිය දරුවන් රැගෙන යායුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබිණි. විභාගයට දින 10 කට පෙර කොවිඩ් ආසාදිත වූ හා විභාග දින ආසන්නයේ ආසාදිත වූ දරුවන්ට සිය රැපිඩ් ඇන්ටිජන් වාර්තාව හෝ පී.සී.ආර් වාර්තාව සමඟ මෙම විභාග මධ්‍යස්ථාන හා සම්බන්ධ විය හැකිව තිබිණි.

මීට අමතරව නිරෝධායනය වන සිසුන් සඳහා වෙනම ම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ අතර, විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා තිබුණේ සෑම විභාග මධ්‍යස්ථාන 4 කටම නිරෝධායනය වන හා කොවිඩ් ආසාදිත යැයි සැකකරන දරුවන් සඳහා එක් කාමරයක් බැගින් වෙන්ව ඇති බවයි. මේ සියල්ල සංවිධානය කරමින් රජය අපේක්ෂා කළේ කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට අදාළ කරුණු සම්පාදනය කිරීම වෙනුවෙනි. වසංගතයකට සියල්ල බාරදී අතපය හකුළා ගැනීම වෙනුවට අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මෙසේ ක්‍රියාත්මක වීම අගය කටයුතු ය.

පැහැදිලි දිශානතියක් හා දැක්මක් ඔස්සේ ආර්ථිකය හෝ අධ්‍යාපනය නඩත්තු කරගත නොහැකි වන ප්‍රධාන බලවේග අතර ප්‍රමුඛ තැනක් ගන්නේ වසංගත පැතිරීම ය. මෙවැනි වසංගතයක් අවසන් වූ ඉනික්බිති කාලයක් තිස්සේ මිනිස්සු විරැකියාව, දුගී බව හා කුසගින්න අත්විඳිනු ලැබීම අනිවාර්ය කරුණකි. මේ ව්‍යසනය අවස්ථාවේ මානව සම්පත රැක ගැනීමේ ලා අතිවිශිෂ්ට කැපවීමක් කළ රජයට ශක්තිමත් ආර්ථිකයක් හා ශක්තිමත් අධ්‍යාපනයක් ගොඩනැංවීමේ ලා සියල්ලන්ගේම ශක්තිය ඇවැසි ය. එනිසා සියල්ලෝ ම යම් කැපවීමක් කර හෝ අප මානව සම්පතට උදාවීමට නියමිත ආර්ථික ගැටලුවලට ශක්තියක් වන්නට හැකි නම් වසංගතයෙන් පසු සිටියාටත් වඩා ශක්තිමත් ව අපට නැඟී සිටීමට හැකිවනු ඇත. මේ රජය කරමින් සිටින්නේ එයයි. ශිෂ්‍යත්වය සාර්ථක ව පැවැත්වීම මේ සඳහා එක් උදාහරණයක් පමණී.

ජීවිතය යනු අරගලයකි. අප රැකෙනා අතරතුරේ අපේ ප්‍රියයන්, රෝගීන්, මහලු අය, සෞඛ්‍ය සේවකයන් හැකි තරම් සංඛ්‍යාවක් ආරක්ෂා කරගැනීම ඒ අරගලයේ කොටසකි. අද මේ මොහොතේ පවා අප අරගල කරන්නේ ඒ වෙනුවෙනි. එහෙත් සියල්ල නවත්වා ඒ අරගලය කළහොත් නවතින තැන ගැන හා නැවතුණු තැනින් පටන් ගැනීම අපහසු වෙනු ඇත.

අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ක්‍රියාත්මක අයුරෙන් නොපැවැත්වීම අනාගත ඛේදවාචකයක ලකුණු ය. එනිසා මේ අන්දමෙන් ඊට මැදිහත් වීම ප්‍රශංසනීය ය. මාර්ගගත අධ්‍යාපනයෙන් අහිමි වූ සාමාජානුයෝජන ක්‍රියාවලිය දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමේ ප්‍රධානතම මෙවලම ය. භින්න පෞරුෂයෙන් යුතු පරපුරක් වෙනුවට කරට කර, උරෙන් උර ගැටෙන දරුවන් පිරිසක් අනාගතයේ අපට අවැසි ය. අද ගැන නොව හෙට ගැන සිතා ක්‍රියා කළ යුතු වන්නේ ඒ නිසා ය. ශිෂ්‍යත්වය සාර්ථක ව පැවැත්වීමේ ආදර්ශය විභාගය පැවැත්වීමටත් වඩා ඒ පිළිබඳ ආලෝක කදම්බයක් ලෙස අපට වටින්නේ ඒ නිසා ය.

ශිෂ්‍යත්වයේ පදනම වූයේ සැමට සම අධ්‍යාපනයක් යන්න ය. දුගී බවෙන් දුක්ඛිත ව පහසුකම් නැති පාසල්වල සිය ළමා කාලය දියකරන දරුවන්ට අනාගතයක් හැදුණේ ශිෂ්‍යත්වය හරහා ය. එය සුවහසක් දරුවන්ගේ අනාගත බලාපොරොත්තුවක් විය.

මහත්මා ගාන්ධිතුමන්ගේ අදහස වන්නේ අධ්‍යාපනය යන්න සැමට එක හා සමාන ව ලැබිය යුතු දෙයක් බව ය. ඒ බව ඔහු ප්‍රකාශ කළේ හිරු රැස් හා වර්ෂාව සෑම දෙනාට ම සමසේ ලැබෙන්නා සේ අධ්‍යාපනය ද සමසේ ලැබිය යුතු බවකි. අධ්‍යාපනයෙන් හිස සහ අත පුහුණු කිරීම පමණක් නොව හදවත ද පුහුණු කිරීම සිදු විය යුතු බව ගාන්ධිතුමන්ගේ අදහසයි. එකී ක්‍රියාදාමයට අනුගත වීමට වසංගතය මත්තෙන් ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිෂ්ඨාපන ක්‍රියාවලිය සාර්ථක වීම සන්තුෂ්ටියට කරුණකි.

වර්ෂ කිහිපයකට වරක් චීනයේ 'කහ ගඟ'දෙගොඩතලා යයි. දෑ ඉවුර පසුකරන දිය කඳ ගංගා නිම්නය ආලාපාලු කොට දමයි. මේ පිළිබඳ ව දන්නා ගඟ දෙපස සිටින චීන්නු ඊට අනුගත ව ජීවත් වෙති. ව්‍යසනය නාසය අසලට ගොඩවදින තුරු නොයි ද ඔවුහු නිරන්තර 'සූදානම් ශරීරයෙන්' කටයුතු කරති. කලකට පසුව චීනය සාරවත් ම අස්වැන්න නෙළන්නෙත් ගංවතුර දෙගොඩතලා ගිය දෑ ඉවුරෙනි.

ඔවුන් විපත සැපතක් බවට පත් කරගන්නේ එහෙම ය. කොවිඩ් මතින් නැඟී සිටිය යුතු වන්නේ ද එලෙසිනි. සියල්ල වසංගතයට බාර දී අතපය හකුළා ගෙන ජීවත් වීම හෝ සියල්ල අතහැරීම කිසිවිටෙකත් සාර්ථක ක්‍රියාදාමයක් නොවේ. ශිෂ්‍යත්වය පෙන්වූ පාඩම මේ මොහොතේ බෙහෙවින් වටින්නේ ඒ නිසා ය.

Comments