
මේ උදා වූයේ සීසර්ගේ කැලැන්ඩරයේ පළමුවැනිදා ය. අපේ කැලැන්ඩරයේ අලුත් අවුරුදු උදාව සටහන් වෙන්නේ අප්‍රේල් මාසයේ ය. කෙසේ නමුදු ලෝක චාරිත්‍රයට අනුව මේ නව වසරක උදාවකි. ගෙවී ගිය වසර වෙන කවරදාටත් වඩා සමස්ත ලෝකයට ම අභියෝගාත්මක වසරකි. එළඹුණු වසර ඒ අභියෝගය මඳින් මඳ ලිහිල් වෙතැයි අපි විශ්වාස කරන්නෙමු; ප්‍රාර්ථනා කරන්නෙමු. ඕනෑ ම දුෂ්කර කාලයකට පසු උදා වෙන්නේ වසන්තයකි; ඒ හරියට කන්දක් නැග්ගොත් පල්ලමක් ඇත්තා සේ ය. කිසිවක් ම සිදු නොවන හෝ සිදුවන්නට සිතන්නේවත් නැති දශක තිබේ. එසේ වුවත් දශකයක සිදුවන දෑ සිදුවන සති තිබේ යැයි කියන්නේ ව්ලැඩ්මියර් ලෙනින් ය. ඔහු එසේ ප්‍රකාශ කළේ 1905 වර්ෂයේ රුසියාවේ ඇතිවූ විප්ලවීය රළ පහර නිරීක්ෂණය කරමින් හා ඒ ක්‍රියාවලියට සහභාගී වෙමිනි. අර්බුද සමයන්හිදී සිදුවීම් කෙතරම් වේගවත්දැයි යන්නේ ද යත්; ඒවා විශ්ලේෂණය කිරීමටවත් ඉඩක් තියන්නේ නැත. ඒ, ඒ මොහොතකට පෙර ඉතාම අලුත් යැයි හැඟුණු විශ්ලේෂණ පවා ඉතා ඉක්මනින් ඉපැරණි හා කල් ඉකුත් වූ ඒවා වීම නිසා ය.
කෝවිඩ් 19 කියන්නේ ද ඒ වැනි ම වූ දෙයකි. මේ කියන, දකින, විශ්ලේෂණය කරන දෑ තවත් මොහොතකින් වෙනස් වන්නකි. එසේ වූවා කියා වයිරසයකට යටවී සියල්ල හකුළුවා ගෙන සිටීමේ හැකියාවක් ද නැත. කොවිඩ් නිසා ලෝකයේ සමස්ත ආර්ථික යාන්ත්‍රණය බිඳ වැටෙන්නට ගත වූයේ කෙතරම් ස්වල්ප වේලාවක් ද සියලු යාන්ත්‍රණ ද, ජීවන යාන්ත්‍රණ ද එසේම බැව් අප අවබෝධ කරගත යුතු ව ඇත.
2020 සහ 2021 වසර ද්විත්වය ම ගෙවී ගියේ අවිනිශ්චිත බවෙන් තුෂ්නිම්භූත ව ය. දැඩි අපේක්ෂා භංගත්වයෙන් යුතු ව ය. කොවිඩ් නිසා බිඳ වැටුණේ සමාජ සම්බන්ධතා ජාලය පමණක් නොවේ. සියලු ආර්ථික අපේක්ෂා හා බලාපොරොත්තු ද බිඳ වැටුණේ ය. අද තිබෙන රැකියාව හෙට නැති වේ දැයි බියෙන් ගත කළ කාලවකවානුව මානසික අවපීඩන තත්ත්වයක් ද ඇති කළේ ය. ලොව ආර්ථික බලවතා වුව ද ඇමෙරිකාවේ පවා ලක්ෂ ගණනකට රැකියා අහිමි විණි. ඇමෙරිකාවට එසේ වූයේ නම් අනෙක් රටවල් මොනවාද කියා සිතීම අරුමයක් නොවේ ය.
ලොව පුරා බරපතළ ආර්ථික අවපාතයක් තිබියදී අප පමණක් සුඛිත මුදිත වේ යැයි උපකල්පනය කළ හැක්කේ වගකීම් විරහිත මහ පොළොවේ පය නොගසන අයකුට පමණී. බොහෝ අය සිතුවේ පවා සිය රාජකාරී ඉටු කළ ද නොකළ ද තම වැටුප රජය ගෙවිය යුතු බවකි. සිදු වූයේ ද එය ම ය. ආදායමක් නැති වියදමක් කළ හැකි කාල සීමාවක් තිබේ. ඒ සීමාව දැන් ඉක්ම ගොස් ඇති බව ඕනෑම කෙනකුට නොතේරෙන්නට ඉඩක් නැත. නොතේරෙනවා නොව එසේ පෙන්වීමක් කරන බැව් සත්‍යයකි. එනිසා ම ජනවාරි පළමු සතියේ සිට සියලු ආයතන පෙර පුරුදු පරිදි සාමාන්‍ය තත්ත්වයක් යටතේ රාජකාරියට කැඳවා තිබේ.
කොවිඩ් කියා හැමදාම රට වැසිය නොහැකි සේ ම පවතින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නිෂ්පාදන ආර්ථිකය දිරිමත් කළ යුතු ද වේ. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීමට නම් දේශීය වශයෙන් කෘෂි ආර්ථිකය නඟා සිටුවිය යුතු වේ. කේන්ද්‍රගත වැඩපිළිවෙළක අවැසිතාව හා ප්‍රවේශය මේ වනවිට අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. ඒ වෙනුවෙන් කාබනික පොහොර හා වගා සංග්‍රාමය දැනටමත් රජය ක්‍රියාත්මක කිරීමේ මඟට පිළිපන් ය. ආර්ථික අවපාතයේ අහිතකර බලපෑම්වලින් මිදෙන්නට අවැසි ක්‍රියාමාර්ග ඒ ඔස්සේ සම්පාදනය වෙමින් තිබේ. 60 දශකයේදී ආර්ථික විශේෂඥයන්ගේ මතය වූයේ ලංකාවේ ඇති ගම්මාන තිස්දහසේ ම ආදායම් මාර්ග ඇති කරන්නේ නම් රට සංවර්ධනය කළ හැකි බව ය. මේ ඒ පුරෝකථනයේ බල ගැන්වීම කෙරෙන මොහොතයි. වසංගතයක් අවසානයේ දුගී බව, විරැකියාව, කුසගින්න ආදිය අත්විඳීමට සිදුවන බවට වන දැනීම අපට ඉතිහාසය පුරා ආගන්තුක නැත. එහෙත් සිය ජනතාව වෙනුවෙන් දිගුකාලීන සැලැස්මකට යන්නට ආණ්ඩුව පොහොසත් වීම මේ වසංගතයෙන් අප ලද වටිනාකමකි.
ඕනෑ ම දුෂ්කර කාලයක් ජයග්‍රහණයේ මාවත කරා මෙහෙයවන්නට අවශ්‍ය වන්නේ ශක්තිමත් සැලසුම් සහගත පදනමක් නිර්මාණය කිරීම ය. සංවිධාන හා ඉලක්කවලට ක්‍රියා කිරීම එහි මුඛ්‍ය පරමාර්ථයයි. ජපන් ආර්ථික විශේෂඥයකු වන සමූ මියොසොකී මේ ගැන අපූරු උදාහරණයක් සපයා තිබේ. ඔහු පවසන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය සිය ආර්ථික සංවර්ධන ඉලක්ක ජයගත්තේ සංවිධානාත්මක ව හා ඉලක්කගත ව වැඩ කිරීම නිසා බව ය. 70 දශකයේ ජපානයේ තේමා පාඨය වූයේ ආදායම දෙගුණ කරමු යන්න ය. 80 දශකය වෙනවිට ම එහි ප්‍රතිඵල විඳින්නට ජපානයට හැකි විණි. ලොව දෙවන ආර්ථික බලවතා බවට ඒ වන විට ජපානය පත් වී තිබිණි. කොවිඩ් වැනි වසංගත සේ ම ලෝක යුද්ධ වැනි අර්බුද ද ලොවට ආගන්තුක නැත. අවශ්‍ය වෙන්නේ මේවායෙන් අනතුරුව රට ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යන්නේ කෙසේ ද යන්න ගැන සැලසුමක් තිබීම ය.
2022 අප ඉදිරියේ ඇති අභියෝග රැසකි. කොවිඩ් මර්දනය, ආර්ථිකය බල ගැන්වීම, විදේශ ණය ගෙවීම, අධ්‍යාපනය ශක්තිමත් කිරීම, ජන ජීවිත යථාවත් කිරීම මෙන් ම බොරදියේ මාළු බානා අවස්ථාවාදීන්ගේ අවස්ථාවාදී ක්‍රියාවලින් ගැලවීම ද ඒ අතර ප්‍රමුඛ පෙළේ වෙයි. එන්නත්කරණය සාර්ථක ව නිම කරමින් තෙවන මාත්‍රාව ද බහුතරයකට ලබා දුන් ආණ්ඩුව; කොවිඩ් වෙනුවෙන් බාහිර ආරක්ෂාව සිය ජනතාවට ලබා දුන්නේ කඩිනමින් ය. ඒ සියල්ල ආණ්ඩුව කරන්නේ පවතින අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙනි. පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය කොවිඩ් නිසා පණ අදින තත්ත්වයකට පත් වුව ද යළි නඟා සිටුවීමට අවැසි කටයුතු ද මේ වන විට සම්පාදනය වෙමින් පවතී. රට පුරා යම් මට්ටමකට සංචාරකයන් පැමිණෙන අයුරු ද දැක ගත හැකි ය. පාතාලය මෙන් ම අපරාධ ක්‍රියාකාරකම් ද මර්දනය කරමින් පවතී. අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමාද වීම් ද අවම කර ගැනීමේ කඩිනම් ක්‍රියාමාර්ගයකට අධිකරණ ඇමැතිවරයා පුද්ගලික ව මැදිහත් වී තිබේ.
දශක ගණන් තිස්සේ ඇදෙමින් පවතින නොවිසිඳුණු නඩු හබ ඒ අනුව කඩිනමින් විසඳෙනු ඇත. අද දකුණට එක් නීතියකුත්, උතුරට තව නීතියකුත් නැත. එක රටකට එක නීතියක් යන්න ස්ථාපනය වී තිබේ. ඇරඹූ සියල්ල එක්තැන් ව එක්සිත් ව කරගෙන යෑමට අවැසි පුද්ගල ශක්තිය සම්පාදනය කළ හැක්කේ ඔබට ය. දියුණුවේ මාවත ගැන පළමු කැරැල්ල ඇති විය යුත්තේ තම මනසේ ය. ඒ එක් එක් ආලෝක පුංජ විසින් ලොව වෙනස් කිරීමේ ආලෝකය උත්පාදනය කරනු ඇත.
නව වසරක ඇරඹුමේ සිට අප ඔබට චිංගීස් අයිත්මාතව්ගේ ලෝක ප්‍රකට මේ කියමන සිහිපත් කරන්නේ මේ වැනි කාලයක් අවසන එන වසන්තය ගැන ඉඟි කරන්නට ය. ගුරු ගීතයේ මේ එන වැකිය තරම් මේ වැනි කාලයකට උචිත වන්නක් සිහිපත් නොවේ.
“ඔව්,ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි”
ඔබ සැමට සුබ නව වසරක් වේවා!