
රාජ්‍ය සේවය ගැන බොහෝ කතා මතුවී තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් මතු කරන්නේ මෙවර අයවැයෙන් විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ව වූ යෝජනාව ගැන ය. මේ ගැන සමාජය විවිධ කෝණවලින් බලති. ඇතමෙක් මෙය රාජ්‍ය සේවයට බරක් බව පවසන අතර ම තවකෙක් පවසන්නේ දීර්ඝකාලීන අත්දැකීම් ඔස්සේ තව දුරටත් සේවය කිරීමේ සාපල්‍යයක් ඇති බව ය. කෙසේ නමුත් ඕනෑ ම දෙයකට සේ ම මේ සඳහා ද විවිධ මත තිබීම සාමාන්‍ය කරුණකි.
මුදල් අමාත්‍යවරයා මේ සම්බන්ධ විමසීමකදී කියා තිබුණේ ජීවන ආයු අපේක්ෂාව ඉහළ යෑම සහ පරිණත අත්දැකීම් ප්‍රයෝජනයට ගනු වස් මේවැනි යෝජනාවක් ඉදිරිපත් කළ බව ය. එමෙන්ම ඔහු එහිදී අපේක්ෂා කරන්නේ රාජ්‍ය සේවය මහජන හිතකාමී සේවයක් වීම අත්‍යවශ්‍ය බවකි. ජනතාව රාජ්‍ය සේවයක් ලබා ගැනීමේ අරමුණින් අදාළ ආයතනවලට යෑමේදී ඒ සේවයෙන් ජනතාව සතුටු නොවන්නේ නම් ඒ සේවාව පැවතීමෙන් පලක් නැති නැති බව ජනපතිවරයා ස්වකීය ධූරයට පත් වූ මුල් අවස්ථාවේ සිට ම කියූවකි.
රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ස්වාධීන තීරණ ගැනීමට ඉඩ සැලසීම, සද්භාවයෙන් ඔවුන් ගනු ලබන තීරණවලට යුක්තිය ලබා දීම, මහජනතාවට බාධා වන ලෙස පවතින චක්‍රලේඛ ඉවත්කිරීම ආදී කරුණු එහිදී මතු කරනු ලැබිණි. එනයින් බලන කල රාජ්‍ය සේවාව රජයට බර නොවීමේ වගකීම ඇත්තේ රාජ්‍ය සේවයකයන් අත ම ය.
ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයක ම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් ආයතන පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ යුතු බව මුදල් අමාත්‍යවරයා පවසා තිබේ. එය ඉතා කාලෝචිත ක්‍රියාදාමයක් වන්නා සේම එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ද ඉටු කළ යුතු ව ඇත. සියලු රාජ්‍ය නිලධාරීන් රජයෙන් වැටුප් ලබා ගන්නවා සේම රජයට විවිධ අයුරින් බදු ගෙවන මහජනතාවට සේවය කිරීම යුතුකමක් බව ද මේ සඳහන් කිරීමේ ඇතුළත් ය.
රජය විවිධාකාරයෙන් රාජ්‍ය සේවාව ජනහිතකාමී එකක් කිරීමේ වෑයමේ නිරතව සිටී. රාජ්‍ය සේවකයන් ද ඒ පිළිබඳ සවිඥානිකව ස්වකීය යුතුකම් ඉටු කිරීමේ ලා මැදිහත් විය යුතුව තිබේ. මේ වනවිට නම් රාජ්‍ය සේවය ගැන බොහෝ දෙනකුට සතුටක් ඇත්දැයි සැක සහිත ය. රාජ්‍ය සේවයේ නිරත වන්නන්ට එහි නියැළීම ගැන හා එයින් ලබන වේතනය ගැන ද තෘප්තියක් නැත. කෙසේ වුව ද තමාගෙන් ඉටු විය යුතු යුතුකම ඉටු කරන්නේ නම් අනෙක් දේවල් සම්පාදනය කිරීමට රජය මැදිහත් වනු ඇති බවට වන විශ්වාසය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයෙන් පෙනේ.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් බොහෝ දෑ කරන්නට පිඹුරුපත් සකසන බැව් පෙනේ. ඒ අතර, රජයේ නිලධාරීන්ට යතුරු පැදි ලබා දීම සඳහා මූලික වියදමක් ලෙස රුපියල් මිලියන 500ක් වෙන් කිරීම, වන සංරක්ෂණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කිරීම, වන ජීවි ආරක්ෂණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව වසර 24කට පසු විසඳීම, විනය ක්‍රියා මාර්ගයන්ට ලක්ව නැති රාජ්‍ය සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය දැනට පවතින ඇගයීම් වාර්තාවෙන් තොරව නියමිත දිනට ලබා දීමට ක්‍රියා කිරීම ආදිය ප්‍රමුඛතා ලයිස්තුවේ වේ.
කොවිඩ් වසංගතයට රට ලක්ව මාස 21ක් ගත ව තිබේ. ආර්ථිකය, මානව සම්බන්ධතාවලට මෙන්ම පැවැත්මට ද අභියෝග කළ මේ වසංගතය විසින් රටට අහිමි කළ දෑ නැවත සැලසුම් සහගත ව දිනා ගත යුතු ව තිබේ. ඒ සඳහා දැවැන්ත සංවිධානාත්මක සැලසුමක් අවැසි ය. ඒ සැලැස්මේ මුල ම සිටින්නේ රාජ්‍ය සේවය ය. සංචාරක හා ඇඟලුම් කර්මාන්ත නඟා සිටුවීමේ නව වැඩපිළිෙවළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
දේශීය ආර්ථිකයක අරුණලු දසත විහිදෙමින් තිබේ. ලොව කොතැනවත් මේ වන විට අන් අයට සැපයීමට තරම් සම්පත් නැත. එනිසා සෑම රාජ්‍යයක් ම උත්සුක විය යුත්තේ තමා විසින් තම නිෂ්පාදනයට අවැසි මූලද්‍රව්‍ය තමා ම නිෂ්පාදනය කර ගැනීම වෙනුවෙනි. මෙවර අයවැය මුළුමනින් ම මේ වෙනුවෙන් නිර්මිත ය. ස්වදේශීය ආර්ථිකයක් හදා ගැනීමේ මූලික ම පාදමේ සිටිය යුතු වන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයකි. මේ සැලසුම ඒ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම ය. චින්තනය හා සැලසුම් සහගත කළමනාකරණය වැඩ කරන රජයකට අභරණ ය.
ලංකා සිවිල් සේවා පරිපාලනය‘ නම් කෘතියේ රාජ්‍ය නිලධාරියා යනු රාජ්‍ය මුදල් භාවිත කරන පුද්ගලයා ලෙස අර්ථ ගන්වා ඇත. රාජ්‍ය මුදල් භාවිත කිරීමේ අවසරය ඇති රාජ්‍ය නිලධාරීන් වෙන කිසියම්ම හෝ බන්ධනයකට, බලපෑමකට යටත් නොවිය යුතු බව මින් ගම්‍ය වේ. ඔවුන්ගේ ක්‍රියාපාටිපාටිය සැකසිය යුතු වන්නේ ව්‍යවස්ථාදායක අණ පනත් සහ රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛ පදනම් කරගෙන ය. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තුවට, විධායකයට, අධිකරණයට හා ජනතාවට ඍජුව වගකිව යුතු වෙයි. ඒ අනුව සිය වගකීම් අතර ලැදිකම, බිය හෝ වෙනත් බලපෑම්වලට නතුව සිදු කෙරෙන රාජකාරි පිළිබඳ ව කිසිදු රාජ්‍ය නිලධාරියකුට නිදහස් හෝ නිදොස් විය නොහැකි ය.
සිංගප්පුරුවේ ආර්ථික සංවර්ධන නිර්මාතෘ, හිටපු අගමැතිවරයා වූ ලී ක්වාන් යු ලංකාවට පැමිණි අවස්ථාවක කොළඹ නගරයේ එවකට පැවති දියුණු තත්ත්වය පිළිබඳ විස්මයට පත්ව සිංගප්පුරුව ද එවැනි රටක් බවට පත් කරන බවට කළ ප්‍රකාශය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේ ද නිරන්තර කතාබහට ලක් වන්නෙකි. මැලේසියාවෙන් වෙන් වූ පසුව ස්වභාවික සම්පත් පවා නැතිව කෙටි කාලයක් ඇතුළත ගෝලීය වශයෙන් අනෙකුත් රටවල් අබිබවා යමින් සංවර්ධනය වූ රටක් බවට පත්වීමේ දී අනුගමනය කළ රාජ්‍ය සේවය සම්බන්ධ උපාය මාර්ග බොහොමයක්, දැන් ලංකාවට ද වැදගත් වන බැව් අප අමතක කළ යුතු නැත. මෙහි මූලික ම වගකීම ඇත්තේ රාජ්‍ය සේවයට ය.
රාජ්‍ය සේවය සඳහා බලපෑ මූලික ගැටලු කිහිපයක් පසුගිය කාලයේ තිබිණි. ඒවා එකින් එක මේ වනවිට විසඳෙමින් පවතී. රාජ්‍ය සේවකයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ විශ්‍රාම ගැනීමේ කාලය අවුරුදු 65 දක්වා දීර්ඝ කර ඇත. දැන් රාජ්‍ය සේවකයන්ට ඉතිරි ව ඇත්තේ මහජන සේවාවක් ජනතාවට ඉටු කිරීමේ ක්‍රියාදාමය ම පමණී.
අන්ධකාරයට බිය දරුවකුට පහසුවෙන් සමාව දීමට අපට හැකි ය. නමුත් සැබෑ ජීවිතයේ ඛේදවාචකය නම් වැඩුණු මිනිසුන් ආලෝකයට බිය වීම ය කියා ප්ලේටෝ පවසා තිබේ. බොහෝ මිනිසුන් ආලෝකයට දියුණුවට බිය වෙති. ඒ එහි උපයෝගීතාව පිළිබඳ නොදැනුම්වත්කමිනි. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ද කිව යුතු වන්නේ එය ම ය. දැන් උදාවී ඇත්තේ වැඩ කළ යුතු හා වැඩ පෙන්විය යුතු කාලයක් විනා සැඟවිය යුතු හෝ වගකීම් විරහිත විය යුතු කාලයක් නොවේ. එය එසේ වනු ඇති බව සැමගේ විශ්වාසයයි.