
ශ්‍රී ලංකාවේ මංගල අය-වැය 1964 ජූලි 30 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ය. නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත 76 වැනි අය- වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂයන් ය.
සමස්ත ජනතාවගේ ම බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන අයවැයක් සිය පළමු අයවැය ඔස්සේ ම බැසිල් රාජපක්ෂයන් ඉදිරිපත් කරනු ඇති බව විශ්ලේෂක මතයයි.
පවතින කොවිඩ් වසංගතය හමුවේ රට යළි නඟා සිටුවීම සඳහා කළ හැකි සුවිශේෂ ම කාර්යය වන්නේ නිෂ්පාදන ආර්ථිකයක් සහිත ක්‍රමවේදයක් රටේ ස්ථාපිත කිරීම බව පසුගිය කාලය පුරා සපථ වූ කාරණයකි. රජයේ මූලික අවධානය යොමු වී ඇත්තේ දේශීය ආර්ථිකය කෙරෙහි ය. වඩාත් පැහැදිලිව කිවහොත් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය සංතෘප්ත මට්ටමකට ගෙන එමින් ඒ ඔස්සේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට උපාය මාර්ග සැකසීමයි. ග්‍රාමීය කෘෂි ආර්ථිකය දියුණු කිරීම, සේවා අංශය පුළුල් කිරීම, අපනයන ක්ෂේත්රය නඟා සිටුවීමට පියවර ගැනීම හා සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර දියුණු කිරීම අයවැය ලේඛනයේ ඉලක්ක ලෙස පවතී. සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර ද කර්මාන්ත ද නඟාසිටුවීමෙන් විශාල පිරිසකගේ ජීවන මට්ටම ස්ථාවර තත්ත්වයකට ගත හැකිය. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ව්‍යාපාර හා කර්මාන්ත දුර්වල මට්ටමකට ඇද වැටිණි. මේ වනවිට ලෝක වෙළෙඳපොළ අමුද්‍රව්‍ය හිඟයක් පවතින බැව් ලෝක ආර්ථික විශ්ලේෂක මතයයි. තවදුරටත් ලෝක ආර්ථිකය මත යැපීමට බලාපොරොත්තු වීම ඒ අතින් බලන විට ගැටලුවකි. දේශීය නිෂ්පාදන ආර්ථිකයක අවැසිතාව මතු වෙන්නේ ඒ නයින් බලන කල ය.
ජගත් ආර්ථික සංවිධානවල උපදේශනය වන්නේ ද කොවිඩ් තත්ත්වයක් ඇති සෑම රාජ්‍යයක් ම දේශීය සම්පත් හා දේශීය ආර්ථීක විභවතා කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්විය යුතු බව ය. මේ උපදේශනය රජය පිළිගෙන තිබේ. ඒ හැරත් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික සැලසුමට මූලික වශයෙන් පාදක කරගෙන ඇත්තේ ද දේශීය ආර්ථිකයේ පුළුල් හා විධිමත් සංවර්ධනයයි. ඒ අනුව රජයේ දිගුකාලීන ආර්ථික දැක්ම ද නව ආර්ථික උපාය මාර්ග ද කාලයේ තාලයට ඉතා හොඳින් ගැළපෙයි. මේ අයවැය ලේඛනය ළඟ බැලීම වෙනුවෙන් නොවේ; දීර්ඝකාලීන සංවර්ධනයේ අරුණලු උදෙසා ය. ආර්ථිකයේ නිත්‍යතාව යන්න සංවර්ධනයට අදාළ පිළිගත් සාධකයකි. අයවැය ලේඛනය සකස් වන්නේ ඒ සියල්ල පර්යාලෝකනය වන පරිද්දෙනි.
වඩා වැදගත් වන්නේ රටක් ලෙස අපට අප දෙපයෙන් නැඟී සිටීමට අවැසි ශක්තිය සම්පාදනයයි. නායකයකු සිටිය යුත්තේ ඒ වෙනුවෙනි. මේ ඒ පදනම සැකසීමේ ලා පසුබිම් මෙහෙයුමයි. එදා වසර 30ක යුද්ධයක් අවසන් කර උතුරේ මුඩුබිම් නැවත ගොවිබිම් බවට පත්කරමින්, උතුරේ පාසල් නැවත දරුවන්ගෙන් පිරවූ බැසිල් රාජපක්ෂයන්ගේ ප්‍රථම අයවැය ජනතා හිතවාදී අයවැයක් වීම අනිවාර්යය සාධකයක් වනු ඇතැයි සැමගේ අපේක්ෂාවයි. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය ආදිය ඔස්සේ එකල ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වෘද්ධි වේගය 7.2% දක්වා ඉහළ ගැනීමට ඔහුට හැකි විණි. එය එකල සමකාලීන දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධනයයි. බොහෝ අය අමතක කරන්නට උත්සාහ කළ ද සබුද්ධික ජනතාවට අමතක නොවන කාරණය නම් මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුවේ එකල ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූයේ බැසිල් රාජපක්ෂයන් බව ය. එනිසා මේ අයවැය ඔහුට ලංකාවේ ආර්ථික මට්ටම ඉහළ ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි.
පාන් ගෙඩිය තුනයි පනහට දෙන්නම් කියද්දී ඡන්දය දුන් කාලය දැන් ඉතිහාසයේ මතකයක් පමණී. සැමන් ටින් එකට, පරිප්පු දෙසිය පනහට, පිටි කිලෝ එකට ඡන්දය දෙන අය අද සොයා ගැනීමට උගහට ය. අනාගතය උදෙසා ආයෝජනමය නායකත්වයක් වැඩි ඡන්දයෙන් ජනතාව පත් කර ගත්තේ ඒ නිසා ය.
මෙරට බිහි වූ විශිෂ්ට ගණයේ මුදල් ඇමතිවරයකු සහ ආර්ථික විද්‍යාඥයකු ද වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පැවසූ දෙයක් මෙහිලා සඳහන් කළ යුතු යැයි සිතුණේ අරමුණුවල සාම්‍යයක් දිස් වෙන බැවිනි.
“සෞභාග්‍යය කරා ගමන් කිරීමට කෙටි පාරවල් නැහැ. යම් යම් මුදල් ඇමතිවරුන් හාස්කම් කරනු ඇතැයි සමහරු බලාපොරොත්තු වෙනවා. හාස්කම්වල යුගය දැන් අවසන්ව තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. ඇත්ත වශයෙන්ම දේශපාලනමය ආර්ථික කටයුතුවලදී කළ හැකි හාස්කමක් නැහැ. මා දන්නා එක ම හාස්කම නිතිපතා වෙහෙස වී වැඩ කිරීම පමණයි. කොටින් කියතොත් සමාජවාදී හාස්කමත් එයයි. නැවතත් මේ රට ශක්තිමත් හා බලවත් රටක් බවට පත් කිරීමට නම් ජීවිතයේ නොයෙක් අවස්ථාවල ආර්ථික ක්රමයේ නානා අංශවල සිටින අප සියලු දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. වර්තමාන පරම්පරාවේත් අනාගත පරම්පරාවේත් යහපත උදෙසා නිරන්තරයෙන්ම ඇපකැපවී සේවය කළ යුතුයි.”
අද ආචාර්ය ඇන්. ඇම් ලා අදහමින් කතා කරන අය ඊටත් වඩා දේශීයකරණය ගැන උනන්දු වූ අයවැයක් ඉදිරියේ කියන කතා අසන විට ජනතාව කට කොනකින් සිනහ වෙන්නේ ඒ නිසා ය.
අප්‍රිකාවේ මසායි මාරා ගෝත්‍රිකයන් අතර අපූරු කියමනක් තිබේ.
“ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් ධාන්‍ය වපුරන්න. ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් ගස් සිටුවන්න. ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයට ම නම් ජනතාවට අධ්‍යාපනය දෙන්න.” යනුවෙනි.
ආණ්ඩුව ජනතාව වෙනුවෙන් “ජීවිත කාලයක්” සැලසුම් කරමින් සිටින මේ වැනි මොහොතක දේශීය ආර්ථිකයක පදනමට මුල් තැන දෙන අයවැයක අරුණැල්ල පිළිබඳ ජනතාව අවදියෙන් යුතු ව සිටියි.
රටක් ලෙස අපට දැන් ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි. එදා කොළඹ දෙස බලා තමන්ගේ රට නිර්මාණය කිරීමට සිංගප්පූරුවේ නායකයන් කතිකා කළ මුත්, අද සිංගප්පූරුව දෙස බලා රට ගොඩනැගීමට අපට සිදු ව ඇත. එය අප මුහුණ පාන සරදමකි. අප සැලසුම් කළ යුත්තේ මෙවැනි කාරණා ගැන ධනාත්මකව දැකිය හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමට ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගුරු කරගත් අයවැයකි. මාළුවකු වෙනුවට බිලී පිත්තක් දෙන අයවැයක් අවැසි ව ඇත්තේ ඒ නිසා ය.