
පරිණත බව යනු නිකම්ම ලබා ගත හැකි දෙයක් නොවේ. ඒ සඳහා අත්දැකීම් අවශ්‍යය. කාලය ඇවැසිය. දැනුමද, බුද්ධියද අවශ්‍යය. විශේෂයෙන්ම රාජ්‍ය පාලනයේ පරිණතභාවය ලැබෙන්නේ මේ සියල්ල එක්තැන් වූ විටය. එබැවින්ම පරිණත රාජ්‍ය පාලකයකු රටකට හිමිවන්නේ අවස්ථානුකූලවය. එනම් ජනතාව නිවැරදි තේරීමක් කළ විටය.
ශ්‍රී ලංකාවේ ජනතාව එවැනි නිවැරදි තේරීමක් කර ඇති බව ලොවටම පැහැදිලි වූයේ පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සිදු කළ කතාවත් සමඟිනි.
ඔහු තම කතාව මඟින් ආමන්ත්‍රණය කර සිටියේ රැස්ව සිටි පිරිසට හෝ, ශ්‍රී ලාංකීය ප්‍රජාවට හෝ පමණක් නොවේය. සමස්ත ලෝක වාසින්ටය. තම කතාවෙන් පෙන්වා දුන්නේ කුඩා රටක් වුවද එක්සත්ව, එකමුතුව අසීරු අවස්ථාවන්හිදී නැඟී සිටීමට ධෛර්යය ගන්නේ කෙසේද යන්නය.
කොවිඩ් වසංගතය බලපෑවේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ. එමඟින් සමස්ත ලෝකයේම ආර්ථිකය පසුබෑමට ලක් විය. මේ වන විටත් පොදුවේ සෑම රටක්ම ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින අතර, සමස්ත ලෝකයක් ලෙස මේ දරුණු අවස්ථාව ජය ගැනීමට කළ යුතු දේ කෙරෙහි අවධානය යොමු කරමින් සිටිති. ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ කතාව ඉලක්ක වන්නේ එකී සියලු එරටවලටය. එකී සියලු රටවල රාජ්‍ය නායකයන්ටය.
නිසල මුහුදක නැවක් පදවාගෙන යෑමට ඕනෑම කපිතාන්වරයකුට හැකියාව ඇත. එහෙත් කුණාටු මුහුදක නැවක් සාර්ථකව ඉදිරියට පැදවිය හැකි වන්නේ පරිණත කපිතාන්වරයකුට පමණක්ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා මේ ලොවට පෙන්වා දෙමින් සිටින්නේ තමන් එබඳු වූ නායකයකු බවය. එක්සත් ජාතීන්ගේ 7වැනි මහා සම්මේලනය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මෙසේ පවසා සිටියේය.
‘සිය ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට, අප රටේ භූ උපාය මාර්ගික පිහිටීම සහ අපගේ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණු ශ්‍රම බළකාය උපරිම ප්‍රයෝජනයට ගැනීමට අපි අදහස් කරන්නෙමු.’
ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාවම නොව මේ කොටසම පමණක් අධ්‍යයනය කරමින් ක්‍රියාවේ යෙදවීමට කටයුතු කිරීම මේ අවස්ථාවේ රටක සාර්ථකත්වයට හේතු වනු ඇති බවට සැක නැත. එහි ඇත්තේ සෙසු ලෝකය සමඟ එක්ව ක්‍රියා කරමින්, ඒ හා තම රටේ සමස්තය එකට බැඳ තබන්නේ කෙසේද යන්නත් එමඟින් අර්බුදකාරී අවස්ථාවක රට ඉදිරියට ගෙන යමින් සාර්ථකත්වය අත් කර ගන්නේ කෙසේද යන්නත් හැර අන් කිසිවක් නොවේ.
එපමණක්ද නොව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා සමස්ත ලෝකයට යෝජනා කර සිටියේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික අවිනිශ්චිතතාව මඟ හරවා ගැනීමට ජගත් යාන්ත්‍රණයක් අවශ්‍ය කරන බවයි. එය එක් අතකින් ලෝකයේ රටවල් එකට බැඳ තැබීම වෙනුවෙන් කරන ලද යෝජනාවක් වෙයි.
අනික් අතින් භූ දේශපාලනික සීමාවන් ඉක්මවා යන මිත්‍රත්වයක් ඇති කිරීම සහ බලවත් රටවල බලපෑම අනවශ්‍ය ලෙස කුඩා රටවල් මත ඇති කිරීම වළක්වන විදග්ධ යෝජනාවක්ද වෙයි.
එමෙන්ම සෑම අවස්ථාවකදීම යෝජනා සමඟ ශ්‍රී ලංකාවද එකට බැඳ තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පවසා සිටියේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී අන්තර්ජාතික ප්‍රජාවගෙ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවයි.
අද ලෝකයේ කිසිදු රටකට තනිව පැවතිය නොහැකිය. ඇවැසි වන්නේ එකඟ නොවීම හෝ විරෝධය පෑම නොව, මිත්‍රත්වය හා නම්‍යශීලිත්වයයි.
එමඟින් ලැබෙන ප්‍රතිලාභ අන් කිසිවකුට නොව සමස්ත රටටමය. එබැවින් කිසිවකු සමඟ ගැටුම් ඇති කර නොගනිමින්, සුහඳව, මිත්‍රශීලීව කටයුතු කරමින් රට සමස්ත ලෝකයට විවර කර එහි ප්‍රතිලාභ රට වෙත ගෙන ඒමට කටයුතු කිරීම පරිණත රාජ්‍ය නායකයකුගෙන් මේ සියවසේදි සැක ගත හැකි ලක්ෂණයකි. පසුගිය එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලොවට පෙන්වා දුන්නේ තමන් එවන්වූ නායකයකු බවයි.
ලෝකයේ රටවල් අතර ඇති නැති පරතරය අන් කවරදාටත් වඩා පැහැදිලිව දිස් වුණු අවස්ථාවක් වන්නේ කොවිඩ් වසංගතය පැතිර ගිය අවස්ථාවයි. රටවල් වසා දැමීමේ, ආර්ථිකයන් ආරක්ෂා කර ගැනීමේ සිට එන්නත් ලබා ගැනීම දක්වා විවිධ රටවල් අසමානව මුහුණ දුන්නේ මේ වෙනස්කම් පැහැදිලිව ප්‍රදර්ශනය කරමිනි. මේ වන විටත් දුගී රටවල් වැඩි ප්‍රමාණයකින් සමන්විත අප්‍රිකා මහාද්වීපයේ සමස්ත ජනතාව අතින් එන්නත්කරණයට ලක්ව ඇත්තේ සියයට හතරක් වැනි සුළු ප්‍රමාණයක් වීම මේ සඳහා හොඳම උදාහරණයකි.
ලෝකයේ සෙසු රටවල් එන්නත් ලබා ගැනීමේ තරගයකට මුහුණ දී සිටියදී ශ්‍රී ලංකාව තම මිතුරු රටවල් ඇසුරෙන් රටට අවශ්‍ය එන්නත් තොග ලබා ගත්තේ වඩා පහසුවෙනි. සමස්ත ලෝකයම එකම විශ්ව ගම්මානයක්ව පැවතීමේදී රාජ්‍ය තාන්ත්‍රීකරණයේ පරිණතභාවය සඳහා තවත් උදාහරණ අවැසි නැති තරම්ය.
මේ පරිණතභාවය තවදුරටත් පෙන්නුම් කරමින් ගෝඨාභය රාජපක්ෂයන් තවදුරටත් පවසා සිටියේ ලොව සියලු ස්වෛරී රාජ්‍යන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා පහසුකම් සැලසීමට කටයුතු යෙදිය යුතු බවයි. එය තමා වෙනුවෙන් පමණක් කළ ප්‍රකාශයක් නොවේ. හඬක් නොමැති ලොව බොහෝ රටවල් වෙනුවෙන් කළ ප්‍රකාශයකි.
එමඟින් ශ්‍රී ලංකාව යනු තුන්වැනි ලෝකයේ රටවල පෙරගමන්කරුවකු වශයෙන් සෙසු රටවලට විද්‍යමාන වීම පුදුමයක් නොවේ.