ජීවන සුසුමට නව පුසුඹක් | සිළුමිණ

ජීවන සුසුමට නව පුසුඹක්

ඉස්සර සමහර ඡන්ද පෙළපාලිවල කෑගැහුවේ සීනි නැතිව තේ බොන්නම් සහල් නැතිව බත් කන්නම් කියා ය. ඒ කිවුවාට එක් වේලක් හෝ බත් නොලැබුණොත් මොනවා කෑවත් නොකෑවා වැනි යැයි කියන බහුතර පිරිසක් ද සිටිති. හාල් සේරුවට, පාන් ගෙඩියට මැතිවරණ කළ කාලයක් ද ඒවා මැතිවරණ වේදිකාවේ ජනප්‍රිය සටන්පාඨ වූ කාලයක් ද පසුවී ඇත්තේ ය. හැට හැත්තෑව දශක වෙන විට සහලින් රට පෝෂණය කරන බවට ඡන්ද පොරොන්දු දුන්නේ අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවේ ඒ පිළිබඳ සද්දෙට කියමිනි. අද මැතිවරණ වේදිකාවේ මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වැනි මාතෘකා ගැන කතා කළ ද එදා මාතෘකා වූයේ උක්ත කරුණු ය.

රජරට ට, උතුරට, දකුණට ඈ කොයියම්ම දෙසට ගියද නිල් පැහැ කුඹුරු යායවල් සැමතින් දිස්වෙන රටේ සහල් හිඟයක් ගැන මහා භීතියක් පසුගිය ආසන්න කාලයේ ඇති වීම ඛේදජනක ය. සහල් මිල අහස උසට ගොස් හාල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොව සුඛෝපභෝගී ද්‍රව්‍යයක් ගණයට ම වැටෙන්නට ගියේ ය. අඩුවට දෙන සහල්වල පණුවන් ඇතැයි කියූ කතා ද නොඇසුණා ම නොවේ.

ලෝකයේ වගා වපසරිය ගත්ත ද මිනිස් පරිභෝජිත ආහාර ලැයිස්තුවේ ගොයම් ඇත්තේ ප්‍රමුඛ තුන්වැනි තැන ය. තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල නම් සහල් ප්‍රමුඛ පෙළේ වැජඹෙන බවට වාදයක් නැත.

එවන් වූ ප්‍රමුඛත්වයක් සහිත සහල් සම්බන්ධයෙන් වෙළෙඳපොලේ හිඟයක් ඇතැයි මවා පාමින් මෙවන් වසංගත සමයෙක සාමාන්‍ය ජනතාව බිය වද්දන්නට පාර කැපූ මහා පරිමාණ මෝල් හිමියන්ට පසුගිය 8 වැනිදා වැඩ වැරදුණේ ය. ඒ අනුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පවතින සහල් තොග වහාම රජයට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙළෙඳ ඇමැතිවරයාට උපදෙස් ලබා දුන්නේ ය. වහාම ක්‍රියාත්මක වූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් හතක තිබූ සහල් කිලෝ ලක්ෂ 12ක් රජයට පවරා ගැනීමට ඒ අනුව ක්‍රියා කළේ ය.

නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න සහ සූරිය සහල් මෝල් සතුව තිබූ සහල් මෙසේ පවරා ගත් අතර, ඒවා ඒ අවස්ථාවේ ම ලොරි රථවලින් සතොස ගබඩා වෙත ගෙන එන ලදී.

අරලිය සහල් මෝල සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 4ක්, නිපුන සහල් මෝල සතුව තිබූ සහල් කිලෝ ලක්ෂයක්, නිව් රත්න සහල් මෝල සතුව තිබූ සහල් කිලෝ එක්ලක්ෂ හැත්තෑපන්දහසක්, ලත්පඳුර සහල් මෝල සතුව තිබූ හාල් කිලෝ හැත්තෑපන්දහසක් මෙසේ රජයට පවරා ගැණිනි. කෙසේ වුවත් රත්න සහල් මෝල සතු ව සහල් කිලෝ ලක්ෂ 410 ක් ඇති බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ. ඉන් පසුගිය දිනවල වෙළෙඳ පොළට නිකුත් කර තිබුණේ කිලෝ 60000 ක් පමණි. සිය ඒකාධිකාරය කැඩෙද්දි කලබල වූ මහා පරිමාණ හාල් මෝල්කරුවන් ඒ සඳහා දැඩි විරෝධය පෑ බව ද වාර්තා වේ. සහල් මෝල්කරුවන් විසින් කලක් තිස්සේ සිය බලපරාක්‍රමය පාමින් රජය හා අවසන ජනතාව පාලනය කරමින් පෙන්වන මෙකී බලපුළුවන්කාරකම කවුරුන් හෝ නැවැත්විය යුතු ව තිබේ. ඉදින් යළි මේ වසංගත සමයේ හෝ ජනතාවට සහන මිලකට සහල් ලැබෙනු ඇත. නැතිනම් තුන්වේල ම බත් කෑ අපේ ජනතාවට එක්වේලක් හෝ බත් කෑමට නොලැබෙනු ඇත.

මෙරට ප්‍රසිද්ධ කළ නව ගැසට් පත්‍රයට අනුව හාල්වලට උපරිම සිල්ලර මිල නාඩු රුපියල් 98 ට වඩා අලෙවි කිරීම තහනම් ය. එමෙන්ම සම්බා සහල් විකිණිය හැකි උපරිම මිල රුපියල් 103 ක් වන අතර කීරි සම්බා කිලෝ 1 ක් විකිණීමට හැකි උපරිම පාලන මිල රුපියල් 125 කි. කෙසේ වුවත් මෙම සහල් තොග රජය භාරයට පත්කර ඇත්තේ ඉහත සිල්ලර මිලට වඩා රුපියල් තුනක් අඩුවෙන් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

පසුගිය කාලයේ හිඟ වූයේ සහල් පමණක් නොවේ. සීනි හිඟයක් ද ඇතිවිණි. අපේ රටේ සීනි ඉල්ලුම වාර්ෂික ව මෙට්‍රික් ටොන් ලක්ෂ 5.5 - 6 ක් අතර වේ. මාසික සීනි පරිභෝජනයට මෙට්‍රික් ටොන් 35000 - 50000 අතර වේ.

දැනට මාසයකට පමණ පෙර සතොස සීනි කිලෝවක් වික්කේ රුපියල් 99 කට ය. නමුත් අගෝස්තු 28 පමණ වනවිට විවෘත වෙළෙඳ පොළේ සීනි කිලෝ 1 ක මිල රුපියල් 220 -240 අතර විය. 2021 අගෝස්තු අග සතියේ සතොස ශාඛාවල ද, සමුපකාරවල ද සීනි ඇටයක්වත් තිබුණේ නැත. නමුත් මේ වනවිට සීනි හිඟයට පිළියම් යොදා තිබේ. ඒ රටේ කෘත්‍රිම සීනි හිඟයක් මවා පාමින් අනවසර ලෙස සීනි ගබඩා කර සීනි මිල ඉහළ දැමීමට කටයුතු කළ කූට ව්‍යාපාරිකයන් ගණනාවක් නීතියේ රැහැනට අල්ලා ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකි වූ නිසා ය.

කිරිපිටි හිඟයක් ද ඇති වී තිබේ. ගෑස් හිඟයක් ද, ඉන්ධන හිඟයක් ද මැවුණේ ය. මේවා මැවෙන්නේ එක රැයෙනි. ආණ්ඩුව ද මේ මගඩි රිස්සුවේ නැත. අතරමැද වෙළෙන්දන් අත කැරකැවෙන මෙරට ජනතාවගේ ජීවන බර ගැන ආණ්ඩුව දැනුම්වත් බව ප්‍රකට කළ ප්‍රධාන ම සාධක වූයේ මෙකී වැටලීම් ය. ඊට පෙර රජය පාලන මිලක් නිකුත් කළ ද මහා පරිමාණ මෝල්කරුවන් ඊට සහය දක්වන බවක් පෙනුණේ නැත. රජය මේ ඒකාධිකාරයට අත ගසන්නට තීරණය කරන්නේ ඉන් පසුව ය. වී කිලෝ මිලියන ගණන් සඟවා ගෙන කෘත්‍රිම සහල් හිඟයක් මැවූ ජාවාරම්කාර වෙළෙන්දන්ට වැඩ වරදින්නේ ඒ අනුව ය. මේ ඒකාධිකාරියට අත ගසන්නට කිසිදු ආණ්ඩුවක් උත්සුක නොවූයේ ඔවුන් අත්පත් කරගත් බලය හා ධනය නිසා ය. එහෙත් ජනතාවාදී ආණ්ඩුවකට ඒවා ප්‍රශ්න නොවන බව වත්මන් ආණ්ඩුව පසක් කළේ ය. වසර 30ක් පැවැති යුද්ධයටත් වඩා යුද්ධයක් මහා පරිමාණ වෙළෙන්දන් ජාති ආගම් කුල බේදයකින් තොරව සමස්ත ජනයාගේ බඩ වියතට කර ඇති බැව් පසක් වූයේ මේ හැංගූ සහල් දුටු විට ය.

ශක්‍රයාගේ පුතා ට විසඳිය නොහැක්කක් නැතැයි කියමනක් තිබේ. එහෙත් ශක්‍රයාගේ පුතා වන වයිමාටවත් විසඳිය නොහැකි ප්‍රශ්න මිනිසුන්ට තිබෙන බව දැන් දැන් පිළිගන්නට වෙන්නේ මේ වෙන දේවල් දෙස බලන විට ය. රටක ආර්ථිකය, දිළිදුකම පිටුදැකීමේ ක්‍රියාවලිය වැනි දේ නිසියාකාර ව දැනුම්වත්භාවයකින් නොකෙරෙන්නේ නම් තිස්තුන් කෝටියක් දෙවිවරුන් වැඩම කළත් අපේ ප්‍රශ්න නම් විසඳන්නට පාරක් විවර නොවන්නේ ය.

එනිසා මේ ඇරඹූ මඟ ශක්තිමත් කිරීමට ජනතා සහයෝගය අවැසි ය. සහල් මෝල් හිමියන් වේවා; වෙන යම් මහා පරිමාණ වෙළෙන්දන් වේවා මේ කිසිවකුත් සාමාන්‍ය ජනතාව දෙස සානුකම්පිත ව බලන්නේ නැත. මස් රාත්තල ම ඉල්ලන මේ වෙළෙන්දන්ට අවැසි මඩිය තර කරගැනීම පමණී. එනිසා මෙතෙක් කිසිදු ආණ්ඩුවක් නොගත් මේ ජනතාවාදී පියවරට සහයෝගය දීම සැමගේ යුතුකමකි; වගකීමකි.

Comments