
මුළු රටට ම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කෙරුණේ අගෝස්තු 20 දා ය. ඒ ලබන අගෝස්තු 30 අලුයම 4 දක්වා ය. ඒ කාලය ඇතුළත අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වෙන අතර, අධිවේගී මාර්ග, දිවයිනේ සියලු ම මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම් ද දිගටම ක්‍රියාත්මක වීමට නියමිත ය. එමෙන්ම ඖෂධ බෙදාහැරීම්, කෘෂිකාර්මික ගැටලු හා අත්‍යවශ්‍ය සේවාහි නිරත අයට සිය කාර්යයන් කරගෙන යෑමට බාධාවක් නැත.
අපි ගිනි කන්දක මුවවිට වාඩිවී සිටිමු. රත් වූ ලාවා කොයිමොහොතේ හෝ ගලාවිත් සිරුරු මතින් ගලා යෑමට ප්‍රථම අප කුමක් හෝ කළ යුතුව ඇත. ස්වයං නිවාස අඩස්සියකට නතුව ජීවිතය පිළිබඳ ව අපේක්ෂා වෙනස් ම තැනක ප්‍රතිගබඩා කර තිබේ. දිවයිනට ම බලපෑ නිරෝධායන ඇඳිරිනීතිය නොතකා රට ම වෙළාගනිමින් සිටින වසංගත වයිරසයක් සමඟ දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවිත හානි සංඛ්‍යාව සිත කම්පනයට පත් කරයි.
මේ අතර කොවිඩ් රෝගයෙන් මියගිය 5,775 දෙනකු අතරින් 92%ක් එනම් 5,295 දෙනෙකු කිසිම එන්නතක් ලබාගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පසුගියදා අනාවරණය කළේ ය. රෝගයට ගොදුරු ව මියගිය අයගෙන් 77%ක් වයස අවුරුදු 60 ඉක්ම වූ අය වෙති. වයස අවුරුදු 60ට වැඩි අයගෙන් 85%ක් ම බෝ නොවන රෝගවලින් පෙළුණු අය බව අනාවරණය වී ඇත. එමෙන්ම කොවිඩ් රෝගයට ගොදුරුවී මියගිය සමස්ත පිරිසෙන් 64%ක් බෝ නොවන රෝගවලින් පෙළුණ අය වේ. එනිසා එන්නත ලබා ගැනීම ගැන සියලු ම ජනතාව සවිඥානික වීම වැදගත් ය. මේ අනුව දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් විණි. ඒ අතර වසංගතයක් මැඬ පැවැත්වීමට රජය පමණක් ක්‍රියාමාර්ග ගෙන පලක් නොවන බව ද ජනතා වගකීම ඉටු කිරීමට ජනතාව ද පෙළ ගැසිය යුතු බව ද මතක් කළ යුතු ව තිබේ.
අද කොරෝනාව නිසා තිබුණු ආර්ථිකයත් කබලෙන් ලිපට වැටී තිබේ; නැත්නම් පැදුරෙන් බිමට තල්ලු වී ඇත. මේ තත්ත්වය අපට පමණක් පොදු වූවක් නොවේ. ලෝක ආර්ථිකය ද මෙසේ ම ය. කොරෝනා නිසා ලෝකයේ මිලියන 60කට අධික පිරිසක් අන්ත දිළිඳු බවට පත් වෙතැයි ලෝක බැංකුව කියයි. පුද්ගලයකුගේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.90කට වඩා අඩුවීම අන්ත දිළිඳු බවේ මිනුම් දඬුව ලෙස ලෝක බැංකුව විග්‍රහ කරයි. ඒ අනුව පසුගිය වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 5% කින් පමණ පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුවේ සභාපතිවරයා පවසයි.
බටහිර රටවල් වැඩිහිටි ජනගහණය පාලනය කිරීමට කොවිඩ් 19 ආශීර්වාදයක් යැයි නොකියා කියන වාතාවරණයක; අප වැනි ආසියාතික රටවල් උත්සාහ කරනුයේ කෙසේ හෝ මානව සම්පත රැක ගැනීමට ය. එනිසාම අපේ ශ්‍රම සම්පත රැකුණු නිසා ඉදිරියේ ඇති ආර්ථික විපත අවම කරගැනීමට අපට හැකිවනු ඇත. කෙසේ කොහොම කීව ද ඉදිරියේදී බරපතළ ආර්ථික පසුබෑමකට ලක්වීමට නම් සිදුවනු ඒකාන්ත ය. එබැවින් අප සිතිය යුත්තේ එය අවම කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ ව ය. වයිරසයේ බලපෑම අඩුවන තරමට ආර්ථික අවපාතය අඩුවනු ඇත. එනිසා මේ කරගෙන යන සාර්ථක ක්‍රමවේදය දිගින් දිගට ම පවත්වා ගෙන වයිරසය පැතිරීමේ අවධානමෙන් අප මිදෙන්නේ නම් ආර්ථිකය ගොඩගැනීම අසීරු නොවනු ඇත. වඩාත් ප්‍රවේශම් විය යුතු කාර්යය වන්නේ රටේ ස්වදේශීය නිෂ්පාදන ක්‍රියාවලිය අක්‍රිය නොකර වසංගතය පාලනය කිරීම ය.
ගෝලීය ශ්‍රම බලකායෙන් 81% ක සේවා ස්ථාන මේ මොහොත වනවිට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත. ස්ථිරව හෝ තාවකාලික ව මේවායෙහි වැඩ කරන සේවකයන් ද ඉවත් කර ඇත. ඔවුන්ගේ රැකියාවේ පැවැත්ම තහවරු කිරීම පිළිබඳ කිසිම ප්‍රායෝගික බලාපොරොත්තුවක් නැත. මේ අනුව දළ ඇස්තමේන්තු ප්‍රකාර ව රැකියා අහිමි වන ලෝක ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසන පරිද්දෙන් කෝටි 20කට අධික ය.
සැලසුමක් ඇතිව වැඩ කිරීමෙන් ඕනෑම දුෂ්කර තත්ත්වයක් මඟ හරවා ගත හැකි බව සත්‍යයකි. ජපන් ආර්ථික විශේෂඥයකු වූ සමූ මියොසොකී පෙන්වා දෙන අන්දමට ජපානය සංවර්ධන ඉලක්ක ජය ගත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු මුහුණ දුන් දුෂ්කර ම කාලය තුළ සංවිධානගත වීමෙන් හා ඉලක්ක සඳහා වැඩ කිරීමෙන් ය. වසංගත, ස්වාභාවික විපත්, බලශක්ති අර්බුද හා දේශපාලන විපර්යාස කොයි රටකට වුව ද අලුත් දේවල් නොවේ. සිදු විය යුත්තේ ඒවාට සාර්ථක ව මුහුණ දෙමින් ස්වකීය ඉලක්ක කරා ගමන් කිරීම ය.
ආර්ථිකය නඩත්තු කරගත නොහැකි වන ප්‍රධාන බලවේග අතර ප්‍රමුඛ තැනක් ගන්නේ වසංගත පැතිරීම ය. මෙවැනි වසංගතයක් අවසන් වූ ඉනික්බිති කාලයක් තිස්සේ මිනිස්සු විරැකියාව, දුගී බව හා කුසගින්න අත්විඳිනු ලැබීම අනිවාර්ය කරුණකි.
ඔක්සිජන් මොකටද කියූ අයට සොබාදහම ඔක්සිජන් ගැන පාඩම කියා දෙමින් සිටී. ඔක්සිජනීකෘත රුධිරය සැපයීම විනාඩි කිහිපයක් අක්‍රිය වුණොත් මරණය උරුම වේ. ඔක්සිජන් නැති විට කොන්ක්‍රීට් ගොඩනැගිලි දූවිලි බවට හැරේ; ඔක්සිජන් නැති විට ජීවීන් පුපුරා යයි. ඔක්සිජන් කියන්නේ එහෙම එකක් වුවත්, අගය තේරෙන්නට නම් නැති වන්නට ම අවශ්‍ය විය. මුදල් වටිනාකම වසංගත හමුවේ ක්‍රමයෙන් ක්ෂය වී යන්නේ එලෙසින් ය. ව්‍යසන ලෙස හඳුනා ගන්නා මෙවැනි සිදුවීම්වලින් අනතුරුව සමස්ථ මානව ප්‍රජාවේ හැසිරීම් රිද්මය මෙන්ම චින්තන රටාව ද අර්ථාන්විත වෙනසකට ලක් වේ යැයි අපට උපකල්පනය කිරීමට හැක්කේ මේ වැනි තත්ත්ව යටතේ ය.
අප රැකෙනා අතරතුරේ අපේ ප්‍රියයන්, රෝගීන්, මහලු අය, සෞඛ්‍ය සේවකයන් හැකි තරම් සංඛ්‍යාවක් ආරක්ෂා කරගැනීම වසංගතය පිටුදැකීමේ අරගලයේ ම කොටසකි. අප කොවිඩ්-19 වැලඳ නොගත යුත්තේ ඒ නිසා ය. එහෙත්, වයිරසයට බියෙන් සැඟවෙන්නට ද අපට බැරි ය.කොවිඩ්-19 හමුවේ අප දන්නා සත්‍ය එය ය. එය ජීවන විලාසයක් වී තිබේ. එය අද මේ මොහොතේ පවා අප අරගල කරන්නේ ඒ වෙනුවෙනි.
ඔබ, ඔබේ සමීපතමයන්ට ආදරය කරන්නේ නම් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවළට උපරිම සහය දිය යුතුය. මේ වසංගතය පරාජය කිරීමට ඇති එක ම ක්‍රියාමාර්ගය එය පමණී.