ආනයනික කිරිපිටිවලට නාඩන් පුතුනේ | සිළුමිණ

ආනයනික කිරිපිටිවලට නාඩන් පුතුනේ

කොවිඩ් වසංගතයෙන් රට ම පීඩාවට පත් වී තිබුණ ද පසුගිය සතියක කාලය ඇතුළත මිනිසුන්ට කොවිඩ් අමතක කරවන කරුණු දෙකක් පෙළ ගැසී තිබිණි. ඒ ගෑස් පෙන්වූ ගෑස් සහ කිරිපිටි ය. කිරිපිටි සොයන පාරිභෝගිකයෝ පසුගිය දින කිහිපයේ සුලබ දසුනක් වූහ. බොහෝ දෙනෙක් මැසිවිලි නැඟුවේ අපට නැතත් අපේ දරුවන්ට හරි කිරිපිටි දෙන්න කියා ය. කිරිපිටි ඒතරම් ම අර්බුදයක් ව රට ම වෙළා ගත්තේය. මේ පවතින අර්බුදය නිසා කිරිපිටි බදු සහන ලබා දීමට ද ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය. කිරිපිටි මිල වැඩි නොකර රජයට ලබාගන්නා ආදායම අඩු කර හෝ ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණෙන් මේ බද්ද ඉවත් කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඒ අනුව දැනුම් දෙනු ලැබීය.

කිරිපිටි දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය ගණයේ ලා සලකන ආහාර ම ය අතිරේකයක් බවට වත්මන් ජනතාව පත් කර ගෙන සිටිති. කිරිපිටි හිඟය ගැන අදහස් දක්වන බොහෝ අය කියන්නේ තමන්ට කහට කෝප්පයක් හෝ බොන්නට හැකි වුණත් දරුවන්ට පිටිකිරි නොදී සිටිය නොහැකි බව ය. මේ සියල්ලට බහුජාතික සමාගම් විසින් කිරිපිටි සඳහා එකතු කර ඇති දැවැන්ත ප්‍රචාරය එකී වටිනාකමට හේතු වී තිබේ.

අද කිරිපිටි අත්‍යවශ්‍ය පරම්පරාවට පෙර පරම්පරාව එකී අවශ්‍යතාව පූර්ණය කරගත් ආකාරය ගැන අවධානය යොමු කිරීම වටී. අතීතයේ බොහෝ ගෙවල්වල කිරි වැස්සියෙක් සිටියේ ය. දොවාගත් සැණින් බීමට නැවුම් හා පිරිසිදු එළකිරි බොහෝ ගෙවල්වල විය. නැතිනම් ළඟ ම ගෙදරින් සාමාන්‍ය මුදලකට මිලදී ගත හැකිව තිබිණි. කිරි වලට අමතරව පස්ගෝ රසම මේ ගෙවල්හි තිබුණේය. ගවමස් නොකෑමේ සංස්කෘතිය අපට ආවේ එසේ ය. කිරි එළදෙනට සැලකුවේ දෙවියන්ට වගේය.

බහුජාතික සමාගම් විසින් එක්කරනවා යැයි පවසන කැල්සියම් ප්‍රමුඛ එකතු වටිනාකම් සියල්ල මේ නැවුම් කිරිවල ස්වභාවිකව ම තිබිණි. කල්තබා ගත යුතු වූයේ නම් මුදවා කිරි ලෙස නැවත ප්‍රතිනිෂ්පාදනය කරන්නට මේ අය දැන සිටියහ. ඒකාලයේ මේ තරම් ලෙඩ රෝග තිබුණේ ද නැත. දියවැඩියාව හෝ අධික ස්ථුලතාව වැනි දේවල් ආවේ මේ නව වටිනාකම් යැයි කියා ගන්නා දෑ එක්කර සැදුවා යැයි පවසන කිරිපිටිවලය. කිරිපිටි කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා කිරි ලීටර් 8 ක් අවශ්‍ය වේ. කිරිපිටි කිලෝ එකකින් සෑදිය හැකි තේ කෝප්ප ගණන 40කි. එහෙත් තේ කෝප්ප 40ක් සාදා ගැනීම සඳහා දියර කිරි අවශ්‍ය වෙන්නේ ලීටර් දෙකහමාරක් පමණකි. එනිසා දියර කිරි පාවිච්චිය සෞඛ්‍ය සම්පන්න සේ ම පිරිමැසුම්දායක ද වෙයි.

මේ වනවිට තත්ත්වය වෙනස් ය. කෙතරම් වෙනස් ද කියනවා නම් දියර කිරි ගෙදරටම ගෙනත් දෙනවා යැයි කීව ද ඒවා පිරිසිදු ද දන්නේ නෑ කියන්නට තරම් ජනතාව ව්‍යාජයෙන් අන්ධ වී සිටිති. ඕනෑම නිෂ්පාදනයක් ලස්සනට අසුරා ලස්සන නමක් දමා විටමින් ලයිස්තුවක් දමා දෙන්නේ නම් දොහොත් මුදුන් දී ඒවා වැලඳගන්නට බලා සිටින පිරිසක් නිර්මාණය වී තිබේ. එහෙත් ඔවුන් නොදන්නා කරුණ වන්නේ මේ කිරිපිටි නිපදවන රටවල් ඒවා නොබොන බව ය. ඔවුන් බොන්නේ ද දියර කිරි ය. දේශීය නිෂ්පාදන ගැන විශ්වාසයක් නොතබන පිරිසක් සිටිනතාක් කල් දේශීයත්වයක් ගැන අපට බලාපොරොත්තු තබාගත නොහැකි ය.

කිරිපිටි හිඟයකට ලංකාව මුහුණ දෙමින් සිටින්නේ කිරිපිටි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තමන් රජයෙන් කළ ඉල්ලීමට රජය ඇහුම්කන් නොදීම නිසා බව කිරිපිටි ආනයනික සමාගම් පවසති. දේශීය කිරි නිෂ්පාදනයෙන් රටේ කිරිපිටි අවශ්‍යතාව පිරිමැහෙන්නේ සියයට විස්සක් පමණය. දේශීය නම් යටතේ ආනයනික කිරිපිටි ඇසුරුම් කරන ප්‍රතිශතය 80%ක් වේ. 2018 වසරේ ආනයනික කිරි ආහාරවල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 333ක් වන අතර එය 2019 දී ඇමරිකන් ඩොලර් මිලියන 312ක් වේ. ගිය වසර වනවිට මෙකී වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 303ක් වී තිබේ.

ආනයන වියදම අඩු කරගැනීම ඕනෑ ම රජයක අපේක්ෂාවකි. එහෙත් ඊට දීර්ඝකාලීන විසඳුම් හා යෝජනා සේ ම හයිය ද නැත. වර්තමාන රජය බලයට පත්වූ විට මේ ප්‍රශ්නය දෙස බැලුවේ දේශීය ආර්ථිකයක් සේම වසවිසෙන් තොර රටක් යන ජනතාවාදී ඇසකිනි. ඒ අනුව රජය මේ සඳහා ක්‍රම දෙකක් අනුගමනය කළේ ය.

ඒ අනුව ඇතැම් භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ අතර, ඇතැම් භාණ්ඩ සඳහා විශේෂිත බද්දක් පනවා ආනයනය අකර්මණ්‍ය කිරීම ඒ අතර වේ. මේ ක්‍රමවේද 2021 අයවැය ලේඛනය මඟින් මෙන්ම එයට පෙර 2020 වසරේ මුල සිටම ක්‍රියාත්මක කළ බව දක්නට හැකි විය. මේ වන විට වාහන ආනයනය මුළුමනින්ම තහනම් කළ අතර, වාහන ආනයනය සඳහා පසුගිය සමයේ නිකුත් කළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය ද නවතා ඇත. එසේම 2020 මැයි මස 07 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් විසින් 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාර ව ආනයනය කරන ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවූයේ ය.

එමගින් බොහෝ ආනයනික ආහාර ද්‍රව්‍යවල බද්ද සියයට 200ක පමණ ප්‍රමාණයකින් ඉහළ දැමුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම විශාල වශයෙන් අඩු විය.

මේ වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව දේශීය වෙළෙඳපොළට කිරිපිටි තොග ගෙන්වීම සඳහා රජය පියවර ගෙන තිබේ. එබැවින් රාක්ක පීරමින් කිරිපිටි සොයන සංස්කෘතිය අවසන් වනු ඇත. එහෙත් දිගින් දිගට ම බහුජාතික සමාගම්; ජනතා අවශ්‍යතාව බිල්ලට දමා කරන මේ මිල උච්ඡාවචනය කිරීම්හි නැවතීමක් ද දැකිය යුතුව තිබේ.

මේ සඳහා කරුණු දෙකක් සම්පාදනය විය යුතුය. එකක් වන්නේ ජනතාවගේ චින්තනමය දියුණුවයි; අනෙක වන්නේ දේශීය නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලක් සැකසීමයි. එකක් තියෙන්නේ අප අතේ ය. එනම් චින්තනමය වෙනස ඇති කරගත යුත්තේ අප ය. අනෙක ඇත්තේ රජය අතේ ය.

වත්මන් ආණ්ඩුව ඒ සඳහා ක්‍රියා පිළිවෙත් කිහිපයක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කරන්නට මුල පිරුවේ ය. ඒ අතරින් කාබනික පොහොර ප්‍රවර්ධන යෝජනාව හා ආනයනික කිරිපිටි තහනම් කිරීමට උත්සුක වීම වටනේ ය. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනතා සහයෝගය ආණ්ඩුවට හිමි විය යුතු ම ය.

Comments