
ගෙවී යමින් පවතින්නේ වෙසක් සතියයි. අප විසින් සමරනු ලැබුවේ 2565 වැනි බුද්ධ වර්ෂයයි. එමෙන්ම සිද්ධාර්ථ බෝධිසත්වයන් සම්බුද්ධත්වයට පත්වීමෙන් 2610 වැනි වසර ය. සම්බුද්ධාලෝකයෙන් සිත පහන් වෙන දාන, ශීල, පාරමිතා පුරන වෙසක් සමය මෙසේ නිහඬ ව ම ගෙවී ගියේය. හන්දියක් හන්දියක් ගානේ වෙනදා ඇහෙන වෙසක් ගී හඬ මෙදා වෙසඟේ ඇසුණේ නැත.
වෙසක් ගී හා තොරණ විරිඳු හඬ නැති වෙසක් පොහොය කොහා නැති අවුරුද්ද වගේ ය. අවුරුද්ද පුරා සංවිධානය කරන දාන ශීල භාවනා වැඩසටහන්වලට මෙදා ඉඩක් ලැබුණේ ද නැත. වෙනදා පැවැත්වෙන දන්සැල් ද නැත. කොරෝනා වසංගතය විසින් ජන ජීවිතය තුෂ්නිම්භූත කර තිබේ.
කොරෝනා යනු වසංගතයක් පමණක් ම නොවේ යැයි අර්ථකථනය කරන්නේ ඒ නිසා ය. එය ලෝකයේ බොහෝ සළුපිළි උනා දැමූ වසංගතකි. මිනිසුන්ගේ අචාරධර්ම, ආගමික චින්තනය, ගති පැවතුම්, චර්යා රටා, මිථ්‍යාව, දේශපාලනය උඩුයටිකුරු කළ වසංගතයකි.
ලෝකයේ පැවැත්ම රැඳී ඇත්තේ මිනිසුන්ගේ දෑත් මත බව මතක් කර දුන් වසංගතයකි. වසංගතයක් අවසානයේ දුගී බව, විරැකියාව, කුසගින්න ආදිය අත්විඳීමට සිදුවන බවට වන දැනීම අපට ඉතිහාසය පුරා ආගන්තුක නැත. නැඟී සිටිය යුත්තේ ද අප විසින් ම ය. නැඟී සිටින්නේ කවර ලෙසකින් ද යන්න පමණක් සිතිය යුතු ව තිබේ.
බිත්ති හතරට වටවී සමරන දෙවන වෙසක් පොහොය ද ඉක්ම යෑමෙන් ඉනික්බිති තවමත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් වී නැත.
වෙනදා මෙන් වීදියක් වීදියක් ගානේ කූඩු පහන් පත්තු නොවුණ ද සෑම නිවෙසක ම සිය හැකියාව අනුව වෙසක් සමරන ආකාරය දක්නට ලැබිණි.
සිය නිවෙස අවටින් සොයාගත හැකි බට හෝ අදාළ වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන තැනූ වෙසක් කූඩුවලින් නිවෙස් සැරසී තිබිණි. මව, පියා හා දරුවන් සාලේ බිම වාඩි වී සකසන වෙසක් කූඩුවෙන්, සරල තොරණෙන්, සැරසිල්ලෙන් නිර්මාණය වන ආගමික හා සහජීවන ක්‍රියාවලිය අපට සභ්‍යත්වයේ පාඩම උගන්වයි.
වෙසක් කූඩුවකට විශාල පිරිවැයක් නොදැරුවත් විශාල පරිශ්‍රමයක් හා කාලයක් වැය කිරීමට සිදු වේ. මෙය සාමූහික කාල පරිශ්‍රමයකි. ආගමික සහයෝගයට අමතර ව පවුලේ සහයෝගය ද, සුහදතාව ද මින් වර්ධනය වේ. වෙසක් කූඩුව කියාදෙන ජීවිතේ අනිත්‍යතාව පිළිබඳ කතාව දරුවෝ මේ සමයේ ඕනෑවටත් වඩා විඳිති. සැමතින් රෝ බිය පැතිර යද්දී ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ පාඩම වෙන කවර වෙසක් සමයකටත් වඩා සැම සිත් සසල කළේ ය. අස්පර්ශනීය උරුම විඥානය විසින් අප වෙත දායාද කළ දැනුම එයයි.
ආගමික සංවරයක්, ශික්ෂණයක් ඇති ඕනෑම කෙනකුට තමන් හමුවේ ඇති අවධානම ගැන පැහැදිලි සවිඥානිකත්වයක් තිබේ. ඒ ශික්ෂිත බව මේ වෙසක් පොහොය දිනයේ මැනවින් ප්‍රදර්ශිත ය. වෙසක් සොමි කිරණින් සිත නිවී විපතින් නැඟිටින්නට ප්‍රඥාවේ එළි දැල්වීම අත්‍යවශ්‍ය කරුණකි. කයිනුත්, සිතෙනුත් සුවපත් වූ මඟක් උදා කර ගැන්මට අන් පිහිටක් නැත.
දානය - ප්‍රිය වචනය - අර්ථචර්යාව - සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් මවුපිය - දරු දෙපාර්ශ්වය ම සංග්‍රහ කළ යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ය. කොරෝනා වසංගතය විසින් ලෝකයට උගන්වන ලද පාඩම් අතර මිනිසාගේ අනවරත ආශාවට පැනවූ ස්වභාවික බාධකය සුළු කොට තැකිය යුතු නැත. මිනිසාගේ දිශානතිය හා වේගය ඉන් පාලනය කරනු ලැබ තිබේ.
විපත සැපතකට හරවාගත හැකි උපාය මාර්ගය දේශනා කළ බුදුරදුන් අනුදත් ධර්මවිජය ජීවන ප්‍රතිපදාවට අප නොපමා ව බැසගත යුත්තේ ඒ නිසා ය. දේශීය ආර්ථිකයට මුල් තැන දෙමින් ස්වයංපෝෂිත ආර්ථිකයේ දියුණුව කරා යන ගමනේ දී මිනිසා ලෙඩ කරන රසායනික පොහොර භාවිතය නතර කොට කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රශංසනීය ය.
ගොවි ජනතාව ටික කලක් අපහසු තත්ත්වයකට මුහුණ දිය හැකි වුව ද දීර්ඝකාලීන ව ඉන් ජනතාවට ලැබෙන ශාන්තිය වටහාගත හැක්කේ එහි ප්‍රතිඵල භුක්ති විඳින විට ය.
මේවා නිරන්තර බෞද්ධ දර්ශනයේ සඳහන් දෑ ය. ධාර්මික ව ඉපැයීම හා පරිභෝජනය ගැන එහි මැනවින් විග්‍රහ වෙන්නේ ය.
පැහැදිලි දිශානතියක් හා දැක්මක් ඔස්සේ ආර්ථිකය නඩත්තු කරගත නොහැකි වන ප්‍රධාන බලවේග අතර ප්‍රමුඛ තැනක් ගන්නේ වසංගත පැතිරීම ය. මෙවැනි වසංගතයක් අවසන් වූ ඉනික්බිති කාලයක් තිස්සේ මිනිස්සු විරැකියාව, දුගී බව හා කුසගින්න අත්විඳිනු ලැබීම අනිවාර්ය කරුණකි. ඉදින් ඉතිහාසය යළිත් පුනරුච්ඡාරණය වෙමින් ඇත. සොබාදහමේ යථාර්ථය ගෝලීය මානව සමාජයේ අධිමානය බිඳ දමමින් සිටියි.
මේ ව්‍යසනය යම් මොහොතක නිමා වනු ඇත. අනතුරුව ශේෂ වනු ඇත්තේ ලෝකය අලුතින් නිර්වචනය කළ හැකි අප්‍රමාණ අත්දැකීමක් සහිත මිනිස් සමූහයකි. ඒ චින්තන ප්‍රවාහය වඩාත් සාධාරණ ලෝකයක් ගොඩනඟනු ඇති බවට වන සුබවාදී අදහස දරමින් මේ මොහොතේ ජීවත් වීම පමණක් ප්‍රමාණවත් ය. බුදු දහමේ සම්මා සතිය කියන්නේ එයට ය.
කොවිඩ් තෙවැනි රැල්ල රට පුරා පැතිරෙද්දී එළැඹි 2565 වැනි වෙසක් ජයන්තිය ආමිස පූජාවෙන් ද ඊටත් වඩා ප්‍රතිපත්ති පූජාවෙන් ද ප්‍රතිපූර්ණය කළ ජනතාවට වසංගතය මැඬ පවත්වා ගැනීම ද අසීරු නැත.
උට්ඨාන වීර්යයෙන් හා පරහිත සාධනයෙහි යෙදෙමින් සතිමත්ව ජීවන අරුත මනා සේ වටහා ගත් ජනතාවට ආරෝග්‍යා පරමා ලාභා ද නොබෝ දිනකින් උදා වනු දැක්ම අපේ ප්‍රාර්ථනයයි.