
තිස්වසරක යුද්ධය නිම කළ මානුෂීය මෙහෙයුමට මැයි 19 වැනිදාට වසර දොළහක් පූර්ණය වේ. ඒ දොළොස් වසර පුරාම අප බලා සිටියේ ආර්ථික වර්ධන වේගය හා පුද්ගල සංවර්ධනය ඉහළ තලයකට එසවෙන තෙක්ය. එහෙත් සක්‍රිය ලෙස ආර්ථික වර්ධනයක් සිදුවීමට මඟ හරස් කරන ප්‍රධාන බාධක දෙකකට අපි පසුගිය කාලයේ මුහුණ දුන්නෙමු. ඒ යහපාලනයේ සිදු වූ කුප්‍රකට බැඳුම්කර මගඩිය හා 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයයි.
අද කොරෝනාව නිසා මේ තිබුණු ආර්ථිකයත් කබලෙන් ලිපට වැටී තිබේ; නැත්නම් පැදුරෙන් බිමට තල්ලු වී ඇත. මේ තත්ත්වය අපට පමණක් පොදු වූවක් නොවේ. ලෝක ආර්ථිකය ද මෙසේ ම ය. කොරෝනා නිසා ලෝකයේ මිලියන 60කට අධික පිරිසක් අන්ත දිළිඳු බවට පත් වෙතැයි ලෝක බැංකුව කියයි. පුද්ගලයකුගේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.90කට වඩා අඩුවීම අන්ත දිළිඳු බවේ මිනුම් දඬුව ලෙස ලෝක බැංකුව විග්රහ කරයි. ඒ අනුව ගිය වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 5% කින් පමණ පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුවේ සභාපති මැල්පාස් පවසයි.
බටහිර රටවල් වැඩිහිටි ජනගහනය පාලනය කිරීමට කොවිඩ් 19 ආශීර්වාදයක් යැයි නොකියා කියන වාතාවරණයක; අප වැනි ආසියාතික රටවල් උත්සාහ කරනුයේ කෙසේ හෝ මානව සම්පත රැක ගැනීමට ය. එනිසාම අපේ ශ්‍රම සම්පත රැකුණු නිසා ඉදිරියේ ඇති ආර්ථික විපත අවම කරගැනීමට අපට හැකිවනු ඇත. කෙසේ කොහොම කීවද මේ වසරේ බරපතළ ආර්ථික පසුබෑමකට ලක්වීමට නම් සිදුවනු ඒකාන්ත ය. එබැවින් අප සිතිය යුත්තේ එය අවම කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ ව ය. වයිරසයේ බලපෑම අඩුවන තරමට ආර්ථික අවපාතය අඩුවනු ඇත. එනිසා මේ කරගෙන යන සාර්ථක ක්‍රමවේදය දිගින් දිගට ම පවත්වා ගෙන වයිරසය පැතිරීමේ අවධානමෙන් අප මිදෙන්නේ නම් ආර්ථිකය ගොඩගැනීම අසීරු නොවනු ඇත. වඩාත් ප්‍රශංසනීය ම කාර්යය වන්නේ රටේ ස්වදේශීය නිෂ්පාදන ක්‍රියාවලිය අක්‍රිය නොකර වසංගතය පාලනය කිරීම ය.
මේ වනවිට කෝවිඩ් 19 ව්‍යසනය නිසා අඩපණ වූ ඒක පුද්ගල ආදායම ගැන සැලකිල්ල යොමු කළ රජය ඒ සඳහා සහන රැසක් දැනටමත් ලබාදී තිබේ. සහන මල්ල ඒ අතරෙන් ප්‍රධාන ය. මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කිරීමට එකඟ වී ඇති බව ජනාධිපතිවරයා පවසා තිබේ. රජයක් වශයෙන් බිම් මට්ටමේ සිට සියලු ජනතාව වෙනුවෙන් ලබා දෙන මේ සහන නිසා ජනතාව සැනසුම් සුසුම් හෙළති.
කෙතරම් නීතිය ක්‍රියාත්මක කළ ද, නීතිය කැඩීමේ මනෝ ව්‍යාධියක් ජනතාවට තිබේ. එය ශ්‍රී ලංකාවට පමණක් පොදු ප්‍රශ්නයක් නොව මනුෂ්‍යයාගේ පොදු අර්බුදයකි. ඒ පොදු අර්බුදයෙන් මේ වසංගතය අබියස නොගැලවුණහොත් සිදුවන ව්‍යසනය බලපාන්නේ තනි පුද්ගලයකු ලෙස ඔබට පමණක් නොවේ. ප්‍රථමයෙන් සිය සමීපතමයන්ට අනතුරුව එතැනින් පොදු ප්රවාහයට ලෙසිනි. කිසිවකුත් නැති, බෙර හේවිසි නැති, ගරු බුහුමන් නැති හුදෙකලා මරණයක ඇති හුදෙකලාව හා ජීවතුන් අතර සිටින්නන්ට ඇති ශෝකය ගැන සිතත්දී නම් පෙරකී මනෝ ව්‍යාධි ඉබේ ම සුව වෙනු ඇත. අසල්වැසි ඉන්දියාව තුන්බියෙන් ඇලළුණු විසාලාවක් වී ඇති මොහොතක මුව විටට ම ලාවා ගලා එද්දීත් බජව් නටන්නට සිතෙන්නේ නම් එය මානසික වියවුලක් මිස අනෙකක් නොවේ. ඔක්සිජන් ගැන කෙතෙක් කිව්වත් එහි වටිනාකම තේරෙන්නට කොරෝනා මුව විටට ම හිර කරන තෙක් ඉදින්නට සිදු විය. රුපියල් 500 ට තිබූ ඔක්සිජන් ටැංකිය දැන් රුපියල් ලක්ෂයක් දී හෝ ඉන්දියාවේ මිලදී ගන්නට නැත. මරණාසන්නව සිටින රෝගියාගේ මුවට මුව තබා ආයාසයෙන් හුස්ම දෙන්නට තතනන දහස් ගණනක සමීපතමයන්ගේ දසුන සංවේගදායක ය. දහස් ගණනක් මිය යන රෝගීන් ආදාහනයට අවැසි දර මිටියක මිල තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබේ. එපමණක් නොව ආදාහනයට පැය පහක් හයක් බලා සිටිය යුතු ව තිබේ.
ඔක්සිජන් මොකටද කියූ අයට සොබාදහම ඔක්සිජන් ගැන පාඩම කියා දෙමින් සිටී. ඔක්සිජනීකෘත රුධිරය සැපයීම විනාඩි කිහිපයක් අක්‍රිය වුණොත් මරණය උරුම වේ. ඔක්සිජන් නැති විට කොන්ක්‍රීට් ගොඩනැගිලි දූවිලි බවට හැරේ; ඔක්සිජන් නැති විට ජීවීන් විනාශ වී යයි. ඔක්සිජන් කියන්නේ එවැන්නක් වුවත්, අගය තේරෙන්නට නම් නැති වන්නට ම අවශ්‍ය විය. මුදල් වටිනාකම වසංගත හමුවේ ක්‍රමයෙන් ක්ෂය වී යන්නේ එලෙසින් ය. ව්‍යසන ලෙස හඳුනා ගන්නා මෙවැනි සිදුවීම්වලින් අනතුරුව සමස්ත මානව ප්‍රජාවේ හැසිරීම් රිද්මය මෙන්ම චින්තන රටාව ද අර්ථාන්විත වෙනසකට ලක් වේ යැයි අපට උපකල්පනය කිරීමට හැක්කේ මේ වැනි තත්ත්ව යටතේ ය. ගෝලීය ශ්‍රම බළකායෙන් 81% ක සේවා ස්ථාන මේ මොහොත වනවිට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත. ස්ථිරව හෝ තාවකාලිකව මේවායෙහි වැඩකරන සේවකයන් ද ඉවත් කර ඇත. ඔවුන්ගේ රැකියාවේ පැවැත්ම තහවරු කිරීම පිළිබඳ කිසිම ප්‍රායෝගික බලාපොරොත්තුවක් නැත. මේ අනුව දළ ඇස්තමේන්තු ප්‍රකාර ව රැකියා අහිමි වන ලෝක ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසන පරිද්දෙන් කෝටි 20කට අධිකය.
”වසංගතයක් කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය ඉතිහාසයේ කිසි දිනෙක කණ්ඩායම් ප්‍රතිශක්තිය මේ අන්දමට රෝගී තත්ත්වයක් දරා ගත නොහැකි අන්දමට පුපුරා යෑමකට ප්‍රතිචාර දැක්වීමේ උපාය මාර්ගයක් ලෙස භාවිත කර නැත” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ෙටඩ්රෝස් ගේබ්රියාෙසස් පවසා තිබේ. එය විද්‍යාත්මක ව හා සදාචාරාත්මක ව ගැටලු සහගත ය. මහජන සෞඛ්‍ය සන්දර්භයක් තුළ, කණ්ඩායම් ප්‍රතිශක්තිය සාමාන්‍යයෙන් විස්තර කරන්නේ රෝගයකින් එය පැතිරීම වැළැක්වීම සඳහා ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් එන්නත් කරනු ලබන අවස්ථාවක් වන අතර එමඟින් එන්නත් ලබා නොගත් සුළු පිරිසකට සුපුරුදු ආරක්ෂාව සැපයීම ලෙසිනි.
ඉදිරි සතිය තීරණාත්මක ය. සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ කොරෝනා අධිවසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව ඔවුහු පවසති. ජනතාව වගකීම් විරහිතව ක්‍රියා කරන්නේ නම් මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී දෑස් ඉදිරිපිට රෝගීන් මිය යන්නට දී බලා සිටින්නට සිදුවනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති. ඔබ, ඔබේ සමීපතමයන්ට ආදරය කරන්නේ නම් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවළට ඔබේ උපරිම සහය ලබා දෙන්න. මේ වසංගතය පරාජය කිරීමට ඇති ප්‍රධානතම ක්‍රියාමාර්ගය එය පමණී.