කොවිඩ්; දෙලොවක් අතර | සිළුමිණ

කොවිඩ්; දෙලොවක් අතර

කෝවිඩ් 19 අපේ සමීපතම ගමන් සඟයා වේදැයි යන තුෂ්ණිම්භූත හැඟීමෙන් යුතුව වසරක් ඉකුත් වී තිබේ. මුහුණු වැස්මෙන් ආවරණය වූ මුවෙන් අප එකිනෙකාට සිනාසෙන්නේ ද; ඔරවන්නේ ද යන්න ගැන නිනව්වක් නැතිවම ගොස්ය. මුහුණු ආවරණය මේ වන විට ගලවන්නටම තහනම් ය. එය නිරෝධායන නීති උල්ලංඝනය කිරීමකි. වාතයෙන් පවා බෝවන්නට හැකි බව කියන නව කොවිඩ් ප්‍රභේදය ජනතාව තැති ගන්වා තිබේ.

වැදගත් වන්නේ ඔබට කෝවිඩ් 19 ආසාදනය වන්නේ ද නැද්ද යන්න නොවේ. එය වැලඳෙන්නේ කුමන කාලයකදී ද යන්න ය. ජීවිතය ද; මරණය ද යන්න තීරණය කරන්නේ වසංගතයක් වැල‍ඳෙන කාලවකවානුව ය. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක වන රෝහල් පහසුකම් සලකා බැලීමේදී ඔබට මේ කරුණ වැටහෙනු නොඅනුමානය.

මැයි පළමුවැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සියලු මැයි පෙළපාළි ජනතාව ඒකරාශී කිරීමේ අවධානම නිසා අවලංගු කෙරිණි. ප්‍රධාන පක්ෂ මැයි දිනය පවත්වන ලද්දේ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ ය. රජය සියලු ඒකරාශීවීම් තහනම් කරන්නේ මේ පවතින වසංගත තත්ත්වය නිසා ය. ජනතාව මේ ගැන සවිඥානික වීම අත්‍යවශ්‍යය. නැත්නම් පුංචි වයිරසයකට ජීවිතය බිලි ගන්නට දී සුසුම් හෙළන්නට වෙන්නේ ය.

කොරෝනා වයිරසය අපගේ ජීවිතවල පදනම සලිත කර තිබේ. ඒ අතිමහත් දුක් ප්‍රමාණයක් ජනිත කිරීමෙන් පමණක් නොවේ; මහා ආර්ථික අවපාතයකට වඩා දරුණු ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීමෙනි. එනිසා නැඟී සිටිය යුත්තේ ද අප ම ය; අපේ ම ශක්තියෙනි. ගුණ කථනයක් නොව; පෙට්ටියක් හෝ නැතිව මිය යන ගැඹුරු හුදෙකලාවක නෑසියන් නැතිව තනිවෙන මරණයක් ගැන සිතද්දී; කොරෝනා කළ හදියෙන් නැඟිටීමට ඔබට මට ශක්තිය ලැබෙනු නිසැකය. එනිසා ජනතාව මීට වඩා බෙහෙවින් සිය වගකීම ගැන වගවිය යුතුය. කෝවිඩ් 19 පාලනය ගැනීමට රජයට සහාය දීම අප සතු යුතුකමකි. ජාතියක් වශයෙන් එක්වුවහොත් එය අසීරු කරුණක් නොවනු ඇත.

අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය සුබදායක නැත. ආසියානු කලාපයේ දැවැන්තම ආර්ථික බලවතකු වන ඉන්දියාවට අත්වූයේ එවන් ඉරණමක් නම් අපට යන කලදසාව ගැන සිතා ගැනීමට නොහැකිය. පසුගිය සතිය ඇතුළත ඉන්දියාවේ දිනකට රෝගීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, රෝහල් සියල්ල රෝගීන්ගෙන් පිරී ගොසිනි. බී. බී. සී සේවාව වාර්තා කරන අන්දමට ඔක්සිජන් හිඟවීම පිළිබඳ වේදනාකාරී අත්දැකීම සිත කීරි ගස්වන සුලුය. තවත් රටකට උදව් කළ නොහැකි තරමට බොහෝ රටවල් අසරණ වී තිබේ.

අහිවාතක නම් වසංගත රෝගය සැඳුණු විටෙක නගරවාසීන් ගෙයි බිත්තියක් බිඳ පලා ගියේ යැයි ඉතිහාසයට අනුව ඉගෙන ගත් අපි; අද කොරෝනා වසංගතය පැතිරෙන මොහොතේ බිත්ති හතරට ජීවිතය බාර කර බලා සිටින්නෙමු. එදා අහිවාතක වසංගතයෙන් ගැලවෙන්නට මිනිසුන් පැන ගියේ කැලයට ය. අද එසේ සොයා ගොස් සැනහෙන්නට කෙම්බිම් නැත; කෙම්බිම් සොයා මහමඟට බසින්නට අවසර ද නැත.

ලෝකය ම දණ ගැස්වූ වයිරසයක් හමුවේ ලොව කොතැනක හෝ බලවතුන්ට පමණක් හෝ යා හැකි කෙම්බිම් නැත. එය දේශපාලඥයන්, නළු නිළියන්, ධනවතුන් හා බලවතුන් කියා වෙනසක් නැත. කොවිඩ් වැලඳුණු පිරිස් දෙස බලද්දී මේ තත්ත්වය පැහැදිලි ය. යටත්විජිතවාදයේ බලකණුව වන බ්‍රිතාන්‍ය රාජකීය මාළිගාවේ අතිසූක්ෂ්ම ආරක්ෂක සේවයට හෝ ශක්තිමත් පවුරුවලට කොරෝනා නැවැත්විය හැකි වූයේ නැත. ඉදින් අප තවමත් අනාරක්ෂිත යැයි පුන පුනා කියන්නේ එබැවිනි. හිතුවක්කාර සෙල්ලක්කාරකමට යට නොවී ජීවිත අවධානම ගැන සවිඥානික වීම වැදගත් වන්නේ ඒ නිසා ය.

වසංගත සමහරකට ගෙයින් පැන ගොස් බේරිය හැකිමුත් මේ වැනි වසංගතවලින් බේරිය හැක්කේ නිවෙසේ සිටියහොත් පමණක් ය.

සමස්ත මානව සංස්කෘතියේම පැවැත්මට අභියෝග කරන පුංචි වයිරසයක් ලෝකයේ චින්තන ස්වරූපයක්, ඇගයීම් හා වටිනාකම්වල මෙතෙක් කියැවීම වෙනස් කර ඇත්තේ එලෙසිනි. ලෝකය ම බිහිසුණු ව්‍යසනයකට පත්ව සිටින මොහොතක මෙතෙක් සමස්තය නීර්ණය කළ ආර්ථික වටිනාකම් රැස ක්‍රමයෙන් මානුෂික ඇගයුම් ක්‍රමයක් දක්වා රූපාන්තරණය වෙමින් තිබේ. ඒ සොබාදහමේ කියැවීම මනුෂ්‍ය වර්ගයාගේ ආධ්‍යාත්මික සුබ සිද්ධිය වෙනුවෙන් වුව ද; භෞතික අභිවෘද්ධිය සලසන ආර්ථිකයට නම් හොඳ කලදවසක් උදා වී නැත.

පැහැදිලි දිශානතියක් හා දැක්මක් ඔස්සේ ආර්ථිකය නඩත්තු කරගත නොහැකි වන ප්‍රධාන බලවේග අතර ප්‍රමුඛ තැනක් ගන්නේ වසංගත පැතිරීම ය. මෙවැනි වසංගතයක් අවසන් වූ ඉනික්බිති කාලයක් තිස්සේ මිනිස්සු විරැකියාව, දුගී බව හා කුසගින්න අත්විඳිනු ලැබීම අනිවාර්ය කරුණකි. ඉතිහාසය යළිත් පුනරුච්ඡාරණය වෙමින් ඇත. සොබාදහමේ යථාර්ථය ගෝලීය මානව සමාජයේ අධිමාණී ෆැන්ටසිය බිඳ දමමින් සිටී. මේ ව්‍යසනය යම් මොහොතක නිමා වනු ඇත. අනතුරුව ශේෂ වනු ඇත්තේ ලෝකය අලුතින් නිර්වචනය කළ හැකි අප්‍රමාණ අත්දැකීමක් සහිත මිනිස් සමූහයකි. ඒ චින්තන ප්‍රවාහය වඩාත් සාධාරණ ලෝකයක් ගොඩනඟනු ඇති බවට වන සුබවාදී අදහස දරමින් මේ මොහොතේ ජීවත් වීම පමණක් ප්‍රමාණවත් ය.

අරුන්දතී රෝයි පසුගියදා හරි අපූරු කතාවක් කීවේ ය. ඒ “ඉතිහාසය පුරාම වසංගත නිසා මිනිසුන්ට අතීතය බිඳ දමා ඔවුන්ගේ ලෝකය අලුතෙන් මවා ගැනීමට බල කෙරී ඇත. කොවිඩ් 19 ඊට නොවෙනස් තත්ත්වයකි. එය ලෝකයක් සහ තවත් ලෝකයක් අතර වන ද්වාරයකි“

ලෝකයක් හා තවත් ලෝකයක් අතර වන ද්වාරයට යෑමට අපට රජයට සියල්ල පවරා නිහඬ ව හෝ එසේත් නැතිනම් චෝදනා කරමින් සිට බැරි ය. මේ ව්‍යසනය එය පාලනය කරගැනීමට නිසි සෞඛ්‍ය ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම වැදගත් ය. තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම පිළිබඳ වගවීමක් තිබිය යුතු ය. වසංගතයෙන් පසු සිටියාටත් වඩා ශක්තිමත් ව අපට නැඟී සිටීමට නම් රජයට පමණක් නොව මහජනතාව ද කැපවීම් කළ යුතුව තිබේ.

මානව සංහතිය තමන් වෙනුවට ආදේශක සොයන, කෘත්‍රිම බුද්ධිය, කෘත්‍රිම ශරීර ඈ නොයෙක දෑ ගැන කතා කරන, නිපදවන සමයෙක ඒ කිසිවකටත් යට නොවුණු වයිරසයක් විසින් ලෝක ආර්ථිකය උඩුයටිකුරු කර තිබේ. මහා දැනුමක් මත ගොඩනඟන ලද ආර්ථිකය කෙතරම් බිඳෙන සුලු ප්‍රපංචයක් ද යන්න ලොවට ම පසක් වී හමාර ය. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර්ට අනුව මෙය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක් ම නොවේ; ගෝලීය ශ්‍රම වෙළෙඳපොළේ සහ ආර්ථිකයේද අර්බුදයකි.

Comments