අන්තවාදයේ මුලාව | සිළුමිණ

අන්තවාදයේ මුලාව

පාස්කු ප්‍රහාරයේ ඇවිළුණු ගිනිදැල්වල රශ්මිය තවමත් බොහෝ හදවත් දවාලන බව සත්‍යයකි. එකී ප්‍රහාරයෙන් දිවි පිදුවේ හා තුවාල ලැබූයේ ආගමික සංහිඳියාවම පැතූ කතෝලික පිරිසක් පමණී. දරුවන් අහිමි වූ මවුපියන් මෙන්ම මවුපියන් අහිමි වූ දරුවන් ද; පෙම්වතුන් පෙම්වතියන් සිහිපත් කරමින් හාඬා වැටෙන්නන් ද තවමත් අප අතර ඇත. මේ හඬා වැටෙන පිරිස අතරට එදා ‘යහපාලන‘ ආණ්ඩුවේ ගෑවුණු අයෙක් හෝ නැත. ජාතික ආරක්ෂාව සපයා ගත නොහැකි වුණත් තම ආරක්ෂාව සපයා ගන්නට නම් ඔවුහු සමත් වූහ. අන්තවාදී ප්‍රවාහ විසින් එල්ල කළ දරුණු මිලේච්ඡ ක්‍රියාවලිය පිළිබඳ අංශුමාත්‍රයකින් හෝ තමාට ලැබුණු තොරතුර සාමාන්‍ය රටවැසියා රැක ගැනීම වෙනුවෙන් නොයෙදවූ පිරිසක් නිසා මෙකී ඛේදවාචකය සිදු වුණි.

පසුගිය දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇතැම් මූලධර්මවාදී ඉස්ලාම් ආගමික කල්ලි විසින් ලෝකයේ විවිධ තැන්වල මෙවැනි ම්ලේච්ඡ අපරාධ සිදුකොට තිබුණි. ඇෆ්ගනිස්තානය වැනි රටවල එවැනි මූලධර්මවාදී කොටස් බලයට ද පත්ව තිබුණි. 2018 ගෝලීය ත්‍රස්ත ප්‍රහාර දර්ශකයේ රාජ්‍ය 50 ක නම් සඳහන් වී තිබිණි. ඒ දර්ශකයට අනුව ත්‍රස්ත ප්‍රහාර හමුවේ 2017 වසරේ අවදානමට ලක් වූ ලොව ප්‍රමුඛ රාජ්‍යය ඉරාකයයි. ලොව සක්‍රිය හා දරුණු ත්‍රස්ත කණ්ඩායම් ලෙස තලෙයිබාන්, අල් ෂාබාබ්, ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා ක්‍රියාත්මක කණ්ඩායම හැඳින්විය හැකිය. ඉන්දියාව, පිලිපීනය, නේපාලය, කොන්ගෝව, දකුණු සුඩානය, තුර්කිය, බංග්ලාදේශය, ඊජිප්තුව, සිරියාව, කසකස්තානය, පැනමා, ස්විස්ටර්ලන්තය සහ ලංකාව ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වූ රාජ්‍ය ය.

ලෝකය පුරා ආගම් සහ භාෂා දහස් ගණනක් වෙයි. මේ සියල්ලෝ සිය භූමිය, සංස්කෘතිය වැනි සාධක හේතුවෙන් විවිධ ආගම් දහම් විශ්වාස කරති; හදාරති. සියලු පෘතග්ජනයෝ තමා අදහන ආගම ලොව ශ්‍රේෂ්ඨතම ආගම යැයි සිතති. ඉන් බහුතරයක් එසේ සිතීමෙන් නොනැවතී අනෙක් ආගම් හෙළා දකිති; ඉනික්බිති ඒවා පාච්චල් කරති. ගැටුම් නිර්මාණය වෙන්නේ ස්වකීය එවැනි අන්තවාදී මත අනෙකාගේ සිතේ බලෙන් පැටවීමට යෑමෙනි. මේ අන්තවාදයේ මූලාරම්භයයි. කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් 1848 කොමියුනිස්ට් ප්‍රකාශනය මඟින් සනාථ කරන්නේ ලෝකය සාමයෙන් පැවතියේ ගෙවී ගිය වසර තුන් දහස ඇතුළත දින 72 ක් පමණක් ය කියා ය. ලෝක යුද්ධ, වාර්ගික අර්බුද, දේශ සීමා අර්බුද, අන්තවාදී ගැටුම් ආදියට කෙදිනකවත් ඉසිඹුවක් ලැබී නැත. එබැවින් මේ සියලු ප්‍රචණ්ඩත්ව බිහි වීමට දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා ආගමික බලවේග ඍජු ව හෝ වක්‍ර ව බලපා ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් වැදගත් කරුණු රැසක් හෙළිදරව් කළේ මෙවන් පසුබිමක් පවතිද්දී ය. ඇමැතිවරයා පෙන්වා දෙනු ලැබූ එක් කරුණක් වූයේ අරාබි පාසල් හරහා මුස්ලිම් දරුවන් අන්තවාදී මතවාදවලට නැඹුරු කිරීමේ උත්සාහයක නිරත වූ බවයි.

‘‘සේව් ද පර්ල්’’ සංවිධානය විසින් දියත් කර ඇති අරාබි පාසල්වලදී කුඩා දරුවන්ට අන්තවාදී මත පෝෂණය කිරීම සඳහා සහරාන් ඇතුළු පුද්ගලයන් දේශන පවා පවත්වා ඇතැයි යනුවෙන් මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය. එපමණක් නොව 1 වසරේ සිට 13 වසර දක්වා ඇති පෙළ පොත්වල ආගමික සහජීවනයට බාධා වන අයුරින් අන්‍ය ආගමිකයකුට එරෙහිව නැඟී සිටින ආකාරය දක්වා ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළ අතර, ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේ ය. බහුවාර්ගික රටක් ලෙස අප කිසිදු ආගමකට හෝ ජාතියකට අන්තවාදී වීමේ ආදීන බව මතු පරම්පරාවට සනාථ කරනු විනා ඒවා තව තවත් ඇවිළ වීම නොකළ යුත්තකි.

අන්තවාදී සංවිධාන හතළිස්තුනක් තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය පසුගියදා යොමු වූයේ මෙවන් පසුබිමක් සැකසෙද්දී ය. ඒ සංවිධාන අතරට සමස්ත ලංකා සලෆි කවුන්සිලය, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන රැසක් වෙයි.

එමෙන්ම ආනයනය කරනු ලබන සියලු ම ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයට යොමුකරන ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පසුගිය 10 වැනිදා රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. එමෙන්ම මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ අන්තවාදී ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ ඉවක් බවක් නැති ව මෙරටට ගෙන්වා මද්‍රසා පාසල්වලට බෙදාහැර තිබීම නිසායි. වාර්තා වන අන්දමට මේ අන්තවාදී ඉස්ලාමීය ග්‍රන්ථ ආනයනය කිරීමට ඇතැම් මුස්ලිම් දේශපාලකයන්ගේ සහය ද ලැබී ඇති අතර පාකිස්තානය, කටාර් සහ සෞදි අරාබිය යන රටවලින් මේ අන්තවාදී ඉස්ලාමීය ග්‍රන්ථ මෙරටට ගෙන්වා තිබේ.

මේ අතර අන්තවාදී අදහස් සංසරණය වීම වැළැක්වීමේ අරමුණෙන් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියකට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් පසු පැරිස් නගරයේදී කැඳවන ලද සමුළුවකදී ෆේස්බුක් ජාලය නිවේදනයක් නිකුත් කළේ ය.

ත්‍රස්තවාදී සංවිධාන මඟින් නිකුත් කරන ප්‍රකාශන සහ අන්තර්ජාලයේ මහා පරිමාණයෙන් හුවමාරු වෙමින් පවතින අන්තවාදී අදහස් පාලනය කිරීමේ සැලැස්මක් 'ෆේස්බුක්' ජාලය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බව මේ නිවේදනයේ සඳහන් ය.

තමන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ දැනට බල පැවැත්වෙන නව රෙගුලාසි නොතකා හරිමින් ඒවා උල්ලංඝණය කරමින් පළ කෙරෙන අදහස්වලට තහංචි දැමීමෙන් 'දැඩි පිළිවෙතක්' අනුගමනය කරන බව 'ෆේස්බුක්' බලධාරීහු මේ නිවේදනය ඔස්සේ දන්වා සිටිති.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩර්න් මේ මැදිහත් වීම විග්‍රහ කරන ලද්දේ, "යහපත් පළමු පියවරක්" ලෙස ය.

අන්තවාදී පිළිකාවෙන් රට බේරා ගැනීමට ජාතික හා ආධ්‍යාත්මික දෙපාර්ශ්වයෙන් ම සමසේ ක්‍රියා කළ යුතු ව තිබේ. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූ අය මෙකී අන්තවාදී පිළිකාවෙන් බැට කෑ වුන් ය. එමෙන්ම දෙවනගල, මුහුදු මහා විහාරය, මාවනැල්ලේ බුදු පිළිම කැඩීම ආදී අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්ව විනාශ වූ හා අසාධාරණයට ලක් වූ ස්ථාන හා පුද්ගලයන් ද මෙකී අන්තවාදීන්ගේ ගොදුරු ය. මොවුන් ගේ ත්‍රස්තවාදී ක්‍රියාවලට මුළුමනින් ම වැට බැඳිය යුතු කාලය එළැඹ ඇත්තේ ය. ඒ සම්බන්ධයෙන් ඍජු ව පාර්ලිමේන්තුවේදී කතා කළ මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරට රටට හිතැති සියලු දෙනාගේ පැසසුම් හිමි විය යුතු ම ය.

Comments