එන්නතක පෙරළිය | සිළුමිණ

එන්නතක පෙරළිය

මස්ත මානව සංස්කෘතියේ ම පැවැත්මට අභියෝග කරන පුංචි වයිරසයක් ලෝකයේ චින්තන ස්වරූපයත්, ඇගයීම් හා වටිනාකම්වල මෙතෙක් කියැවීමත් වෙනස් කර ඇත. ලෝකය ම බිහිසුණු ව්‍යසනයකට පත්ව සිටින මොහොතක මෙතෙක් සමස්තය නීර්ණය කළ ආර්ථික වටිනාකම් රැස ක්‍රමයෙන් මානුෂික ඇගයුම් ක්‍රමයක් දක්වා රූපාන්තරණය වෙමින් තිබේ.

කොරෝනා වසංගතයෙන් මිථ්‍යාව සමඟ විද්‍යාව ද කුඩුපට්ටම් කර දැමූව ද, මිනිසුන්ට යම් සැනසීමක් ලැබුණේ නම් එය ලැබුණේ විද්‍යාවෙන් පමණි. හොඳින් සබන් යොදා දෑත් සෝදා, මාස්ක් පැලඳ, මීටරයක පරතරය ඇති ව සමාජ දුරස්ථභාවය රැකගත් මිනිසුන්ට කොරෝනා වයිරසය නොවැලඳුණේ නම් ඒ විද්‍යා­‍ෙව් හා පරෙස්සමේ ප්‍රමාණය අනුව ය. කොරෝනා එන්නත බිහිවන්නේ විද්‍යාවේ දියුණුව නිසා ය.

ලෝකය පුරා කොවිඩ් වයිරසයට ගොදුරු වූවෝ ලක්ෂ එක්දහස් එකසිය දොළහ ඉක්මවා තිබේ. ලක්ෂ විසිහතකට වඩා මිය ගොස් තිබේ. සමහර රටවල නව ප්‍රභේද මේ මොහොතේත් හමු වෙමින් තිබේ. අභාග්‍ය ඇතුළත වාසනාවට ජීවිතය පවරා නිහඬ ව සිටිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ඉදින් එන්නත අත්‍යවශ්‍ය ය. ශ්‍රී ලංකාව ද දැනට එන්නත්කරණයේ සජීවි, සක්‍රිය මට්ටමේ පැවතීම භාග්‍යයකි. ශ්‍රී ලංකාවට මෙතරම් ඉක්මනට එන්නත ලබා ගැනීමේ භාග්‍යය පහළ වූයේ තම රටේ සීරම් නිෂ්පාදනාගාරයෙන් ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 5ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාව ගත් යහපත් තීරණය නිසාය. සිය කෘතවේදීත්වය ඒ වෙනුවෙන් ඉන්දීය රජයට පළ කළ රජය; තවත් එන්නත් මිලියන 10ක ඇණවුමක් ඉන්දීය සීරම් සමාගමට ලබා දුන්නේ ය. ඒ සඳහා ඩොලර් මිලියන 52.5 ක මුදලක් වැය වන බවට ද වාර්තා වී තිබේ. ඒ අනුව ලොව ආරක්ෂිත ම ක්‍රමවේදය වෙත සිය ජනතාව මෙහෙයවීමේ වගකීම අතින් ලංකාව ඉන්නේ ඉදිරියෙන් ම ය. 25 වැනිදා වනවිට ජාතික ඖෂධ සංස්ථාවේ ඇණවුම මත එන්නත් ලක්ෂ 5ක් ලංකාවට පැමිණියේය. ඒ අනුව කොරෝනා වයිරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වන විට මෙරට ඉතා සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක වේ.

ඉදිරි මාස කිහිපය ඇතුළතදී රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට එන්නත ලබා දීම රජයේ ඉලක්කය වේ. මුළු රටේ ම ජනතාවට එන්නත් කිරීම අවසන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීම ජාතික කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේ අරමුණයි. එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව අතර ද දැඩි උනන්දුවක් දක්නට ලැබෙන අතර; විවිධ පාර්ශ්වන්ගෙන් ඒ සඳහා රජයට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. එහි උපයෝගීතාව කෙතෙක් ද යත් එන්නත ඉල්ලා සමහර සංවිධාන උද්ඝෝෂණ කිරීමෙන් පැහැදිලි වේ.

ඉකුත් 25 වැනිදා වන විට පුද්ගලයන් 400,000 කට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාවේ සහාය ද ලබාගැනීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගියදා පැවසුවා ය. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බව ය. එනිසා සැනසුමේ සිනාරැල් සැමඟ මුවඟ රැව් දෙමින් තිබේ.

එන්නතක් ලබා දෙන්නේ පූර්ණ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියක් වෙනුවෙනි. ලෝකය පුරා විවිධ වකවානුවල විවිධ වසංගත පැතිරී තිබේ. නිසි කලට අඛණ්ඩ ව ප්‍රතිශක්තිකරණය හඳුන්වා දීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණය වඩවා වළක්වා ගත හැකි රෝග බොහොමයක් ඇති වීම අඩු වී ඇත. තවත් බොහෝ රටවල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හඳුන්වා දීමෙන් රෝග අඩු කිරීමේදී මේ හා සමාන සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ හා අනෙකුත් ආධාර සපයන්නන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් මේ ප්‍රතිලාභ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දීමේදී විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබේ. වසූරිය ගෝලීය වශයෙන් තුරන් කර දැමීමට ප්‍රතිශක්තිකරණය ඉඩ සැලසූ අතර පෝලියෝමයලයිට්ස් හා තවත් රෝග සම්බන්ධයෙන් ද එය සිදුවී ඇත.

ඒ අනුව එන්නත් යනු අප සතුව ඇති වඩාත් ම සාර්ථක මහජන සෞඛ්‍ය මැදිහත්වීමකි. විවිධ රෝග 26 කින් මිනිසුන් ආරක්ෂා කිරීමට එන්නත් හඳුන්වා තිබේ. මේ වනවිට පැපොල, ඩිප්තෙරියා, හෙපටයිටිස් ඒ, හෙපටයිටිස් බී, හිබ්, එච්පීවී, සරම්ප, මෙනින්ගොකොකල්, මැම්පස්, නියුමොකොකල්, පෝලියෝ, රොටාවිරස්, රුබෙල්ලා, ෂින්ගල්ස්, ටෙටනස්, පර්ටුසිස්, ඇඩෙනෝ වයිරස් , කොලරාව, ජපන් එන්සෙෆලයිටිස්, ජලභීතිකා, වසූරිය, ක්ෂය රෝගය, ටයිපොයිඩ් සහ කහ උණ පමණක් නොව; කොවිඩ් 19 ද ඇතුළු ව වෙනත් රෝග සඳහා දැනට එන්නත් 19 ක් පමණ අප සතු ව ඇත. වසංගත ඇතිවීම යථාර්ථයක් වනතාක් ඊට එරෙහි එන්නත් බිහි වීම ද සාමාන්‍ය කරුණකි.

දරුවකු පාසලට ඇතුළත් කිරීමේදී පටන් අදාළ එන්නත් ගැන සවිඥානික පරිසරයක් අප සතු ය. එනිසා ම අපට කොවිඩ් 19 වෙනුවෙන් ආ මේ එන්නත ද තවත් වසංගතයක් මර්දනය වෙනුවෙන් ආ එන්නතකි. ජනතාව පෙළ ගැසී බලා සිටින්නේ මේ වසංගතයෙන් මිදී සිය එදිනෙදා කාර්යයන් සුපුරුදු පරිදි ඉටු කර ගැනීමේ මාවතට ප්‍රවිෂ්ට වන්නට ය. අසමාන අසාධාරණ ක්‍රමවේදයකින් තොර ව සියලු ජනතාවට එන්නත ලබා දීම වෙනුවෙන් රජය සක්‍රිය ව මැදිහත් වී තිබේ. ප්‍රමුඛතා ලයිස්තුවක් පවා ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ ම ආරක්ෂාව වෙනුවෙන් විනා අන් යම් අරමුණක් වෙනුවෙන් නොවේ.

අසාත්මිකතා හෝ වෙනයම් අපහසුතා ඇත්තන් හැරෙන්නට සැමට සමානාත්මතා දර්ශකයක් ඔස්සේ එන්නත් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින්නේ ඒ නිසා ය. කොරහේ කිඹුලන් සොයන විපක්ෂය හැරෙන්නට අන් සියල්ලෝ එන්නත වෙනුවෙන් පෙළ ගැසී සිටිති. ජනතා සෞඛ්‍යාරක්ෂාව පරමාරක්ෂාව සේ සලකා මේ වසංගතය පිටුපාන්නට හැකි වනු ඇතැයි අපි උදක් ම බලාපොරොත්තු වෙමු.

Comments