
අතීත මානව වර්ගයාගේ පැවැත්ම හා ක්‍රියාකාරකම් ගැන හා අතීත ස්මරණීය සාධක පිළිබඳව අතීතයෙන් දැල්වෙන ගිනිපුළිඟුව වන්නේ පුරාවිද්‍යාවයි. ප්‍රෞඩත්වය, උරුමය පිළිබඳ කතිකාව ගොඩනැඟෙන්නේ මෙකී සන්දර්භ මත පිහිටමිනි. ලෝකයේ අංක එකේ බලවතා ලෙස ලෝකයම සිය ආධිපත්‍යයට නතු කරගෙන සිටින ඇමෙරිකාවට පවා දිගුකාලීන ඓතිහාසික හා ප්‍රෞඩ ඉතිහාසයක් හිමි නැත. නූතන ඇමෙරිකාව ඓතිහාසික වටිනාකම් පිළිබඳ බලවත් උනන්දුවක් දක්වන බැව් පසුගිය කාලයේ නිරීක්ෂණය විණි. එකරුණ සනාථ වීමට බලපෑම් කළ ප්‍රධානම සාධකයක් ලෙස දැක්විය හැක්කේ; ඇමෙරිකන් ප්‍රකාශන සමාගම් ඓතිහාසික නවකතාවලට වාර්ෂිකව ඇගයීමක් කිරීමය. කෙතරම් බලවත් වුවත් ඓතිහාසික තත්ත්ව කෙරේ වන බලවත් උනන්දුව මෙයින් පැහැදිලි වේ. එනයින් බලන කල අප වැනි ඓතිහාසික ප්‍රෞඩත්වයෙන් අනූන රටවල් කෙරේ ඔවුන්ගේ බැල්ම මෙතරම් වැඩි ඇයිද යන්න පැහැදිලි ය.
සංස්‌කෘතික උරුමය ඇතුළත ජාතික අනන්‍යතාව හා පෞරුෂත්වය තිබීම මේ වටිනාකමට හේතුවයි. ස්‌වභාවික උරුම යනු සොබාදහම විසින් නිර්මාණය කරනු ලබන වස්‌තු ය. ඒවා රැකගැනීම සොබාදහම රැක ගැනීමක් වන්නේ ඒ නිසා ය.
එක්‌සත් ජාතීන්ගේ යුනෙස්‌කෝව මඟින් ලංකාවේ ද පුරාවිද්‍යාත්මක ලෝක උරුම නම්කොට තිබේ. ඒ අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල (මෙහි සංස්කෘතික උරුම හා ස්වභාවික උරුම; දෙකක් සේ සැලකේ), ගාලු කොටුව හා සිංහරාජ වනාන්තරයයි. ලෝක උරුමයක් නම් කරන්නේ 1972 යුනෙස්‌කෝ ප්‍රඥප්තියේ ලෝක උරුමයන්ගේ පැවැත්ම හා සැබැඳි නීතිමය ආරක්‍ෂක රාමුව ඇතුළත ය. ලෝක උරුමයක් නම් කිරීමේදී නිර්ණායක දහයක් පිළිබඳ සලකා බලන අතර; අද්විතිය ගුණය, නැවත නිර්මාණය කළ නොහැකි ගුණය, යථාරූපි ගුණය, රූපමය ගුණය ආදී කරුණු මෙහිදී පදනම් කරගනී. දැනට ලෝක උරුම ලෙස පුරාවිද්‍යාත්මක බිම්කඩවල් 890 ක් නම්කොට ඇති අතර, ඉන් 689 ක් සංස්‌කෘතික උරුම ය; 176 ක් ස්‌වාභාවික උරුම ය; 25 ක් සංයුක්‌ත උරුම ය.
මේ වැනි වටිනාකමකින් යුතු පුරාවිද්‍යාත්මක උරුම අතරට අපේ උරුම නම් වී තිබුණ ද අපේ පුරාවස්තු ගැන දිනෙන් අපට අසන්නට ලැබෙන ප්‍රවෘත්ති නම් එතරම් සුබදායක නොවේ.
පුරාවස්‌තු හා කෞතුක වස්‌තු කොල්ල කෑම, ස්‌මාරක විනාශ කිරීම, අවිධිමත් ඉදිකිරීම්, සංවිධානාත්මකව සිදුවන පුරාවස්‌තු ජාවාරම්, අවිධිමත් සංරක්‍ෂණ ක්‍රියාදාම, දේශපාලන ක්‍රියාකාරකම්, පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර භූමි ඇතුළත අනවසර පදිංචි වීම්, පුරාවිද්‍යා ස්‌මාරක සහ ස්‌ථාන හුදකලා වීම හා වල්වැදීම, ආර්ථික ක්‍රියාකාරකම්හි අවිධිමත් බව, මිථ්‍යා මත හා ආගමික විශ්වාස යන හේතු නිසා අපේ පුරාවිද්‍යාත්මක උරුම දිනෙන් දින විනාශ වෙමින් පවතී. ලෝක උරුම සේම අවශේෂ තවත් බොහෝ පුරාවිද්‍යා උරුම විනාශයේ දොරකඩට ගමන් කරමින් සිටින්නේ මෙවන් පසුබිමක ය.
පුරාවස්තු වැනසීමේ ක්‍රියාවලිය පිළිබඳ බෙහෙවින් ආන්දෝලනාත්මක කරුණක් පසුගියදා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග දේශනයකදී හෙළි කළේය. මේ තනතුරට පත් වීමෙන් අනතුරුව පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු ලිපි ලේඛන දහයකට පමණ එක් දිනකදී අත්සන් කිරීමට සිදු වී ඇති බව හෙතෙම කියයි. නොසිතන තරම් වේගයකින් පුරාවස්තු විනාශ වෙමින් පවතින බවත්; ඒවා ආරක්ෂා කරගැනීමට මූලිකත්වය දිය යුතුව ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළේ ය. තමා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වන තුරුත් මේ තත්ත්වය හරිහැටි හඳුනා ගෙන නොසිටි බව මහාචාර්යවරයා පැවසීය. මීට පෙර ද මහාචාර්යවරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ පුරාවිද්‍යාව බේරා ගත යුතු ව ඇත්තේ පුරාවිද්‍යා මහාචාර්යවරුන්ගෙන් කියා ය. එදා ඒ ප්‍රකාශය කරද්දී තිබුණු තත්ත්වයට වඩා දැන් මහාචාර්ය අනුර මනතුංගගේ තත්ත්වය වෙනස් ය; දැන් ඔහු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. එනිසා මේ විනාශය නැවැත්වීමේ ලා ඔහුගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය ය. පුරාවිද්‍යාඥයන් වශයෙන් කුරුන්දමලේ විහාරය, මුන්නේශ්වරම් කෝවිල, දළදා මාලිගාව මෙන්ම නල්ලූර් කෝවිල ආදී සියල්ල දෙස ම එක ලෙස බලන බවත්, පුරා විද්‍යාඥයන් යනු විද්‍යාත්මකව යම්කිසි දෙයක් සොයා බලා ඒ අනුව තීරණ දෙන පිරිසක් ලෙසත් ඔහු දරන අදහසට සියල්ලන් ම එකඟ වනු නියතය. අති විශාල පුරාවිද්‍යා ස්ථාන ප්‍රමාණයක් උතුරු නැගෙනහිර ඇති බව ද, එම ස්ථාන වලින් වැඩි ම ප්‍රමාණයක් බෞද්ධ ස්මාරක වන අතර ම කවුරු හෝ පිළිගැනීමට කැමති වුවත්; අකමැති වුවත් සත්‍ය එය බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ අයුරු අපට මතක ය. දකුණේ විහාරස්ථානවල ද බොහෝ හින්දු ගොඩනැගිලි ඇති බවත්; ඒවාට හානි සිදු වී නැති අතරම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒවා ආදරයෙන් රැකබලා ගන්නා බව ද; අවාසනාවකට උතුරු නැගෙනහිර සිද්ධස්ථාන වලට හානි වී ඇති බව ද ඔහු වැඩිදුරටත් එහිදී පැවසුවේ ය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙකී ප්‍රමාණාත්මක මැදිහත්වීම ගැන සංශයවාදි සිතිවිල්ලකින් නොව පූර්ණ පැහැදීමකින් ජනතාව බලා සිටී. මුහුදු මහා විහාරයේ හා දෙවනගල පුරාවස්තු භූමීන්හි සිදුවූ අකටයුතුකම් පුරාවිද්‍යාව ගැන සෙනෙහෙසක් ඇති බොහෝ දෙනකුගේ නොසතුටට හේතු වී ඇත. ‘යහපාලන‘ ආණ්ඩු සමයේ උදාගම් යැයි කියමින් විජිතපුර ප්‍රදේශය ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත පෙදෙස් ඩෝසර් වූ අයුරු තවමත් අමතක නැත.
රටක, ජාතියක අභිමානය රකින්නට නම් ඒ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම් අගය කළ යුතුය; ජාතියක පැවැත්ම රඳා පවත්නේ ඒ මත ය.