
අප සිටින්නේ 73 වන නිදහස අබියස ය. මෙවර නිදහස අන් කවරදාටත් වඩා වෙනස් නිදහසකි. ලෝකය ම වසංගතයක් අබියස බිත්ති හතරට කොටු වී හමාර ය. නිදහස නිදහසේ සමරන්නටවත් කොරෝනා වසංගතය අපට ඉඩ තැබුවේ නැත. එබැවින් මෙවර අභිමානවත් 73වැනි නිදහස් උලෙළ පැවැත්වෙන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූල ව ය.
එක්දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි 4 වැනිදා ලංකාවට ලැබුණ නිදහස ඩොමීනියන් නිදහසකි. ඩොමීනියන් නිදහස යන්නෙන් අර්ථ දැක්වෙන්නේ එක්දහස් නවසිය විසිපහේ බැල්ෆර් ප්‍රඥප්තිය නමැති ප්‍රකාශනය යටතේ බ්‍රිතාන්‍ය යටත් විජිත වලට නිදහස දුන් විශේෂ ක්‍රමවේදයකි. මේ ක්‍රමවේදය යටතේ නිදහස ලබන යම් යටත් විජිතයක් වෙත් ද නිදහස ලැබූ පසුව ද ඒ යටත් විජිතය බ්‍රිතාන්‍ය කිරීටය සමඟ බැඳී සිටී. ඒ අනුව එක්දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි 4 වැනිදායින් පසුවත් ලංකාවේ රැජින වූයේ එංගලන්තයේ මහ රැජින ය. ලංකාවේදී අසන නඩුවක අවසාන ඇපෑල ඉදිරිපත් කරන්නේ එංගලන්තයේ රාජාධිකරණයට ය. මේ ක්‍රමයට ඩොමීනියන් නිදහස ලැබූ මුල් ම බ්‍රිතාන්‍ය යටත් විජිතය වන්නේ කැනේඩියානු සමූහාණ්ඩුව ය; ඒ, 1867 දී ය. අදටත් කැනඩාවේ මහ රැජින එංගලන්තයේ එලිසබෙත් රැජින ය. ඉන්පසු ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නිව් ෆවුන්ඩ්ලන්තය, දකුණු අප්‍රිකාව යන රටවලට ද ඩොමීනියන් නිදහස ලැබිණ. අදටත් මේ රටවල රාජ්‍ය නායකයා එංගලන්තයේ මහ රැජන ය. ඉන්පසු ඉන්දියාව, පකිස්ථානය, ලංකාව යන රටවල් තුනට ද ඩොමීනියන් නිදහස ලැබිණි. පසු කාලයේදී මේ රටවල් තුන ම පූර්ණ නිදහස ඇති ජනරජ බවට පත් විය. ලංකාව පූර්ණ නිදහස සහිත රාජ්‍යයක් බවට පත්වෙන්නේ 1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජනරජ ව්‍යවස්ථාව හරහා ය.
අප දිනාගත් නිදහස රුධිරය හලා දිනාගත් නිදහසක් නොවීය. ලේ හලන්නට සිදු වූයේ අපට නොව ඉන්දියානුවන්ට ය. ඉන්දියාව හා පකිස්ථානය වෙන් කළ නිසා ඇතිවූ ආගමික ගැටුම් හේතුවෙන් දසලක්ෂයකට අධික පිරිසක් මරණයට පත්විය. අප සැබවින් ම ලේ හලා දිනාගත් නිදහස වූයේ ප්‍රභාකරන්ගෙන් රට බේරා ගැනීම වෙනුවෙන් සිදු කළ යුද්ධයයි. අද මෙන් නොව 2009 වසර දක්‌වා මෙරට නිදහස් උලෙළ සමරනු ලැබුවේ දැඩි ආරක්‍ෂක විධිවිධාන මැද බව අමතක නොකළ යුතුව ඇත. යාපනය අර්ධද්වීපය ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීම උදෙසා භටයන් හා නිලධාරීන් දහස් ගණනක් දිවි පිදුවේ මුළු රට ම ප්‍රභාකරන්ගේ විනාශකාරී ත්‍රස්‌තවාදයට ගොදුරු වී තිබූ අවස්‌ථාවේ ය. වන්නි මෙහෙයුමින් ඒ ත්‍රස්‌තවාදය අවසන් විය. මේ ගෞරවනීය මළවුන් කිසි දිනෙක අමතක කළ නොහැකි ය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වරක් පැවසුවේ සැබෑ නිදහස හා සාමය උදෙසා තම වර්තමානය හා අනාගතය පුද කළ සෙබළුන් හිරු නඟින විටත් හිරු බසින විටත් සැමරිය යුතු බවයි. 73 වැනි නිදහස සැමරෙද්දී මෙය සිහි කළ යුතු වන්නේ ඒ නිසා ය? තිස්වසරක කුරිරු යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂයන් අද අගමැති ය; එදා ආරක්ෂක ලේකම් අද ජනපති ය. පාස්කු ප්‍රහාරයෙන්, අවනීතියෙන් රජ වූ සමයක් අවසාන කර යළි සාමයේ මාවත උදා වූ සැමතින් නිදහස් සමයෙක 73 වැනි නිදහස උදා වීම වටනේ ය.
මීට පෙර 2018 දී එජාප ආණ්ඩුව 70 වැනි නිදහස් උලෙළ මහ ඉහළින් සැමරුවේ බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සාමාජිකයෙක් වන එඩ්වඩ් කුමරු ලංකාවට ගෙන්නා ගනිමිනි. නිදහස සැමරීමට තමන් යටත් කළ වුන් ගෙන්නා ගැනීමේ ක්‍රමවේදය එජාපයේ දේශපාලනයට අනුව කදිමට ගැළපෙන ක්‍රියාවකි. මීට පෙර 2002 පැවැති එජාප ආණ්ඩුව පෘතුගීසින් මෙරටට පැමිණීමෙන් වසර 500ක් ගතවීම උත්සවාකාරයෙන් සමරන්නට සූදානම් වූ ආකාරය සමහරුන්ට තවමත් මතක ය. අපි පසුගිය වසර 73 පුරා වැඩිහරියක් කර ඇත්තේ මේ වගේ වැඩ ය. ඉදින් නිදහස ගැන කතා කරන විට මේ අතීතයත්, යටත් විජිත මානසිකත්වයත් සිහිපත් කර දිය හැකි අය සිටී නම් වටී.
” මිනිසාට නිදහසක් නැත. ඔහු සදා යදම්වලින් බැඳ සිටී” යනුවෙන් ප්‍රබල දේශපාලන විචාරකයකු වන රූසෝ කියයි. මිනිසාගේ නිදහස බැඳ දමන මේ යදම් මොනවාද? මිනිසා නිදහස යනුවෙන් අර්ථ දක්වා ගන්නා ලද දෑ ඇත්තට ම නිදහස ද? භෞතික නිදහසක් ගැන කතා කරන බොහෝ තැන් වල අධ්‍යාත්මය ගැන අවධානයක් නැත්තේ ඇයි යන්න දාර්ශනිකයන් බොහෝවිට මතු කරන ප්‍රශ්නයකි. එහෙත් සංස්කෘතිකමය වශයෙන් දියුණු මානවත්වයක් නැති සෑම තැනක ම නිදහස යන්නට දෙන අර්ථකථනය භෞතික ය. ඒ අර්ථකථනය තිබෙනතාක් අප කෙතරම් භෞතික ම ය වශයෙන් නිදහස් වුව ද චින්තන ම ය වහල් බවෙන් යුතුය. එය භෞතික වහල් භාවයට එහා ගිය වහල් බවකි. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී ලෙස කුමාරතුංගයන් පැවසූ දෑ පවසමින් පමණක් සිටීම පලක් නැත. නව සොයා ගැනීම් කරන්නට නම් තාර්කික චින්තනයක් සහිත මිනිසුන් සිටිය යුතුය. ඒ සඳහා ස්වාධීන මනසක්, ස්වාධීන පැවැත්මක් හා නිවහල් චින්තනයක් අවැසි ය. ජාතිකත්වය, පරදේශකත්වය වෙන්ව හඳුනාගත හැකි විශ්ව මනසක් අවශ්‍යය ය. මේ කිසිවකින් තොරව නිදහසක් ගැන සිතන්නේ නම් එය වහල් බවේ ම තවත් එක් පාර්ශ්වයක් පමණී.
නිදහස ගැන කතා කරන්නට තරම් නිදහසක් ලැබීම අපේ බලාපොරොත්තුවයි. ඒ නිදහස අරුත් ගන්වන සුළු පැවැත්මක් අනෙකාගෙන් ලැබෙන්නේ නම් ඒ නිදහස තවත් අරුත්බර ය. අනෙකාට ගරු කරන, අනෙකාගේ පැවැත්ම වෙනුවෙන් බාධා නොකරන චින්තන ම ය පුළුල් බවකින් යුතු ලෝකයක් බිහිවන දා ට නිදහසේ අරුත තවත් අරුත්බර වනු නියත ය.
ඕනෑ ම අයකුට සැරයටියක් වනමින් පාරේ ගමන් කළ හැකි ය; එහෙත් ඒ නිදහස අනෙකාගේ නාසය ඇති තැනින් කෙළවර විය යුතු ය කියා හැරල්ඩ් ලැස්කි කියූ වදන ලෝ ප්‍රකට ය. අනෙකාට ගරු කිරීමේ චින්තන ම ය පුළුල් බව ලැබෙනතාක් අප තවමත් මානසික ව යටත් වැසියන් ය. 73 වැනි නිදහස සමරන මේ මොහොතේ පුළුල් චින්තන ම ය නිදහසක් අප ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසා ය.