
ඇමරිකාවේ 46වැනි ජනාධිපතිවරයා පසුගියදා වැඩ බාර ගත්තේය. ඔහු ප්‍රථමවරට ජාතිය අමතමින් පවසා සිටියේ මේ වන විට ඇමරිකාව තුළ දේශපාලන අන්තවාදය, සුදු ජාතික උත්තමවාදය, අභ්‍යන්තර ත්‍රස්තවාදය හිස ඔසවමින් තිබෙන බවත්, ජාතියක් ලෙස එයට මුහුණ දිය යුතු බවත්, එය පරාජය කළ යුතු බවත්ය.
මේ අභියෝග ජය ගනිමින් ඇමරිකාවේ ආත්මය යළි ගොඩනඟා, ආරක්ෂා කර ගැනීමට නම් වචනවලට වඩා වැඩි යමක් අවශ්‍ය වන බවත්ය.
මේ වචන පැවසීම සම්බන්ධව ජෝ බයිඩන් ජනාධිපතිවරයාට ලොවම ස්තුතිවන්ත විය යුතුය. මන්ද යත්, මේ වන විට ඇමරිකාව පමණක් නොව මුළු ලොවම දේශපාලන අන්තවාදය, ජාතික, වාර්ගික උත්තමවාදය මෙන්ම විවිධාකාර වූ ත්‍රස්තවාදයෙන්ද පීඩා විඳිමින් සිටින බැවිනි. එහෙත් බයිඩන් ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කිරීමට පෙර දේශපාලන අන්තවාදය, ජාතික උත්තමවාදය මෙන්ම විශේෂයෙන් දේශපාලනික අරමුණුවලින් ක්‍රියාත්මක ත්‍රස්තවාදය ලොවට හඳුන්වා දුන්නේ කවුරුන්ද යන්න සොයා බැලුවේ නම් එය වැදගත්ය.
බලවත් රටක් ලෙස ඇමරිකාව ලොව බොහෝ රටවලට සිදුකර ඇති බලපෑම අතිමහත්ය. ලොව විශාලතම ආර්ථිකයක් සහිත රටක් ලෙසින්ද ඇමරිකාවේ බලපෑමෙන් මිදීමටද බොහෝ රටවලට නොහැකිය. මේ බලපෑම් බොහෝ විට ඒ රටවලට වාසිදායක මෙන්ම අවාසිදායක බලපෑම්ද විය හැකිය. එහෙත් ජනාධිපතිවරු හතළිස් පස් දෙනෙකුගේ පාලන කාලය පුරා මේ බලපෑම් සිදු වූයේ ඇමරිකාවට වාසිදායක අන්දමින් බව කිව යුතුය. එබැවින් හතළිස් හය වැනි ජනාධිපතිවරයා බලයට පත්වූවා කියා මේ තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු වීම විහිළුවකි.
කලාපීය වශයෙන් සලකා බලන විට ඇමරිකාව දකුණු ආසියාවට විශේෂ අවධානයක් ලබා දෙන බව පැහැදිලිය. පකිස්ථානයේ බලහුවමාරු රැසකටම ඇමරිකානු සහය ලැබුණු අතර ඇෆ්ගනිස්ථානයටද එසේමය. ඉන්දියාව ඇමරිකාවේ අතිජාත මිත්‍රයකු බව පැහැදිලිය. දකුණු ආසියාවේ අසල්වැසියන් වන නේපාලය සහ භූතානයට ඇමරිකාවේ සැලකිලි ලැබී ඇත්තේ අවමයෙන් බව පෙනේ. නේපාලය පිහිටා ඇත්තේ භූ දේශපාලනිකව එතරම් වැදගත්කමක් නොමැති භූමි ප්‍රදේශයකය. භූතානයද එසේමය.
ඉතිහාසයේ වරින් වර අප රට වෙනුවෙන්ද ඇමරිකාව දිගු කර ඇති මිත්‍රත්වයේ හස්තය අපටද අමතක නැත. විශේෂයෙන්ම සුනාමි ව්‍යසනය අවස්ථාවේදී ඇමරිකාවේ උණුසුම් මිත්‍රත්වය අප රට වෙනුවෙන් වෙන් විය.
විවිධ රටවලට ඇමරිකාවෙන් දිගුවන මිත්‍රත්වයේ හස්තය විවිධාකාරය. ණය, ප්‍රදාන, ආධාර, කොන්ත්‍රාත් සහ ගිවිසුම්, විදේශ ශිෂ්‍යත්ව යනාදී වශයෙන් ඒවා හඳුනාගත හැකිය. මේ සම්බන්ධව රටක් ලෙස අප ලැබූ ආසන්නතම අත්දැකීම වන්නේ එම්සීසී ගිවිසුමයි. එම්සීසී හෙවත් මිලේනියම් අභියෝගතා සංස්ථා සංයුක්ත ගිවිසුම නම් වූ මේ ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට වාසි රැසක් ලබා දීමට තමන් අපේක්ෂා කරන බව පසුගිය ඇමරිකානු පාලනයේ අදහස විය. ඩොලර් මිලියන 480ක පොලී රහිත අධාරයක් එමගින් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජිත විය. ඇමරිකාවට අනුව මේ ආධාර ලබා දීම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ ඉඩම් කළමනාකරණය වැඩිදියුණු කිරීම යනාදි අරමුණු මූලික විය.
මේ ආධාර ලබාදීම වෙනුවෙන් බිහිකෙරුණු එම්සිසී ගිවිසුම මගින් අප රට සම්බන්ධ වීමට නියමිත වූයේ ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් වන ඒජන්සිය සමඟින්ය. එය ඔවුන් ප්‍රකාශ කරන අන්දමට වෙනම ආයතනයක් ලෙස ක්‍රියාක්මත වුවද එහි ප්‍රධානීන් ඇමරිකාවේ පැවති පාලන තන්ත්‍රයේ ඍජු ප්‍රධානීන්ය. ඒ සඳහා හොඳම උදාහරණය හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝය. ඔහු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි ප්‍රධාන අධ්‍යක්ෂ ධූරයක් ඉසිලුවේය. ඔහුට අමතරව ට්‍රම්ප් පාලනයේ ඇමරිකානු භාණ්ඩාගාරයේ ප්‍රධානීන්ද එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ විය. මේ යටතේ ආධාර ලැබීමට සුදුසු රටවල් ලෝක බැංකු නිර්ණායක මත තෝරා ගන්නා බවද සඳහන් විය. ලෝක බැංකුව සිටින්නේ කාගේ පැත්තේද කියා ලොවම හොඳින් දන්නේය.
කෙසේ වුවද විදේශ ප්‍රතිපත්තියේදී නොබැඳි පිළිවෙත තදින් අනුගමනය කරන ශ්‍රී ලංකාව අවසානයේ මේ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු යෙදීය. ආධාර හෝ ණය හෝ ගිවිසුම් හෝ වුවද අප රටට ගැළපෙන දේ පමණක් තෝරා ගැනීමටත්, විදේශීය උගුල් හෙවත් කල් තබා හඳුනා ගැනීමේ හැකියාවක් අප සතුව ඇත්තේය. කෙසේ වෙතත් ඇමරිකාව ශ්‍රී ලංකාවේ අපට මිතුරෙක්මය.
අප නව ජනාධිපති ජෝ බයිඩ්න් සාදරයෙන් පිළිගන්නේ මේ පසුබිම තුළය. ජෝ බයිඩ්න් යනු අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. ඔහු ලොව සුපතල ඇමරිකානු ජනාධිපතිවරයකු වූ බරැක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. එබැවින් ඇමරිකාවේ පැවති පාලන ක්‍රමවේද ගැන ජනාධිපති බයිඩ්න් සතු අත්දැකීම් සහ දැනුම සම්බන්ධව ගැටලු මතු කර ගත යුතු නැත.
එහෙත් අප සිතන්නේ සුබවාදීවය. අපට අනුව ත්‍රස්තවාදය මෙලොවින් තුරන් කළ යුතු වුවද 2011 ආරබි වසන්තය, ඇෆ්ගන් යුද්ධය වැනි අවස්ථා යළිත් මෙලොව ඇතිවිය යුතු නැත. සිරියාව, ඉරාකය වැනි කණගාටුදායක වාතාවරණයකට මෙලොව කිසිම රටක් පත්විය යුතු නැත. ඇමරිකාව තුළ පමණක් නොව ලොව කිසිම ස්ථානයක අභ්‍යන්තර ත්‍රස්තවාදය ක්‍රියාත්මක විය යුතු නැත.
කැලේ මාරු වුවාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැතිය යන සිංහල කියමන ඇමරිකානු ජනතාව නොදන්නවා විය හැකිය. එහෙත් යළිත් වරක් පැවසිය යුත්තේ අප සුබවාදීව සිතන බවය. පසුගිය පාලනය යටතේ ඇමරිකාවට යම් හානි සිදුවූයේ නම් ජාතියක් ලෙස ඇමරිකාව යළි ශක්තිමත්ව නැගී සිටීම අපගේද පැතුම වන්නේය. එහෙත් ඔවුන් නැඟී සිටියදී වෙනත් කිසිවකු ඔවුන්ගේ දෙපයට පෑගිය යුතු නොවන්නේය.
බයිඩ්න් ජනාධිපතිවරයා තම දේශනයේදී ඉතා වැදගත් තැනක් ‘එක්සත් වීම‘ වෙනුවෙන් යොමු කරන්නේය. සැබවින්ම ඔහු ඉතා නුවණැතිව ඇමරිකාවට මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ තෝරා ගෙන ඇති බව පෙනෙන්නේය. ඔහු තම ජනතාව එකම අරමුණක් කරා ගෙන යෑම දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන්නේය.
අප පවසන්නේ ලොව බලවත් රටක රාජ්‍ය නායකයා ලෙස සමස්ත ලෝකය වෙනුවෙන්ම ඔහුගේ අරමුණ එසේ විය යුතු බවය. එය එසේ විය යුතු බව ඇමරිකාව සිතන්නේ නම් ලොව බොහෝ රටවල් සැනසුම් සුසුම් හෙළනු ඇති බවද කිව යුතුය.