වන්ෂොට් සන්නිය | සිළුමිණ

වන්ෂොට් සන්නිය

න්ජන් රාමනායක සිරගත කිරීම පිළිබඳ පුවතත් ඒ හා සම්බන්ධ පක්ෂ හා විපක්ෂ මතවාදත් මේ දිනවල සමාජයේ වැඩි ම අවධානයට ලක් වූ කරුණු බවට පත් ව තිබේ. මෙරට උත්තරීතර ආයතන ත්‍රිත්වයක් තිබේ. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ඒ ත්‍රිත්වයයි. අධිකරණ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය ආරක්ෂා කරනු වස් අදාළ නියාමන ව්‍යවස්ථාව මඟින් ම සම්පාදනය කර ඇත. අධිකරණයේ විශ්වසනීයත්වට ජනතාව ඉදිරියේ ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණයි. රන්ජන් නළුවෙකි. බලා සිටින අපට පැටලෙන තරමට රන්ජන් දේශපාලන හා රංගන භූමිකා දෙක එකක් කර ගන්නට ගිය අවස්ථා බොහොමයකි. රන්ජන් දේශපාලනයට එන්නේ ද ඒ ජනප්‍රියත්වය මතිනි. 2008 වසරේදී සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස දේශපාලනයට පැමිණි හෙතෙම; 2010 දී පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. සිනමාවේ නිරූපිත විකට චරිතයෙන් එහා ඇති වගකීම් සහගත බව ඔහුගේ දේශපාලන චරිතයෙන් පිළිබිඹු නොවූ බව බොහෝදෙනාගේ මතය වන්නේ ඔහු ම කළ කී දෑ නිසා ය; එබැවින් ඒ මතවාද ඕපපාතික ව ජන මුවඟට ආවේ නැත.

රන්ජන් වඩාත් ආන්දෝලනයට ලක් වුණේ පසුගිය කාලයේ එළියට ආ හඬපට නිසා ය. ඒවා නිකම් ම නිකන් හඬ පට නොවේ; පුද්ගලිකත්වය නිර්ලජ්ජිත ලෙස එළියට ඇදි ඒවා ය. මිනිසුන් එළියේ කරන දේවල් සහ නොපෙනෙන ලෙස කරන දේවල් කියා කොටස් දෙකක් ඇත. සමහර දේවල් එළිපිට නොකරන්නේ ඒවා දැන ගැනීමෙන් අන් අයට පලක් නැති නිසා ය. එහෙත් ඒ සියල්ල සමාජගත කර ගර්හිත කිරීම නිසා රන්ජන් කුප්‍රකට විය. ප්‍රකට රන්ජන් කුප්‍රකට කළ ඒ සිද්ධිය සමස්ත මානව සමාජයට ම කැලලකි. ඒ, නීතිය හා සාරධර්ම යනු අප සමාජ සංස්ථාව පවත්වා ගෙන යෑමේ ලා උපස්ථම්භක වන කරුණු කාරණා නිසාය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ 14 (1) වගන්තියට අනුව සෑම පුරවැසියකුට ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇත. එමෙන්ම ඒ ව්‍යවස්ථාවේම 15 වැනි වගන්තිය මඟින් ඊට යම් යම් සීමා පනවා ඇත. භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ඇතත් ඒ අයිතිය සීමා වන තැන ගැන පුරවැසි දැනුම්වත්කම මෙයින් පෙන්නුම් කෙරේ. අධිකරණය සම්බන්ධ කාරණාවලදී අන් සියල්ලට ම වඩා නීතිය පසිඳලන තැන බැවින් සීමා මායිම් තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම සඳහන් වෙන්නේ මෙසේ ය. “ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදී හෝ අන් ස්ථානයක ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලයද ඇතුළුව එබඳු අධිකරණයක සියලු බලතල ඒ අධිකරණයන්ට ඇත්තේය’’ යනුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට අමතරව ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය හා පාර්ලිමේන්තුව විසින් කලින් කලට නියම කොට පිහිටුවනු ලැබිය හැකි වෙනත් යම් මුල් අවස්ථා අධිකරණ, විනිශ්චය අධිකාර හෝ ආයතන ද මේ යටතේ ආවරණය වන බවත් එහි සඳහන් ය.

එබැවින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතැයි වාචාල ලෙස හැමට ම දෝෂාරෝපණ කිරීමේ හැකියාවක් කිසිවකුටවත් නැත. අධිකරණය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය පළුදු නොකරනු වස් මේ නියමයන් ව්‍යවස්ථාවෙන් ම පමුණුවන්නේ මේ නිසා ය. සැමට සාධාරණ නීතිය වාචාලකම නිසා බාල්දු වුවහොත් රටේ ඇතිවන්නේ වියවුලකි. රන්ජන් රාමනායක අපහාස කරන්නේ මෙකී නීතිමය රාමුවට ය.

අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් දේශපාලන ඉතිහාසයේ සිරදඩුවම් ලැබූ පළමු වැන්නා රන්ජන් නොවේ. මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයකු වූ එස්. බී. දිසානායකට; ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ 2004 වර්ෂයේදී වසර දෙකක සිර දඬුවමක් නියම විය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි වූ අතර, පූර්ණ ජනපති සමාව ලැබීම නිසා නැවත මැතිවරණයකට ඉදිරිපත් වීමේ අයිතිය හිමි විය. මීට අමතරව අවස්ථා කිහිපයකදී අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් කිහිපදෙනෙක් දඬුවමට ලක් වූහ. අධිකරණයේදී උස් හඬින් කතා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින් ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කිරීම එක් අවස්ථාවකි. බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ද මෙකී චෝදනාවට ලක් ව දඬුවම් ලැබූහ. විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට නිදහස ලැබූවේ ඉකුත් 11 දා ය.

මාළුවා නහින්නේ කට නිසා යැයි කියමනක් තිබේ. රන්ජන්ට වූයේ ද ඒ ටික ම ය. බයස්කෝප් සහ සැබෑ ජීවිතය දෙකක් බව අවබෝධ කරගන්නට රන්ජන්ට තව කොයිතරම් කාලයක් යයි දැයි කිව නොහැකි ය. මුහුණු පොතේ පෙන්නන තරම් මානව හිතවාදීන්, නිර්මාණකරුවන් රටේ ඇත්තට ම සිටී නම් මේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නැත. මුහුණු පොත් වැඩි හරියක් ෆේක් ය. අප එසේ කියන්නේ ව්‍යාජ යන අරුතෙන් නොව ඇත්ත මුහුණ තිබුණ ද නඩත්තු කරන්නේ ව්‍යාජ සිතිවිලි ය යන අරුතිනි. සමාජය ම ෆේක් වූ කල රන්ජන් වෙනුවෙන් මුහුණු පොතේ කවි ලියැවීම අරුමයක් නොවේ ය. එහෙත් සදළුතලයෙන් බැස සාමාන්‍ය සමාජයට ආ කල මහපොළොවේ කතාව වෙනස් ම එකකි. ‘යහපාලන‘ සමයේ දහසකුත් එකක් අකටයුතුකම් මහ දවාලේ දැක දැකත් කට පියාගෙන සිටි බොහෝ දෙනෙක් දැන් කතා කරන්නේ වාසියට මිස අන් යමකට නොවන බව පැහැදිලි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම පැනවූ නීතියක් උල්ලංඝණය කළ පසු දඬුවම් නොදී සිටීමට නොහැකි බව ඕනෑම පුරවැසියකු දනී. නීතිය සැමට පොදු කරුණකි. එය රන්ජන් රාමනායකට පමණක් වෙනස් විය නොහැකි ය. රංගනය හා සැබෑ ජීවිතය අතර වන වෙනස රන්ජන් ඉදිරියේදී හෝ අවබෝධ කර ගන්නේ නම් අගනේ ය.

Comments