හූරා කෑමේ තරම | සිළුමිණ

හූරා කෑමේ තරම

ශක්‍රයාගේ පුතා ට විසඳිය නොහැක්කක් නැතැයි කියමනක් තිබේ. එහෙත් ශක්‍රයාගේ පුතා වන වයිමාටවත් විසඳිය නොහැකි ප්‍රශ්න මිනිසුන්ට තිබෙන බව දැන් දැන් පිළිගන්නට වෙන්නේ මේ වෙන දේවල් දෙස බලන විට ය. රටක ආර්ථිකය, දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාවලිය වැනි දේ නිසියාකාරව දැනුම්වත්භාවයකින් නොකෙරෙන්නේ නම් තිස්තුන් කෝටියක් දෙවිවරුන් වැඩම කළත් අපේ ප්‍රශ්න නම් විසඳන්නට පාරක් විවර නොවන්නේය. එනිසා මූල්‍ය සාක්ෂරතාව ගැන දැනුම්වත්භාවයක් නැති ජනතාවක් සිටිනතාක් කල් හා ඒ වංචාකාරී මූල්‍ය ආයතන නියාමනයක් නිසියාකාරව ක්‍රියාත්මක නොවනතාක් අපේ ආර්ථික ප්‍රශ්න විසඳන්නට ශක්‍රයාගේ පුතු වයිමාටවත් නොහැකි බව සත්‍යයකි.

සී/ස ඊ. ටී. අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගම සහ සී/ ස ස්වර්ණමහල් පුද්ගලික සමාගම් තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් බිලියන 35කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු තවත් චෝදනා යටතේ, එම ආයතනයන්හි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් නියෝග කරන ලද්දේ ඉකුත්දාය. ඒ අනුව ස්වර්ණමහල් ආයතනයේ සහ ඊ. ටී. අයි. ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරු වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන තිදෙනා පසුගිය පස් වැනි දා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය. වසන් වෙමින් සිටි ඊ. ටී. අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගමේ තවත් අධ්‍යක්ෂවරයකු වන නාලක එදිරිසිංහ ද පසු ගිය 6 වැනිදා අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වූයේය. නීති විරෝධි අන්දමින් මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යමින් ජනතාවගේ මුදල් සාපරාධි ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් ස්වර්ණමහල් සහ ඊ.ටී.අයි. ආයතනයට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

තම ව්‍යාපාර කඩා වැටෙන බව දැන දැනම තැන්පත්කරුවන් හා නව ගනුදෙනු කරුවන් උපායශීලී ලෙස රවටමින් සූක්ෂ්ම වංචාකාරී ක්‍රියා පිළිවෙතක නිමග්න ඊ. ටී. අයි. ආයතනය තැන්පත්කරුවන් 24, 800කගේ බිලියන 13.07ක මුදලක් මෙසේ අපහරණයට ලක් කර ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන යන්න ලංකාව වැනි රටකට ආගන්තුක වචනයක් නොවේ. එහෙත් ඒවා මහ බැංකුවෙන් නියාමනය වන බවට වන තදබල විශ්වාසයක් සාමාන්‍ය ජනයා අතර තිබේ. මහ බැංකුවෙන් නියාමනය වෙමින් පවතිද්දී කඩා වැටුණු එකම මූල්‍ය ආයතනය ඊ. ටී. අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගම නොවුණත්, එහි බිඳ වැටීම් හමුවේ ඔවුත් නිසි මැදිහත්වීමක් සිදු නොකළ බවට සමාජයෙන් එල්ල වන චෝදනාව සුළු කොට තැකිය නොහැකිය.

ඊ. ටී. අයි. ආයතනයේ අර්බුදය 2012 සිට එළිපිටත්, කටින් කටත් හෙළි වූවකි. ඒ කාලයේ මහ බැංකුව සිදුකර ඇති පරීක්ෂණයක දී මූල්‍ය අර්බුදය අනාවරණය වී තිබුණි. 2015 සැප්තැම්බර් 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව එම සමාගමට නියෝග ගණනාවක් නිකුත් කර තිබුණි. එහෙත් මහ බැංකුවේ ඇස්වලට වැලි ගසමින් නව තැන්පතුකරුවන් බඳවාගන්නට ඒ ආයතනය කටයුතු කර ඇත.

ඊ. ටී. අයි. සමාගමේ සභාපතිවරයා 2017 මැයි 22 දින මහ බැංකුවට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ තැන්පතු ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය. ඒ නිසා රජය සතු මූල්‍ය සමාගමකට මෙම සමාගමෙහි කළමනාකාරීත්වය මාරු කරන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව මහ බැංකුව 2012 සිට ම හඳුනාගත් අර්බුදයකට ඊ. ටී. අයි. ආයතනය මුහුණ දී ඇත. මහ බැංකුවට ඒ කාල සීමාව ඇතුළත කිසිවක් කළ නොහැකි වුණේ ඇයිදැයි තැන්පත්කරුවෝ විමසති.

ඊ. ටී. අයි. ආයතනයට අමතරව තවත් මූල්‍ය සමාගම් කිහිපයක් පසුගිය කාලවකවානුව ඇතුළත කඩා වැටුණු බැව් බොහොමයක් දෙනා දන්නා අතරම ඒවායේ වින්දිතයෝ ද තවම ජීවත් වෙති. 2002 වර්ෂයේ ප්‍රමුඛ ඉතිරිකිරීමේ බැංකුව, 2008 වර්ෂයේ දී සක්විති රණසිංහගේ මූල්‍ය ආයතනය, 2012 සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ගෝල්ඩන් කී සමාගම වැනි ආයතන කඩා වැටුණි. 2011 දී ද ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී හා සිංහපුත්‍ර ෆයිනෑන්ස් පීඑල්සී ආයතනය මහ බැංකුවේ නියාමනයට ගෙන තිබුණි. පූර්ව අත්දැකීම් තිබිය දී පවා මේවැනි මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවෝ තවමත් රාජ්‍ය බැංකුවලට වඩා දශම ගණනක වැඩි පොලියක් වෙනුවෙන්; සිය ජීවිත කාලය පුරා දහදිය, කඳුළු වගුරමින් හරිහම්බු කළ මුදල් තැන්පත් කරති. ජීවන වියදම දරාගත නොහුණු කළ රුපියලටත් ලොබ බඳින තැන්පත්කරුවන් ගැන ද සාතිශය වේදනාවක් දැනෙන්නේ යැයි අප මේ සටහනේ මුලින් ම සඳහන් කළේ දිළිඳුකමේ පරිමාව ගැන වන සවිඥානිකත්වයෙන් යුතු ව ය.

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍යායතන විකාශනයේ ඉතිහාසය 1930 දක්වා දිවේ. 1950 දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී. මෙලෙස ඉදිරියට ආ බැංකු නොවන මූල්‍ය අංශය වසර 80කට අධික කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මකය. එය අවදානම් සහගත වුවත් ගනුදෙනුකරුවෝ හා තැන්පත්කරුවෝ ඊට එක්වන්නේ විධිමත් බැංකු අංශයේ තිබෙන අධීක්ෂණ ක්‍රියාවලිය හා නීතිමය ලිපිලේඛන නිසා සිදු වන කරදරය විඳින්නට අකමැති නිසාය. ඊට අමතරව සමහර දෙනකු මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ පවතින අඩු දැනුම නිසාද මේ අංශය වෙත යොමු වී තිබේ.

මහ බැංකුව පිළිගත් අනුමත නොවන ආයතන 2000කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවට මේ වනවිට වාර්තා වී තිබේ. අනුමත ආයතන පවා හැසිරෙන්නේ මෙපරිද්දෙන් නම් අනුමත නොවන ආයතන ගැන කතා කරන්නටවත් දෙයක් නැත. ගම් මට්ටමට වන්නට මෙසේ වාර්තා නොවන ආයතන තවත් වැඩි මිසක් අඩුවක් නැත.

ලංකාවේ ව්‍යාපාර බොහොමයක් ගැන අප අසා ඇති කතාව ඊ ටී අයි ව්‍යාපාරයටද අදාළ විය. වැල්ලේ හැදූ මාලිගාවක් සේ ඊ. ටී. අයි. සේදී යද්දී; සේදී ගියේ ඒ ජීවිත නොව; අසරණ ජීවිත වීම ඛේදවාචකයකි. ඔවුන් නම් පරම්පරා ගණනකට සැප විඳ තවත් පරම්පරා ගණනකට හම්බු කර ඇත.

ලංකාවේ පමණක් නොව ලෝකයේද මෙවැනි කඩාවැටීම් සිදුව ඇත. එහෙත් මූල්‍ය ආයතනයක් කඩා වැටීම බරපතළ කාරණාවකි. එවැන්නක් සිදුවීමට ඉඩ නොතැබීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමකි. මහ බැංකුවෙන් අනුමත මූල්‍ය ආයතන කඩා වැටෙද් දී මහජන සැකය හා අවිශ්වාසය එල්ල වෙන්නේ ඒ මූල්‍ය ආයතනයට පමණක් නොව, මහ බැංකුවට ම ය. මූල්‍ය සාක්ෂරතාවක් සහිත ජනතාවක්, දිළිඳුකම පිටුදකින සමාජයක් අබියස පමණක් ඉදිරියේ දී මේවැනි තත්ත්ව සමනය වනු ඇත යන්න පමණක් විශ්වාස කළ හැකිය. මේ සම්බන්ධයෙන් නීතිය හරිහැටි දැන්වත් ක්‍රියාත්මක වනු දැක්ම සැමගේ ප්‍රාර්ථනයයි.

Comments