
කොවිඩ් වයිරසය සෑම අතින් ම වයිරසයක් වී බන්ධනාගාර පද්ධතිය ද ආසාදනය කර තිබේ. ජීවිත එකොළහක් බිලි ගනිමින් සිරකරුවන් 104කට හා ජේලර්වරුන් දෙදෙනෙක් ඇතුළු 106කට තුවාල සිදු කරමින් ඒ ඇවිළුණු ගින්න තවමත් බුර බුරා නැඟෙන්නේ ය. විවිධ පැතිවලින් ඉන්ධන ද ලැබෙමින් මේ බුරා බුරා නැඟි කෝප ගින්න විසින් මුළු මහත් මානව සමාජයට ම දැවැන්ත කැළැලක් එක් කළේ ය. සිරකරුවන් දෙස මානව දයාර්ද්‍ර ව බලන්නට පොලඹවන ‘ සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය‘ යන වදන කෙටුණු බිත්තිය දෑස් මානයේ බොඳ වී යමින් තිබේ. සිරකරුවන් මනුෂ්‍යයන් වුව ද ඔවුහු අතරින් බොහෝ දෙනෙක් සැකකරුවන් වෙති. දිනෙන් දින කල් යන දඬුවම් හෝ නීතිමය පාර්ශ්වයේ මන්දගාමී බව නිසා අහිමි ව යන නිදහස යදින බොහොමයක් ද මේ කූඩු ඇතුළේ නැත්තේ නොවේ. ඒ හදවත් ද බොහොමයක් මේ ගැටුමෙන් කම්පා වී ඇතැයි සිතේ. එනිසා වයිරසය දරුණු ලෙස ආසාදනය කරන්නේ භෞතික ශරීර පමණක් නොව; ගැහෙන හදවත් ය.
සිදුවූයේ තවත් එක් අවාසනාවන්ත සිද්ධියක් ඉතිහාසයට එක්වීම පමණී. මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුම ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේ ලා එක් අවස්ථාවකි. එක ම වෙනස එය වසංගතයක් නිසා සිදු වූ සිදුවීමක් වීම ය.
මහර බන්ධනාගාරගත රැඳවියන් පිරිසක් එයින් පලා යෑමට උත්සාහ දරා ඇත. ඒ බන්ධනාගාර නියාමකවරයකු හා හෙද නිලධාරියකු ප්‍රාණ ඇපයට ගනිමිනි. රැඳවියන් 2500ක පමණ පිරිසක් මේ කැරැල්ලට එක්වී සිටි බවත් ඔවුන් බන්ධනාගාරයේ ගේට්ටුව අසලට පැමිණ එය කඩා පලා යෑමට උත්සාහ කිරීමත් එකී සිද්ධියේ ඇතුළාන්තය ය. බන්ධනාගාර නිලධාරීන් තත්ත්වය පාලනය කර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එහි කැඳවා ඇති අතර; සිද්ධියෙන් රැඳවියන් එකළොස් දෙනකු මියගොස් 108ක් තුවාල ලබා ඇත.
මෙරට බන්ධනාගාර පද්ධතිය රැඳවියන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව කවුරුත් දන්නා කාරණයකි. ඒවායේ සිටිය හැකි ප්‍රමාණය මෙන් තුන් ගුණයක පිරිසක් රඳවා සිටින බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබේ. එකළොස්දහසක් සිටිය යුතු බන්ධනාගාරවල දැනට රැඳවියන් 32,000ක් සිටින්නේ යැයි හිටපු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කළ ප්‍රකාශයක් පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් විණි. එවැනි තදබදයක් පවතින බන්ධනාගාරවලට කොරෝනා වයිරසය ඇතුළු වීම වළක්වා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබිණ.
බෝගම්බර, බූස්ස හා වැලිකඩ බන්ධනාගාරවලින් ආසාදිතයන් වාර්තා වන විට මහර බන්ධනාගාරයෙන් එකම ආසාදිතයකු හෝ මේ ගැටුමට පෙර වාර්තා වී තිබුණේ නැත. මහර බන්ධනාගාරයේ වයිරසය පැතිර යන්නට වූයේ කොරෝනා ආසාදිත වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් එහි ගෙන ගිය පසුය. මේ රැගෙන යෑම නිසා ගැටුමට පෙර මහර බන්ධනාගාරයෙන් පමණක් ආසාදිතයන් 184 දෙනකු වාර්තා විය. එවැනි තත්ත්වයකදී මහර රැඳවියන් කුපිත වීම එක්තරා අන්දමකට අරුමයක් නොවේ.
කෙසේ වෙතත් උද්ගත වූ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන තමන් කළ වැරදිවලට දඬුවම් නොලබා නිදහස ලබා ගන්නට රැඳවියන් උත්සාහ කරන්නේ යැයි කීමද එකවර බැහැර කළ නොහැකි කාරණයකි. මෙරට බන්ධනාගාරවල රැඳවියන්ගෙන් සියයට 60 ක්ම මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ය. එසේ නැතත් බන්ධනාගාරවල සිටින සියලු දෙනා කුමක් හෝ නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වූවන් ය. ඒ බව ද සිහියේ තබාගෙන; රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිවී එය පුපුරා යන්නට පෙර හඳුනා ගන්නට බන්ධනාගාර බුද්ධි අංශවලට හැකිවිය යුතුව තිබිණ. ඒ අනුව කැරැල්ල ඇතිවන්නට පෙර වළක්වා ගන්නට අවශ්‍ය පියවර සම්පාදනය වීමේ ප්‍රමාදයක් වී තිබේ. රැඳවියන් එකළොස්දෙනකු මිය යෑමෙන් පෙනී යන්නේ කැරැල්ල ඇති වූ පසුව හෝ තත්ත්වය කළමනාකරණය කරගන්නට මහර බන්ධනාගාර නිලධාරීන් අසමත් වූ බව ය.
එයට ද හේතු තිබේ. මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිටින්නේ බරපතළ සේවක හිඟයකට මුහුණ දෙමිනි. රැඳවියන් සංඛ්‍යාව තුන්ගුණයකින් ඉහළ ගොස් ඇතත් වසර තුනකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් සිදුව නැත. මේ නිසා දැනට එහි තුන්දහසක පමණ සේවක හිඟයක් පවතී. තුන්දහස් දෙසීයක පමණ පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ රාත්‍රී ආරක්ෂාවට සිටින්නේ සුළු සේවක පිරිසක් බව ද මේ අලකලංචි අස්සේ මාධ්‍ය වාර්තා කර තිබිණි.
ගෙවී යන දශකය ඇතුළත ශ්‍රී ලංකාවේ සිදු වූ දෙවන බරපතළ බන්ධනාගාර කැරැල්ල මෙයයි. මීට පෙර 2012 නොවැම්බර් 9-10 දින වල වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ මෙවැනි ම ගැටුමකින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තවත් හතළිස් ගණනක් තුවාල ලැබූහ.
1844 දී ආරම්භ කිරීමෙන් පසුව ගත වූ සියවස් දෙකකට ආසන්න කාලයෙන් වැඩි ප්‍රමාණයක් මෙරට බන්ධනාගාර වල සිටිය යුතු සිරකරුවන් ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් රඳවනු ලැබ සිටිති. එය ලෝකයේ බොහෝ රටවලට පොදු තත්ත්වයක් වුවත් පසුගිය වසර 5 ක කාලය සලකා බැලීමේ දී එහි විශාල වර්ධනයක් දැකිය හැකිය.
කෝවිඩ් වසංගතය සමඟ ම ලොව පුරා සිටින ජනතාව දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටී. වසංගතයෙන් ආරක්ෂා වීම, තම ප්‍රියයන් අහිමි වීම, ආදායම් මාර්ග හෝ රැකියා අහිමි වීම නිසා පැවැත්ම පිළිබඳ ගැටලු ඇති වීම වැනි කාරණා හේතුවෙන් දැඩි මානසික හා ශාරීරික ආතතීන් සමඟ ජීවත් වීමට බොහෝ දෙනෙකුට සිදුව තිබේ. මේ ආතතීන් නිසා බොහෝ දෙනෙක් සිටින්නේ මානසිකව සුවපත් ව නොවේ. එළියේ සිටින සාමාන්‍ය ජනතාව මෙන්ම මේ රැඳවියන් ද කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ තැති ගැන්මකිනි.
ඕනෑම ප්‍රශ්නයක විඳවන සහ වින්දනය කරන දෙපාර්ශ්වයක් සිටිති. එය පොදු කරුණකි. වැදගත් වන්නේ ගැටුම් කළමනාකරණය කර ගැනීම ය. ඒ සඳහා අවශ්‍ය උදවු කරනවා විනා විපක්ෂය සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් සිටීම මේ මොහොතට අනුචිත ය.
ප්‍රශ්නය අනුන්ගේ වනතාක් පිළිතුර දාර්ශනික යැයි අප කියන්නේ ඒ නිසා ය.